*ආදරණීය_නදී_(6 කොටස )

මං කොහොමද සඳේ එයාලගෙ විස්තර දන්නෙ. මං නදීව දැක්කෙත් අදමයිනෙ. ඉතින් කොහොමද මං එයාල ගැන දන්නෙ. අඩුම ගානෙ මං තවම දන්නෙ නැහැ නදීලගෙ ගෙවල් තියෙන දිහාව වත්. මං දන්නෙ එයා ගියේ යක්කලින් බැහැලා කියලා විතරයි සඳේ.

"නැහැ සඳේ. මං දන්නෙ නැහැ එයාලගෙ අම්මලා ගැන කිසිම දෙයක්." මං ඇත්තම කිව්වා.

"හ්ම්ම්... මෙහෙම කියන්න බැහැ මල්ලි. කාලා නිදා ගන්න ගියාම මං කියන්නම්."

මොන දේ කිව්වත් කමක් නැහැ සඳේ. ඒත් ඔහොම හැම දෙයක්ම කල් දාන්න එපා. මට ඉවසගෙන ඉන්න බැහැ සඳේ. මං කල්පනා කර කර ඉන්න එක නවත්තලා ඉක්මනට කෑම කෑවා. මොන දේ කොහොම වුනත් ඉන්ටනෙට් ලොග් වෙන්නත් ඕනිනෙ. නදී නම් දැන් හා පැට්ටෙක් වගේ හොඳට නිදාගෙන ඇති. උන ගතියකුත් තිබුනනෙ. අද ගොඩක් මහන්සිත් ඇති කෙල්ලට. ඔයා නිදාගෙන ඉන්න හැටි මගෙ දෑස් අග මැවිලා පේනවා නදී.

"උඹ නිදා ගනින් මල්ලි මං පරක්කු උනොත්. පොඩි වොෂ් එකක් දා ගන්න ඕනෙ. මටත් අද උඹ ගියා වගේ ගමනක් හෙට යන්න තියෙනවා."

අයියා හිනා වෙවී කියාගෙන ගියා බාත්රූම් එක පැත්තට. දැන් මට නෙට් ලොග් වෙන්න ඕනෙ සඳේ. මට අද නින්ද යන එකක් නැහැ . අනේ නදී මේ පැය දෙක තුනෙත් මට ඔයාගෙ තුරුලට වෙලා ඉන්න ඉඩක් දෙන්න රත්තරං. මං නදී ගැනම හිතන්න පටන් අරගෙන. මං හීනෙනුත් කියවන්න ගනීවිද දන්නෙ නැහැ මේ විදියට ගියොත් නම්. මං කම්පියුටර් එක ලඟට ගිහින් ඒක ඔන් කර ගත්තා. අයියගෙ එකවුන්ට් එකට පාස්වර්ඩ් දාලා. දැන් ඉතින් ඌ එනකම් ඉන්න වේවිද මන්දා.

නැහැ. හොර වැඩ කරන්න හොඳට ප්‍රගුණ කරලා තිබුන හින්දා මට අයියගෙ එකවුන්ට් එකට ගොඩ වෙලා නෙට් කනෙක්ට් වෙන්නත් ලොකු මහන්සියක් වෙන්න ඕනෙකමක්

වුනේ නැහැ. නෙට් කනෙක්ට් වෙලා මිනිත්තු දෙක තුනක් යන්නත් කලින් මගෙ මොබයිල් එකට මැසේජ් එකක් ආවා. නදී. "ඔයා එනකම් මං බලාගෙන ඉන්නෙ. ඉක්මනට එන්නකො" දෙයියනේ ඒ කියන්නෙ මේ කෙල්ල තවමත් ඇහැරගෙන. පවු නදී ඔයා. මට මගෙ නදී ගැන ලොකු අනුකම්පාවක් ඇති වුනා. මං ලොකු හදිස්සියකින් ස්කයිප් ලොග් වුනා.

"ඇයි මෙච්ච්ර වෙලා ගියේ...? දොයිය ගත්තද ඔයා අමිල අයියෙ..?"

පවු මේ කෙල්ලට නිදිමත උතුරනවා ඇස් දෙකෙන්. අපිට මෙහෙම කතා කරන්න පුළුවන්ද නදී. අම්මලාට ඇහෙන්නෙ නැද්ද අපි මෙහෙම කතා කරද්දි...

"ඔව් මගෙ පැටියො. ආව ගමන් ඔළුව රිදෙන්න ගත්තා. මං චුට්ටක් රෙස්ට් කරන්න කියලා නිදා ගත්තෙ. ඇහැරෙද්දි නමයත් පහු වෙලා. ඔයා ගොඩක් වෙලාද මං එනකම්..? මෙහෙම කතා කරන්න පුළුවන්ද අපිට නදී...? අම්මිලාට ඇහෙන්නෙ නැද්ද..?"

පවු ඔයා රත්තරං. මං එනකම් මෙච්චර වෙලාවක් පාළුවෙන් ඉන්න ඇතිනෙ. ඔයාට නිදා ගන්න තිබුනෙ නදී. හෙට කතා කරන්න තිබුනනෙ අපිට.

"නැහැ. අම්මිලා දැන් නිදි. අනිත් එක මං ඉන්නෙ උඩ තට්ටුවෙනෙ. ඒ හින්දා අම්මිලාට මාව ඇහෙන්නෙ නැහැ. මමත් දැන් චුට්ටකට කලින් ආවෙ. මමත් නිදා ගත්තා. අම්මි කෑ ගහන්න ගත්තා ඇහැරලා කෑම කන්න කියලා. එතකොටයි ඇහැරුනේ. අපරාදෙ මං ඇහැරියේ..."

"ඇයි අපරාදෙ කියන්නෙ නදී..?" මට හරි ප්‍රශ්නයක්.

"මං ලස්සන හීනයක් බැලුවා අමිල අයියෙ. හරිම ලස්සනයි. අපි දෙන්නා පාක් එකේ ඇවිදින්න ගිය තවත් දවසක්. මං හරිම ආසාවෙන් ඒක බැලුවෙ. අන්තිම මොහොතෙ මං ඔයාගෙන් උම්මා එකක් ගන්න හැදුවෙ. කොහෙද ඉතින් අම්මි ඒක කෑවා. අපරාදෙ නැද්ද ඉතින්..."

පව් කෙල්ලගෙ මූණෙ දුක දෝරෙ ගලනවා. ඔයාට නම් එහෙම දෙයක් වෙලා අම්මි ඇහැරවලා තියෙන්නෙ. ඒත් මාව ඇහැරෙව්වට මං සඳරුවන් අයියට ස්තුති කරන්න ඕනෙ නදී. නැත්නම් මං කොච්චර දුක් වේවිද... ඔයාගෙ හීනෙ නම් දවසක හැබෑ වෙන්න පුළුවන් එකක් නදී. ඒත් අනේ මං දැක්ක හීනෙ නම් ඒ විදියට කෙළවර වෙන්න එපා කියලා මං පතන්නෙ නදී.

"හ්ම්ම්.. අපරාදෙනේ. අම්මි ඒක කෑවට කමක් නැහැ පැංචියෝ. මං ඒ උම්මා එක දෙන්නම් ඔයාට අනිත් දවසෙ ඔයාව වඩාගෙන. එතකම් ඉන්නකො. මමත් ලස්සන හීනයක් දැක්කා නදී. ඒකත් ගොඩක් ලස්සනයි. මට අන්තිමට ඇහැරුනා ඒත්."

මං ඒ කතාව ඔයාට කියන්නම් නදී. මට පුළුවන් විදියට කියන්නම් මං. නැත්නම් ඔයාගෙ හීනෙ බලන්න බැරි වුන එකට ඔයාට දුකයිනෙ. මේක කිව්වම ඔයාට ඒක ගානක් නැති වෙයි. එතකොට අපි දෙන්නටම දැනුනු දුක පොදුයිනෙ නදී.

"අනේ කියන්නකො අමිල අයියෙ. ඔයාගෙ හීනයක් කියන්නෙ මමත් ඉන්නවනෙ ඒ හීනෙ ඇතුලෙ. මං ආසයි අහන් ඉන්න."

"ඔයාට දොයිමත නැද්ද නදී...?"

"නැහැ. කතාව කියද්දි සමහර විට මට සනීපෙට නින්ද යාවි. ඔයා බලන්නෙ එහෙම හීනනෙ. ඒත් නින්ද ගියත් නින්ද යන්නෙ ඔයාගෙ ලඟනෙ. ඒ හින්දා කමක් නැහැ."

ඔය තරමටම මාව වුනත් විශ්වාස කරන්න එපා නදී. අඩුම තරමෙ මම වත් ඔය තරම් මං ගැන විශ්වාස කරන්නෙ නැහැ නදී. ඒත් මගෙ හෙවනට එන්නත් කලින් එහෙම අවස්ථාවක් ආවොතින් මං මගෙ පණ දෙවෙනි කරලා ඔයාව පරිස්සම් කර ගන්නම් නදී. මං හීනෙන් දකිද්දි වෙච්චි හැම දෙයක්ම නදීට ලස්සනට දැනෙන්න කිව්වා. නදී පූසි පැටියෙක් වගේ. උන හින්දද මන්දා ලස්සන ජැකට් එකක් පොරෝගෙන. හරිම ලස්සනයි ඒකට. කැමරාව ලඟට වෙලා ඉඳගෙන කිසිම හාවක් හූවක් නැතිව නදී මගෙ හීන කතන්දරේ අහන් ඉන්නවා. ලා නිල් පාටට ඇස් දෙක පියවෙනවා හරිම ලස්සනයි. ඒත් කිව්වා වගේම නිදිමත පාටයි නදීට දැන්. හැම දෙයක්ම කිව්වත් මං කතාව කෙළවර කලේ මං ගෙදර යන්න එද්දි ඇහැරුනා කියලා විතරයි. නැත්නම් මට ඉර හඳ වගේ විශ්වාසයි නදී. ඇත්ත කතාව එහෙමම කිව්වා නම් ඔයා කෑ ගහලා අඬාවි.

"හ්ම්ම්...පව් ඔයා මං කිව්ව කතාව ගැන හිතලා තියෙන දුර. ඇත්තමයි හරිම ලස්සනයි අමිල අයියෙ. හැබැයි ඉතින් චීයා..."

නදී කතාවෙ අන්තිමට කිව්වා හිනා වෙවී. මොනා කරන්නද නදී ඉතින්. ඔයා කිව්ව හින්දා තමයි මං ඒක දකින්න ඇත්තෙ. ඒ විදියටම ඔයාලගෙ අම්මලා මාව පිළි ගත්තොත් නම් හොඳයි ඉතින්. ඒත් එහෙම නොවුනොත් එහෙම. අපි ඒ ගැන පස්සෙ හිතමු මගෙ පැංචි. මගෙ ජීවිතේ හැටි තමයි ඔය නදී. ජීවිතේ විඳින්න ඕනෙ කාලෙ විඳවලා වැඩක් නැහැනෙ. ඒකයි මං ඔය තරම් සුන්දර විදියට මගෙ ජීවිතේ විඳින්නෙ.

"එහෙම තමයි මගෙ හැටි. ඒත් ඉතින් ඔයත් හරිම ආසයිනෙ නදී එහෙම පුංචි පුංචි දඟ වැඩ වලට."

මං කිව්වෙ ඇත්ත. ඔයා විතරක් නෙමෙයි නදී. හැම කෙල්ලෙක්ම ඔය වගේ පුංචි පුංචි වල් කතා අහන්න, එහෙම වැඩ කරන්න, එහෙම දේවල් විඳින්න හරිම ආසයි. මං ඒක දන්න හින්දයි ඔහොම දේවල් කරන්නෙ. එතකොට ආදරේ හරිම සුන්දරයි නදී. අපි ආදරේ කරන්න ඕනි අපිව දකින අයට පවා අපි ගැන ඉරිසියා හිතෙන තරමට.

"හ්ම්ම්... මං දන්නවනෙ මගෙ බකමූණගෙ හැටි. අපි නිදා ගමුද අමිල අයියෙ..? අද හරිම මහන්සියි අනේ..."

"ඔයා නිදා ගන්න මගෙ පැටියො. මමත් තව ටිකකින් නිදියෙන්න ඕනෙ. හෙට උදෙන්ම ඇහැරින්නත් ඕනිනෙ. ගුඩ් නයිට් එහෙනම් මගෙ සුදු පැංචියෝ. පරිස්සමින් ඉන්න. බුදු සරණයි."

වෙනදා විදියටම නදීට ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම මං ගොඩාක් ආදරෙන් කිව්වා. ඒ දේවල් කියන්නම ඕනෙ නැහැ. ඉබේම කියවෙනවා මට.

"හ්ම්ම්... ඔයත් පරිස්සමින් ඉන්න අමිල අයියෙ. හෙට යන්න කලින් මට කෝල් කරන්න. බුදුසරණයි."

නදී එහෙම කියද්දි ඇස් කෙවෙනි දෙක තෙමෙන්න වගේ. ඔයා ඔහොම කියනකොට මගෙ හිතේ ඔයාට තියෙන ආදරේ සිය දහස් වාරෙකින් වැඩි වෙනවා නදි. ඒ වෙලාවට තමයි මට හිතෙන්නෙ මගෙ නදීව පුළුවන් තරම් ඉක්මණට මගෙ තුරුලට ගන්න. නදී එහෙම කියලා සීතලට වෙව්ලන රෝස පාට දෙතොල් පෙති මගෙ දිහාට උල් කලා. එයාට ඕනෙ මගෙ දෙතොල් වල සුව විඳින්න. ඒත් ඔයාගෙ ලඟ නැහැනෙ මං අද නදී. මටත් ඔයාට අද දෙන්න වෙන්නෙ ඔහොමම තමයි. මමත් හිත පුරා උතුරන ආදරෙන් මගෙ දෙතොල උල් කලා නදීට පේන්න.

හරියට කල්ප ගානක් තත්පර කීපෙකින් ගෙවිලා ගිහින් වගේ. නදී යන්න ගියාට පස්සෙ හිත පාළු වෙලා ගියා එක මොහොතකින්. ඔයා නැතිව දැන් නෙට් එකේ ඉඳලා මට වැඩක් නැහැ නදී. මමත් යන්නම් දැන්. මං කම්පියුට්‍ර් එක ඕෆ් කරලා නිදා ගන්න ඇඳට පනින්න ලෑස්ති වෙන්න බලනකොට සඳරුවන් අයියා මටත් හොරෙන්ම ඇවිත් නිදාගෙන.නිදාගෙන වගේ හිටියට තවම නිදි නැහැ.

"හ්ම්ම්... ඉවරයිද මල් කැඩිල්ල..?"

"ඔව් සඳේ. නදී ගියාට පස්සෙ ගොඩාක් පාළුයි බං. හරියට මාව මරලා දැම්ම වගේ."

අයියටත් තේරෙන්න ඇති මගෙ මූණ පුරා තිබුනු සාංකාව. අයියා ගොඩාක් අසරණ මනුස්සයෙක් දිහා බලන ගානට මගෙ දිහා බලාගෙන. ඔහොම මගෙ දිහා බලන්න එපා සඳේ. අඩුම ගානෙ මගෙ නදී වත් ඔහොම බලන්නෙ නැහැ.

"වැඩිය හිතන්න එපා බං. නදී උඹව දාලා යන්න ගියේ නැහැනෙ මල්ලි. ඔහොම තමයි ඉතින් සීරියස් ආදරේ කරන්න ගියාම. කෙල්ල ලඟ නැති මොහොතක් පවා අවුරුදු ගානක් වගේ දැනෙන්නෙ. ඒත් ඉතින් මොනා කරන්නද මල්ලි. අනිත් එක උඹ තවම පටන් ගත්තා විතරයි. ඔහොම ගියොත් නම් පුතෝ උඹට ජීවිතේට මුහුණ දෙන එක ගොඩක් අමාරු වෙයි. ඔහොම ගිහින් නදී උඹව දාලා ගියොත් එහෙම උඹ කොහොමද ජීවත් වෙන්නෙ..?"

අයියා මට ජීවිතේ තේරුම් කරන්න පටන් අරගෙන. මට නිදිමතයි බං. ඔය බණ අහන්න වෙලාවක් නැහැ දැන්. මගෙ නදී මාව දාලා යාවිද සඳේ..?

"හරි හරි බං. ඔය ඇති දැන්. මට ඕව අහං ඉන්න බැහැ තරහ එනවා මට. මගෙ නදී මාව දාලා යාවිද සඳේ.. එහෙම වුනොත් වෙන වෙන්න කිසිම දෙයක් නැහැ සඳේ. මගෙ රත්තරංට දුන්නු තරමක ආදරයක් වෙන කෙල්ලෙක්ට දෙන්නෙ නැහැ මං. සංසාරෙ පුරාවට පතාගෙන ආවෙ නදීට විතරක් ආදරේ කරන්න නම් මං ආදරේ කරන්නෙ මගෙ නදීට විතරක්මයි සඳේ. සත්තයි. නදී මාව මොන විදියකින් හරි දාලා ගියොත් එදා තමයි මං මේ ලෝකෙ ජීවත් වෙන අන්තිම දවස සඳේ."


මගෙ ඇස් දෙකේ කඳුළු පිරෙනවා. මගෙ නදී මාව දාලා යාවි කියලා මට අදහා ගන්නවත් බැහැ සඳේ. ඒකයි මට මේ තරම් දුක හිතෙන්නෙ. මං ඒ තරම් පව්කාරයෙක් වෙන්න විදියක් නැහැ සඳේ. වතුරෙ ගිලිලා මැරෙන්න යන කූඹින්ව පවා පරිස්සමින් ගොඩට ගන්න මං එහෙම පව්කාරයෙක් වෙන්නෙ කොහොමද සඳේ. පිං සිද්ධ වෙයි සඳේ. අපි ඔය කතාව නවත්තමු.

"හ්ම්ම්... ඔය තරම් ආදරයක් ලබන්නත් ආත්ම ගානක් පිං පුරන්න ඕනෙ මල්ලි. උඹ නම් පුදුම කොල්ලෙක් බං. ආඩම්බරයි උඹ වගේ එකෙක් මට අයියෙ කියලා කියන එක පවා."

මං මුකුත්ම කියන්න ගියේ නැහැ. කියන්න ගියා නම් මං දන්නවා මට හයියෙන් ඇඬෙන බව. මොන දුකක් කොහොම දරා ගත්තත් මට මගෙ නදී මට දුක් දේවි කියන කතාව උහුල ගන්න බැහැ සඳේ.

"නිදා ගනින් මල්ලි. දැන් දොලහත් පහු වෙලා. අපි දෙන්නම හෙට උදෙන්ම ඇහැරින්නත් ඕනෙනෙ. ගුඩ් නයිට් මල්ලියා."

"ගුඩ් නයිට් සඳේ."

අයියට දැනිලා වගේ මං ඉන්න තත්වෙ. කොහොමින් කොහොමින් හරි මට නදීලගෙ ගෙදර විස්තර ටික දැන ගන්නත් නැති වුනා සඳේ උඹේ පණ්ඩිත වැඩ හින්දා. කමක් නැහැ පස්සෙ දවසක අහ ගන්න පුළුවන්නෙ. නිදා ගන්න ශීට් එක පොරෝගෙන ඇඳට වුනත් මට නිදා ගන්න හිතක් නැහැ. මට මගෙ නදීව මතක් වුනා. අද මට කතා කරද්දි පූසි පැටික්කියෙක් වගේ ජැකට් එක පොරෝගෙන හිටිය විදියටම ඔයා සනීපෙට නිදි ඇති. ඔයාව ඒ විදියටම උණුහුම් කරන්න මට ආස හිතෙනවා නදී. අනේ කවදද මගෙ තුරුලට ඇවිදින් ඔහොම සනීපෙට නිදා ගන්නෙ නදී..?

ඇස් දෙකට නිදිමතයි වගේ.හිතට කොහොම වුනත් මට නිදා ගන්න කිසිම උවමනාවක් නැහැ. දකින දකින හැම තැනකම, හදවත ගැහෙන හැම මොහොතකම, හිත නැවතෙන හැම තැනකම, හිත ඉල්ලන්නෙ ඔයාවමයි නදී.මං කොහෙන්ද ඔයාව හොයා ගන්න රත්තරං. මට මතක් වුනා අද හවස බයික් එකේ ඇවිත් යක්කල කිට්ටු වෙනකොට බයික් එකෙන් බහින්න ඔයා දැඟලුව හැටි.පුංචි කෙල්ලෙක් වගේ.කිසිම බයක් ලැජ්ජාවක් නැතිව මගෙ උරහිසේ එල්ලිලා පිස්සු කියෙව්ව හැටි.

"අමිල අයියෙ..?"

"හ්ම්ම්.."

"දැන් ඔයා අපේ ගෙදර එනවද අද..?"

"යමු ඉතින් නදී... ඔයාමයිනෙ කිව්වෙ මට එන්න කියලා. කොහොමත් මට ආසයි මගෙ නැන්දියාව මීට් වෙලා කතා කරලා එන්න."

"මං එවෙලෙ එහෙම කිව්වෙ විහිළුවට මගෙ දෙයියො. සත්තයි. මං අම්මිට කියලා නෙමෙයි ආවෙ මහත්තයෝ. මට සමා වෙන්න එහෙම කිව්වට."

දෙයියනේ නදී. එතකොට මං මෙච්චර වෙලා හිටියෙ බොරුවකට අහු වෙලාද... මට හිතා ගන්න බැහැ. මං කොච්චර හීන මැව්වද නදී ඔයාලගෙ අම්මලා එක්ක කතා කරන විදිය. එයාලා ඉන්න තැන හැසිරෙන විදිය පවා.ඇයි එහෙම මාව රැවැට්ටුවේ.. මං බයික් එක යක්කල හන්දියට ටිකක් එහායින් නැවැත්තුවා මිනිස්සු වැඩිය නැති තැනකින්. නැවැත්තුව ගමන් නදී බයික් එකෙන් බැස්සා. නදීට බය හිතිලා වගේ. තොල් පෙති දෙක වෙව්ලනවා. කොපුල් දෙක රෝස පාට වෙලා. මමත් බයික් එකෙන් බැස්සා. නදීගෙ මූණ දිහා තත්පර කීපයක් බලාගෙන හිටියා. පස්සෙ එයාගෙ දෙවුරට අත් දෙක තියලා මගෙ දිහාට හරව ගත්තා.

"ඇයි මට බොරු කිව්වෙ නදි..?"

හිතට ආපු කේන්තියත් එක්ක මං ඒක නදීගෙන් ඇහුව විදියට නදීට දුක හිතෙන්න ඇති. ඒත් දැන් කරන්න දෙයක් නැහැ නදී. ඔයාට මීට ටිකක් හරි කලින් ඒක කියන්න තිබුනා. අඩුම ගානෙ පාක් එකේ ඉඳන් එලියට එද්දි වත්. එහෙම වුනා නම් මට සමාව දෙන්න තිබුනා.

"අනේ මට සමා වෙන්න අමිල අයියෙ. මං එහෙම කිව්වෙ ඔයාව රවට්ටන්න නෙමෙයි. මං ඒ වෙලාවෙ ඒක කිව්වෙ විහිළුවට. ඒත් ඔයා ඒක සීරියස් ගත්තා. මං වැරදිකාරියෙක් කරන්න එපා මගෙ රත්තරන්. මට බනින්න එපා. කවුරු බනින එක කොහොම ඉවසුවත් මං ගොඩාක් ආදරේ කරන ඔයා මට බනින එක මට උහුලන්න බැහැ අමිල අයියෙ. ප්ලීස්. මාව තේරුම් ගන්න. මට ඔයාව නැති කරන්න එපා රත්තරන් අමිල අයියෙ. ප්ලීස්..."

නදී බය වෙලා හොඳටම. මං බනින්නෙ නැහැ මැණික. ඒත් චුට්ටක් වෙලා අඬලා වත් තේරුම් ගන්න කෙරුව වැරැද්දෙ තරම. නැත්නම් තවත් දවසක ඔයා මෙයිටත් වැඩියෙන් මගෙ හිත රිද්දාවි. එදාට මට ඇත්තටම තරහ යාවි. මං ආස නැහැ එදාට මගෙ වස්තුවට එකම එක වචනෙකින් වත් හිත රිදෙන්න බනින්න.

"බනින්න නෙමෙයි තියෙන්නෙ ඔයාට නදී... හරි ඒකට සමාව දෙන්නම්. ඒත් එක කොන්දේසියක් ඇතුව. මගෙ ඔළුවෙ අත තියලා මට පොරොන්දු වෙන්න ආයිත් කවදාවත්ම ඔහොම වැරැද්දක් කරන්නෙ නැහැ කියලා. ඔහොම දෙයක් කිව්වට කමක් නැහැ නදි. ඒක වැරැද්දක් නෙමෙයි. මට දුක ඒකට නෙමෙයි. ඒත් ඔයා ඒකෙ ඇත්ත නැත්ත කිව්වෙ ගොඩාක් පරක්කු වෙලා. ඒකයි මට දුක හිතෙන්නෙ ගොඩක්. අඩුම ගානෙ ඔයාට තිබුනා කෑගල්ල පැත්තෙදි වත් ඔය කතාව කියන්න. ඒත් ඔයා මෙහෙට එනකම්ම හිටිය එකයි වැරදි නදී."

"මට බෑ මහත්තයෝ. මට බෑ. ඔයාගෙ ජීවිතේ නාමෙන් පොරොන්දු වෙන්න බෑ. බැරි වෙලා වත් මට ඔය විදියට ඒක කලින් කියන්න බැරි වුනොත් එහෙම. මට බෑ පව්කාරියෙක් වෙන්න මගෙ දෙයියො. වෙන ඕනෙම දෙයක් කියන්න. මං කරන්නම්. ඒත් ඔයාගෙ ඔලුවෙ අත තියලා දිවුරන්න නම් බැහැ."


නදී ඇස් දෙකෙන් කඳුළු ගලද්දි කියනවා. පව් කෙල්ලට හොඳටම ඒකට දුක හිතිලා වගේ. අන්ත අසරණියෙක් ගානට මගෙ මූණ දිහා බලාගෙන. තවත් ඔය කඳුළු දිහා බලාගෙන මට ඉවසගෙන ඉන්න බැහැ නදී. මං මගෙම හිතට වෛර කරනවා නදී. ඇයි මං ඔයාව ඒ තරමටම රිද්දන්නෙ. මට හිතා ගන්න බැහැ නදී. මං මගෙ කෙල්ලව මගෙ පපුවට තුරුළු කර ගත්තා.

"මට සමා වෙන්න මගෙ පැටියෝ... එක පාරටම මට ගොඩක් තරහ ගියා. තරහ වෙන්නෙපා මැණික."

මං උතුරන සෙනෙහසකින් නදීගෙ නළලත සිප ගත්තා. නදීට මොහොතක් එහෙමම ඉන්න ඉඩ දුන්නා ටික වෙලාවකට. මං රිද්දුව හිත මමම සනසන්න ඕනිනෙ. නැත්නම් මට පව් සිද්ධ වේවි. නදී මුකුත්ම කිව්වෙ නැහැ. කෙල්ලට තේරෙන්න ඇති කරපු වැරැද්දෙ බරපතලකම. කමක් නැහැ නදී. අදට විතරයි ඔහොම වෙන්නෙ. පස්සෙ දවසක ඔහොම දෙයක් වෙන්න මං ඉඩක් තියන්නෙ නැහැ.

"මගෙ පැටියො...?"

"හ්ම්ම්"

"අර වගේ කතාවක් ආයිත් කියන්නෙපා මට විතරක් නෙමෙයි වෙන කිසිම කෙනෙක්ට වත්. වෙන ඕනෙම දෙයක් කියන්න මං කරන්නම් කියලා ආයෙ කියන්නෙපා. ඕනෙ නම් මට තිබුනා ඔයාගෙයි කියලා තියෙන හැම වටිනාකමක්ම උදුර ගන්න. ඒත් මං එහෙම කරන්නෙ නැහැ. මට මගෙ මැණික ඕනෙ වෙලාවට ආවම ඇති මගෙ තුරුලට. ප්‍රොමිස් වෙන්න ආයිත් එහෙම කියන්නෙ නැහැ කියලා."

නදී ඔළුව උස්සලා මගෙ මූණ දිහා කෙලින්ම බැලුවා. ඔහොම බලන්න තරම් දෙයක් නැහැ නදී. මං කිව්වෙ ඇත්ත. වෙන කෙනෙක් නම් ගොඩක් දුරට ඔයා මෙච්චර කාලයක් පරිස්සම් කර ගත්ත හැම දෙයක්ම නාස්ති කරලා ඉවරයි දැනටමත්. ඒත් මට එහෙම කරන්න හිතෙන්නෙ නැහැ මගෙ රත්තරං. බැරි වෙලාවත් මට ඔයාව ලැබෙන්න කලින් මේ අසරණයා මැරිලා ගියොතින් එහෙම ඔයාගෙ මුළු ජීවිතේම අඳුරු වේවි නදී.

"හ්ම්ම්... ඔයා වගේ කොල්ලෙක්ව ලබන්න මං ඉස්සර ආත්ම වල කරපු පිං මොනාද කියලා මට හිතා ගන්න බැහැ අමිල අයියෙ. තැන්ක් යූ."

එහෙම කියලා නදී ආයිත් සැරයක් මගෙ පපුවට තුරුල් වෙලා හැංගුනා. මහ දඟකාර විදියකට. ඔයා ඇත්තටම ආඩම්බර වෙන්න නදී. හැබැයි ඔහොම තුරුල් වෙලා ඉඳලා හරියන්නෙ නැහැ පැටියො. දැන් ඔයා ගෙදර යන්න ඕනිනෙ.

"නදී.. ගෙදර යන්න එහෙම මතක නැද්ද පිස්සි..?"

"හ්ම්ම්. යන්න නම් ඕනෙ ඉතින්. දැනටමත් මං පරක්කුයි අමිල අයියෙ. අම්මිට මොනාද මං කියන්නෙ මහත්තයෝ..?"

"ආව බස් එක කැඩුනා කියලා වත් කියන්න. ගොඩාක් පරක්කු නැහැනෙ..? දැන් වෙලාව හය හමාරයි."

නදී ඔළුව වැනුවා නැහැ කියන්න වගේ. මොන දේ කොහොම වුනත් ගෙදර යන්න ඕනෙනෙ ඉතින් නදී. දැන් අපි යමු. නැත්නම් තවත් පරක්කු වෙන එකනෙ වෙන්නෙ.

"එහෙනම් අපි යමු පැටියො.ඔයා කොහෙන් බැහැලද යන්නෙ නදී..?"

"යක්කල හන්දියෙන් මාව දාන්න අමිල අයියෙ. මං යන්නම් ඊට පස්සෙ."

"තනියෙන් යන්න පුළුවන්ද නදී..? මං ගෙදර ලඟටම එන්නද පැටියො..?"

මට බයයි නදී ඔයා ගැන. මෙච්චර කාලයක් නැතුවත් මගෙම කරුමෙට ඔයාට මොකක් හරි කරදරයක් වුනොත්.

"අනේ පිස්සො බය වෙන්නෙපා. ඔයා එන්න එපා. මට බයයි අපි අපේ ආදරේ පටන් ගත්ත ගමන්ම අපිට කරදරයක් වේවි කියලා. හරි මං ගෙදරට ගිහින් කෝල් එකක් දෙන්නම්. එතකොට හරිනෙ. මගෙ බකමූණගෙ හිතට බය නැහැනෙ එතකොට. ම්ම්..?"

මගෙ මූණට එබෙන ගමන් නදී අහනවා. මං ඉතින් හා කියන්නෙ නැතිව වෙන මොනවා කියන්නද නදී ඔයාට...

"හ්ම්ම්.. එහෙම කරන්න එහෙම නම්. මතක ඇතුව කෝල් එකක් දෙන්න. නැත්නම් මං එනවා ගෙදරටම."

මං ආයිමත් නදීව දාගෙන යක්කල හන්දියට යනකම් ගියා. නදීට හිතක් නැහැ මාව දාලා යන්න. දුක ඇති ඔය හිතට. ඒත් ඉතින් මොනා කරන්නද නදී. ඔයාව ඉක්මනට ගෙදරට යවන්න ඕනිනෙ. අදට විතරක් ඔයාගෙ අම්මිගෙන් බැනුම් අහන්න රත්තරං. මං අනිත් දවසෙ මීට කලින් ඔයාව එක්කන් එන්නම්. මෙච්චර වෙලා මං පරක්කු වුනේ මං ගැන ඔයාලගෙ අම්මි දන්නවා ඇති කියලා හිතාගෙන. ඒත් ඉතින් ඔයා එතන කරලා තියෙන්නෙත් මල විකාරයක්නෙ. ඔයා නම් වෙලාවකට හරිම නරක ලමයෙක් නදී අනේ. මං නදීට අද දවසට දෙන්න තියෙන අන්තිම හාද්දත් උණුහුමට දුන්නා එයා යන්න කලින්. කෙල්ලට මාව දාලා යන්න දුකයි. යන්න ලෑස්ති වෙලා ඇස් දෙකේ කඳුළු පිරිලා. පව් නදී ඔයා. කොහොමද ඔයා මේ පුංචි දවස් කීපෙට මට මේ තරම් ආදරේ කරන්න ඉගෙන ගත්තෙ..?

නදී බස් එකකට නගිනකම් මං ටිකක් ඈතට වෙලා බලාගෙන හිටියා එයා දිහා. සන්ග්ලාස් දෙක දාගෙන හිටිය හින්දා කාටවත් මං බලාගෙන ඉන්න දිහාව හොයා ගන්න බැහැ. නදී ගිහින් විනාඩි දහයක් විතර ගියාට පස්සෙ එයා කතා කරලා කිව්වා කරදරයක් නැතිව ගෙදර ආවයි කියලා. අම්මිගෙ ඔළුව රිදෙනවයි කියලා අම්මි නිදාගෙන ඉඳලා තියෙන්නෙ. ඒක හින්දම හොඳයි. නැත්නම් අද නදීට වෙන්නෙ අද මං වෙනුවෙන් බැනුම් අහන්න. ඊට පස්සෙ තමයි හිත හදා ගන්න පුළුවන් උනේ සඳරුවන්ලගෙ ගෙදරට යන්න. මට තවමත් ඒ දඟකාරි මගෙම ලඟට වෙලා ඉන්නව වගේ. තව තවත් මට හීන මවන්න ආසයි නදී. මතකයිද නදී...

Newer Post Older Post

2 Responses to “*ආදරණීය_නදී_(6 කොටස )”

  1. ආදරණිය මචන්..අකුරු ටිකක් ලොකුවට දාමුද?කතාව හොදයි වගෙ තේරෙනෙව.ඒත් කියවන්න අමාරුයි.

    ReplyDelete
  2. ස්තුති මචන් ... ලබන වසරේ ඉදලා වෙනස්ම ආරක කෙටි කතා ලියන්න අදහස් කරගෙන ඉන්නව..
    …අකුරු ටිකක් ලොකුවට දාන්නම්..

    ReplyDelete