*ආදරණීය_නදී_(5 කොටස )


වෙච්චි හැම දෙයක්ම මට තවමත් හීනයක් වගේ. මම හිතුවෙ නෑ නදීලගෙ අම්මලා මේ තරම් අහිංසක ඇති කියලා. නදී එයාල ගැන කිව්ව දේවල් වුනත් ඒ තරම් සැහැල්ලුවෙන් කිව්වට මම හිතුවෙ ඇත්තටම නදීලගෙ අම්මලා ගොඩක් සැර ඇති කියලා. ඇත්තටම හරිම පුදුමයි මට. නදීලගෙ ගෙදරදි නදීලගෙ අම්මලාට වැන්ද හැටි, එයාලට කතා කරපු හැටි, එයාලා කිව්ව දේවල්, නදී එක්ක කරපු දඟ වැඩ, නදීව එයාගෙම කාමරේදි එයාගෙම ඇඳට වෙලා එයාව සිපගත්ත හැටි, ඒ හැම එකක්ම මගෙ දෑස් ඉදිරිපිට මැවෙන්න ගත්තා. මම නිදහසේ හැම දෙයක්ම ආයිත් ආයිත් මතක් කරන්න ගත්තා. ඔයාගෙ මතකයන් ඔක්කොම රස කර කර විඳින්න පුළුවන් නදී හරිම ආසාවෙන්. ඒකනෙ මං මේ තරම්ම හීන බලන්න ආස. ඔයාගෙ ලස්සන ඇස් දෙකේ පටන් ඔයාගෙයි කියලා තියෙන හැම වස්තුවක්ම මට මහ ගොඩක් සුන්දරයි නදී.

අද දවල්ට හරිහැටි කෑමක් නැති හින්දාදෝ මන්දා ඇඟට වෙනදා තරම් හයියක් නෑ. ඒත් ඇඟේ අමාරුව මම දෙවැනි තැනට දාලා මගෙ ගමන දිගටම එන්න ආවා. නිට්ටඹුව කිට්ටු වෙනකොට මගෙ ඇඟට කලින් දැනුනට වැඩිය ටිකක් අමාරු බව තේරුණා. ඒත් මං අද ගෙදර යන්න ඕනෙ ගොඩක් රෑ වෙන්න කලින්. අම්මා මඟ බලාගෙන ඇති මං එනකම්. මට සමා වෙන්න අම්මෙ අද කලින් ගෙදර එන්න බැරි වුනාට. අර පිස්සු දඟමල්ල, අම්මගෙ ලේලි පොඩ්ඩ වෙන්න ඉන්න පුංචි කෙල්ල මට එන්න දුන්නෙ නෑනෙ කලින්. ඒකයි මං මේ තරම් අද පරක්කු වුනේ අම්මෙ. නැත්නම් මීට ගොඩාක් කලින් එන්න හිතාගෙන මං අද මේ ගමන ගියේ. කොහෙද ඉතින්. මේ කෙල්ලට මාව ගෙදර එක්කං යන්නත් ඕනෙ වුනානෙ. ඇත්තටම වෙන කවදාකවත් මම මේ තරම් පරක්කු වෙලා නැතුව ඇති කොහෙට ගිය ගමනක් වුනත්. ඈත එන බස්, කාර් වල එළිය මගෙ ඇස් දෙකට කෙලින්ම වදිනවා. පාර හොයා ගන්නත් හරිම අමාරුයි.

මගෙ ඇස් දෙක නිලංකාර වෙනවා මට යාන්තමට දැනෙනවා. වැඩිය ගනන් ගන්න දෙයක් නෑ. මට ඔහොම දේවල් අරුමයක් නෙමෙයිනෙ. මං මගෙම හිත රවට්ටන්න පටන් ගත්තා. වෙන කරන්න දෙයක් නැතිකමට. අම්මා සඳරුවන්ලගෙ ගෙදරට කතා කරාවිද මන්දා. එහෙම වුනොත් එහෙම නම් මට ගෙදර ගිහින් කියන්න අමුතුවෙන් බොරුවක් හදන්න වෙයි. යාළුවගෙ ගෙදර යනවයි කිව්වට සඳරුවන්ලගෙ ගෙදර දොරකඩට වත් ගොඩ නොවුන එකේ අම්මා මං ගැන මොනවා හිතාවිද. මං ගැන ඇහුවම සඳරුවන්ලගෙ අම්මා මොනවා කියාවිද. මට බයික් එක අරගෙන යන්නම බෑ. කවදාවත්ම නැති තරම් මගෙ මුළු ඇඟම පණ නැති වෙන්න එනවා. මම පුළුවන් හයියෙන් බයික් එකේ බ්‍රේක් තද කලා. ඒත්... මට කලින්, මම තිරිංග තද කරන්න කලින්.......


"බ්රාස්....."


*******************

"ම්ම්හ්..නදී...මට සමා වෙන්න නදී..."

ආයිත් අපිට මේ ආත්මෙදි කවමදාකවත් මුණ ගැහෙන්න බෑ රත්තරන්. මේ අසරණයට සමා වෙන්න නදී. මට ආයෙ එන්න වෙන්නෙ නැහැ නදී. අද තමයි ඔයාගෙ පුංචි ටෙඩියා ඔයා ගොඩාක් ආදරේ කෙරුව ඔයාගෙ අමිල අයියා පලවෙනි වතාවටත් අන්තිම වතාවටත් ඔයාව දකින්න ආවෙ. හැම සෙනසුරාදම එන්නම් කියලා මගෙ මැණිකට පොරොන්දු වුනාට මට ආයෙත් එන්න වෙන්නෙ නෑ රත්තරං. මං නැති වුනාට ඔයා වත් මං වෙනුවෙන් පරිස්සමින් ජීවත් වෙන්න නදී...

"අමිල මල්ලි..., මොකද මේ... උඹට මොකද වුනේ...?... නැඟිටපන් මල්ලි නැඟිටපන් ..."

මේ මහ රෑ මහ පාර මැද ඉඳන් කවුද මේ කතා කරන්නෙ මට. දෙවියනේ කවුද මගෙ පිහිටට ආවෙ. මාව බේර ගන්න ආයිත් කාටවත්ම එන්න බෑ. මගෙ නදීව පරිස්සමින් තියන්න කතා කරපු කෙනා කවුරු වුනත්. මට දැන් මගෙ ජීවිතෙන් කිසිම පලක් නෑ. මං වගේ අබ්බගාතයෙක්ව ආයෙත් බේරන්න එපා. මට බෑ මගෙ පැංචිට දුක් දෙන්න තවත්. එයාට කිසිම දුකක් නැතිව එයාව පරිස්සමින් තියන්න... මට කියා ගන්න ඕනෙ. ඒත් මගෙ පණ හයිය නෑ ඒ කිසිම දෙයක් කියා ගන්න.

"නැඟිටපන් බං. මේ දාඩියත් දාලා. උඹට මොකද වුනේ...?. දවල් තිස්සෙ කෙල්ල එක්ක රෝන්දෙ ගිහින් දැනුත් කියවනවා. හ්ම්ම්. හ්ම්ම්... නැඟිටපන් ඉතින්..."

මගෙ ඇස් වලට උඩින් දීප්තිමත් එළියක් මං දැක්කා. එක පාරටම ඒ එළිය දරා ගන්න බැරි තැන මං දෑතින්ම ඇස් දෙක වහ ගත්තා. තවත් ටික මොහොතකට පස්සෙ මම මගෙම කකුල් දෙක අල්ලලා බැලුවා. පුදුමයි. මට කිසිම කරදරයක් වෙලා නෑ. ඒත් කොහොමද එහෙම වුනේ. කවුද මාව ඉස්පිරිතාලෙට භාර දුන්නෙ. මේ තරම් සැර එළියක් තියෙන්නෙ ඔපරේෂන් කාමරේ . මට හොඳට මතකයි මං යන්න පුළුවන් උපරිම වේගෙන් යන ගමන් මහ පාර මැද හැප්පුනු වග. ඒත් කොහොමද මට කරදයක් නොවුනෙ. ඒ වෙලාවෙ මම වැදුනු විදියට මෙහෙම තවම පණ පිටින් ඉන්නෙ කොහොමද. ඇස් දෙකට වැටුනු එළිය දැන් හුරු වෙලා. වැඩිය සැරට දැනෙන්නෙ නෑ. හෙමිහිට ඇස් ඇරලා වට පිට බලද්දි මං ඉන්නෙ ඇඳක් උඩ කියලා මට තේරුම් ගියා. මේ ඉස්පිරිතාලෙද. නෑ වෙන්න බෑ. සඳරුවන් අයියා ඇඳේ පැත්තකින් වාඩි වෙලා මා දිහා බලාගෙන ඉන්නවා. කෝ එතකොට මගෙ පැංචි මට දුන්නු පුංචි ටෙඩියා... අම්මා, තාත්තා, කෝ මේ අය. කොහොමද මං මෙහෙට ආවෙ. මට මේ කිසිම දෙයක් තේරුම් ගන්න බෑ.

"මොකද උඹට වුනේ...?" අයියා මගෙ මූණ දිහා බලාගෙන ඇහුවා.

"මං වත් දන්නෙ නෑ සඳේ. උඹ වත් දන්නවද මොකද වුනේ කියලා. මට කිසිම දෙයක් හිතා ගන්න බෑ. මං නදීලගෙ ගෙදරත් ගියා. එයාලගෙ අම්මලා මට පුදුම හිතෙන තරම් හොඳට සැලකුවා. නදී මට ගොඩක් දේවල් දුන්නා. කාමරේටම මාව එක්ක ගිහින් මට තියා ගන්න කියලා එයාගෙ තුරුලෙ හිටිය පුංචි ලස්සන ටෙඩියෙකුත් මට දුන්නා නදී. මං ඒකත් අරං ගෙදර එද්දි තමයි.... අනේ මට තේරෙන්නෙ නෑ බං... කෝ සඳේ මගෙ ටෙඩියා..?"

මට කතා කර ගන්න බෑ. වෙච්චි හැම දෙයක්ම මේ තරම් සුන්දර හීනයක් වුනේ ඇයි සඳේ. ඒ තරම් සුන්දර දේවල් දකින්න මං පිං කලේ හීනෙන් විතරයිද නදී. සඳරුවන් අයියා මගෙ දිහා අනුකම්පාවෙන් බලාගෙන ඉන්නවා. අනේ ඔහොම මා දිහා බලලා මාව තවත් අසරණ කරන්න එපා සඳේ. ඇයි ඒ හැම දෙයක්ම හීනයක්ම වුනේ. මේ තරම් දුරට හීනයක් සුන්දර විදියට ඉඳලා ඇයි ඒ හීනෙදිම මං මැරෙන්න ගියේ. මට කිසිම දෙයක් තේරුම් ගන්න බැහැ.

"උඹ දැකලා තියෙන්නෙ හීනයක් මල්ලි. දවල් තිස්සෙ නදී එක්ක රවුම් ගහලා රවුම් ගහලා මහන්සි වෙලා උඹ මෙහෙට එද්දි හත පහුවුනා විතරයි. මතකයිද උඹට. ඔළුව රිදෙනවා කියලා ආව ගමන් නිදා ගත්තා මතකයිද..? දැන් නමයයි කාලයි. ඒ පැය දෙක තිස්සෙම උඹ ඔය හීනෙ ඉන්න ඇති. උඹ දැකපු හීනෙ ගොඩක් සුන්දර ඇති. ඒත් ඔහොම සුන්දර හීන ගොඩක් ලොකුවට බලන්න යන්න එපා මල්ලි. මං දන්නවනෙ උඹ ගැන. මෙච්චර කල් දැකපු ලොකුම හීනෙ හැබෑ කර ගත්තට පස්සෙත් ඒ තරම් ලොකු හීන දකින්න යන්න එපා. ලොකුම ලොකු හීන බොඳ වුනාම දැනෙන දුක දරාගන්න අමාරුයි මල්ලි. උඹ උඩ පැන්නෙ හඳ අල්ලන්න මල්ලි. ගොඩක් දුක් විඳගෙන උඹ හඳට ලං වුනා. හඳ දැන් එළිය දෙන්නෙ උඹට විතරයි. ඒක ඇත්ත. අද ඉඳන් උඹේ ලස්සන හඳ පායන්නෙ උඹටම විතරයි. උඹ වෙනුවෙන්ම විතරයි. ඒකත් ඇත්ත. ඒත් ඒ හඳ උඹේ අහසට ගන්න එක උඹ හිතන තරම් ලේසි පහසු නෑ මල්ලි. උඹ හඳට අත තියන්න ලං වෙනකොට උඹට ඇහිරෙන්න කළු වළාකුළු මඟ බලාගෙන ඉන්නවා. ඇත්තටම නදී කියන්න හඳක් මල්ලි. උඹේ අහසට ගත්තදාක පණ වගේ පරිස්සම් කර ගනින් නදීව."

මට කතා කරන්න ඉඩක් දෙන්නෙම නැතිව අයියා කියවගෙන ගියා. ඇයි මට මගෙ නදීව මගෙ ලඟට ගන්න බැරි. මොකක්ද මං මේ තරම් කෙරුව පාපකර්මෙ. නදීව ලබන්න මං කොච්චර පිං කලත් වැඩක් නෑ අයියෙ මට නදීව මගෙ ලඟට ගන්න පිනක් නැත්නම්. ඇත්තටම උඹ දන්නවා මං ගැන ගොඩක් දේවල් සඳේ. මගෙ අම්මා තාත්තා පවා නොදන්න දේවල් උඹ දන්නවා මං ගැන. මං නදීට ආදරේ කරන, නදී මගෙන් ඈත් වෙලා හිටිය කාලෙ මං ඇඬුව තරම් උඹ දන්නවා. මතකයිද උඹට. ඒ කාලෙ උඹ කිව්වෙ හැම දෙයක්ම අමතක කරලා මට ජීවිතේ අළුතෙන් පටන් ගන්න කියලා. උඹ විතරක් නෙමෙයි. මගෙ කතාව දන්න හුඟ දෙනෙක් කිව්වෙ එහෙමමයි. පණටත් වැඩියෙන් ආදරේ කරන එයාලත් මට කිව්වෙ මගෙ හා පැංචිව අමතක කරන්න කියලා. ඒත් උඹත් ආදරේ කරන්න පටන් ගත්තම තමයි උඹ තේරුම් ගත්තෙ ආදරේ කියන පුංචි වචනෙ තියෙන බරපතලකම සඳරුවන් අයියෙ. මට හොඳට මතකයි ඒ හැම දෙයක්ම. මං අයියා දිහාවෙම බලාගෙන හිටියා අන්ත අසරණයෙක් ගානට. ඇත්තටම මං අන්ත අසරණයි දැන් සඳේ.

"උඹ මොනාද දැක්කෙ කියපන් බලන්න දැන් පැත්තක ඉඳන්..."

"අනේ මන්දා සඳේ...මට තේරෙන්නෙ නෑ. මං පේරා ගිහින් එන ගමන් එයාලගෙ ගෙදර ගියා එයා එක්ක. නදී මාව එක්කන් ගියෙත් බලහත්කාරෙන් වගේ. මං යන්න බෑ කියද්දිත් නදීගෙ කටේ බලේට තමයි මං යන්න කැමති වුනේ. ගෙදරට යනකම් පාර පෙන්නුවෙත් නදී. මගෙ පිටිපස්සෙ ඉඳගෙන මට තුරුල් වෙලා. ඊට පස්සෙ මං එයාලගෙ ගෙදර මිදුලට ගිහින් යන්න බයෙන් ඉද්දි නදීමයි මගෙ අතින් ඇදගෙන ගේ ඇතුලට ගියේ. එයාලගෙ අම්මලා තාත්තලා මං හිතාගෙන හිටිය තරම් සැර නැහැ සඳේ. හරිම හොඳ මිනිස්සු. එයාලගෙම දරුවෙක්ට වගේ මට සැලකුවා. ඊට පස්සෙ එහෙන් නාගෙන හීතලේ නදීට උම්ම ගොඩාක් දීලා තව පිස්සු ටිකක් නටලා රෑ කෑමත් කාලා ආපහු ගෙදර එද්දි මගෙ බයික් එක ඇක්සිඩන්ට් වුනා. ඒකයි මං අර විදිහට කියෙව්වෙ. මං හැම සතියකටම සැරයක් එයාව බලන්න එන්නම් කියලා පොරොන්දු වෙලා ආවෙ මං සඳේ. මට තාමත් හිතා ගන්න බෑ ඒ හීනයක්ද කියලා. නදීව යක්කලින් දාලා තමයි මං ආවෙ මෙහෙට."


"හ්ම්ම්... ඒක දැන් ගියාවෙ. හොඳ වෙලාවට මෙතන අපේ අම්මලා නොහිටියේ. නැත්නම් උඹට බලන්න තිබුනා උඹේ හීනෙ තරම. අපි දෙන්නටම යන්න තමයි වෙන්නෙ මෙහෙනුත්.මං අම්මලාට කිව්වෙ උඹ ඉන්ටවීව් එකකට ගිහින් රෑ වෙලා මෙහෙ ආවෙ කියලා. දැන් ඒක ශේප්නෙ. උඹ ආව ගමන් නේද තව. පලයන් ගිහින් වොෂ් එකක් දාගෙන වරෙන්. නැත්නම් මටත් වසූරිය හැදෙයි. අනිත් එක අද උඹ ගියේ එසේ මෙසේ ගමනක් නෙමෙයිනෙ. තවම කෑවෙත් නෑ මං. උඹ ඇහැරිනකම් හිටියෙ. අපේ අම්මලත් නිදා ගන්න ගිහින්. මතක ඇතුව ගෙදරට කෝල් එකක් දියන් කරදරයක් නැතුව ආවයි කියලා."

"අනේ පලයං යන්න සඳේ... මේකෙ ඉඳලා වැඩිම වුනොත් මට වසූරිය හැදෙයි. ගෙදරට නම් මං දවාලෙත් කෝල් කලා බං. කමක් නෑ. නාගෙන ඉවර වෙලාම කියන්නම්."

මං බාත්රූම් එකට ගිහින් හිතේ හැටියට නා ගත්තා. නදීලගෙ ගෙදරින් නා ගත්ත එකත් එක්ක දෙසැරයයි අදට. ඒත් මේක නම් හීනයක් නෙමෙයි.මේ හැබැහින්මයි. ඒත් මගෙ නදී... මගෙ හිත වාවන්නෙ නෑ නදී. මං නාගෙන එලියට එද්දි මගෙ නදී මං එනකම් මඟ බලාගෙන හිටිය හැටි, මගෙ පපුවට තුරුල් වෙලා “හ්ම්ම්” කියපු හැටි, මගෙ පපුවට දෙතොල තියලා ගොඩාක් සුවඳයි කිව්ව හැටි, පැනලා දුවන්න හැදුව මාව ආපහු ඇදලා ලඟට ගත්තු හැටි, හා පැටවු ගැන කියද්දි මට රැව්ව හැටි, මට තවමත් ඇත්තටම සිද්ධ වුනා වගේ දැනෙනවා නදී. ඒ අත්දැකීම ඒ තරම්ම සුන්දර විදියට ඔයාලගෙ ගෙදරදිම කාටවත්ම බයක් නැතිව කවදද මට විඳ ගන්න දෙන්නෙ නදී. කවදද ඔයාගෙම නිදියහනට වෙලා මට ඔච්චම් කරන්නෙ. දෑතම තද කරගෙන මූණට එබෙනකොට ඔය මුහුණෙ තිබුනු ලස්සන මට එහෙමම දැක ගන්න ලැබෙන්නෙ කවදද රත්තරං. මගෙ හිත ඉවසුම් නෑ. අනේ මට තව හුඟාරියක් වෙලා ඔයාගෙ ලඟට වෙලා ඉන්න තිබුනා නම් හීනෙන් වත් නදී. දැන් මට දැනෙන පාළුව මට දැනෙන එකක් නැහැ. ඒත් මං ඒ තරම් පිං කරලා නැහැ නදී. අනේ මගෙ තුරුලට එන්නකො නදී.

මිනිත්තු දෙක තුනකින් මට නාගෙන එලියට එන්න පුළුවන්කම තිබුනත් මං උවමනාවෙන්ම මගෙ පැංචිත් එක්ක පැය භාගයක් විතර තනි වුනා. ඔයා ලඟ ඉන්න හැම මොහොතකම මට කිසිම දුකක් පාළුවක් නෑ නදී. මං නාගෙන එනකම් අයියා කෑම මේසෙට වෙලා බලාගෙන කෑම කන්න. පව්. මං හින්දා මේ ගෙදර මිනිස්සුත් බඩගින්නෙ. මං ඒ හදිස්සියේම ගෙදරට කිව්වා දවල් පොඩි ගමනකුත් ගිහින් දැන් ඉන්නෙ යාළුවාගෙ ගෙදර කියලා. මොනා වුනත් මට අම්මට දරුණු විදිහට බොරු කියන්න හිත දෙන්නෙ නෑ. අනිත් එක මම ලඟදිම දවසක මේ පැහිච්චි කෙල්ල ගැන අම්මට හෙමිහිට කියන්න ඕනෙ. ඒ හින්දා ටික ටික අම්මට වුනත් තේරුම් ගියාට කමක් නෑ. අපේ අම්මා නම් ඔයාට කිසිම අකමැත්තක් නැති වෙයි නදී. ඒත් ඔයාලගෙ ගෙදරින්... හ්ම්ම්... ඒ ගැන වෙනමම හිතන්න වේවි නදී අපිට.

“හා හා...ඇති බං ඔය මෙහෙ වරෙන්. මං කනවා ඔන්න.”

බැල්කනියෙ බිත්තියට හේත්තු වෙලා කල්පනා කර කර හිටිය මගෙ දැහැන බිඳගෙන අයියා කතා කලා.මට ඉරිසියයි සඳේ නදීගෙ පුංචි ඇස් දෙකට.ඒ ඇස් දෙක මට හීනෙන් වත් පැය ගානක් මවා ගන්න පුළුවන්.

“මල් කඩනවා නෙමෙයි සඳේ. මම ගෙදරට කතා කලේ. අම්මට කිව්වා ලේලි පොඩ්ඩ එක්ක ඇවිදින්න ගිහින් ටිකක් රෑ වුනා කියලා. අම්මට වුනත් මම දවසක කියන්න ඕනෙනෙ සඳේ. එක පාරටම ඒක කියන්න ගියාම මට ලැජ්ජයි වගේ. මං තවම පොඩි එකානෙ සඳේ.”

දෙතොලට ආපු හිනාව ටිකක් ලොකුවට අරගෙන මං විහිළුවට වගේ කියලා දැම්මා. එහෙම කිව්වා නම් මට ගෙදර යන්න හම්බෙන්නෙ නැහැ සඳේ. මටත් මෙහෙටම වෙලා තමයි ඉන්න වෙන්නෙ එහෙමනම්. ඒත් අයියා ඒක ඇත්තටම පිළි අරගෙන වගේ. ඇස් දෙක ලොකු කරගෙන මගෙ දිහා බලාගෙන.

“අපෝ නෑ නෑ බං. මට පිස්සුයැ එහෙම කියන්න.”

මං හිනා වුනා එහෙම කියලා. මං හිනා වුන හින්දාදෝ මන්දා අයියත් සෑහෙන ආයාසයකින් හයියෙන් හිනා වුනා. ඔහොම හිනා වෙලා ආයිත් මට දුක හිතෙන දෙයක් එහෙම නම් කියන්නෙපා සඳේ. මහ දුකක් දරා ගන්න අමාරුයි මේ හිතට.

“බත් බෙදාගෙන කාපන් මල්ලි. හීනෙ ඉතුරු ටික කාලා ඉවර වෙලා රෑට බලපන්.”

අයියා කෑම කන ගමන් කියනවා. මට නම් බඩගින්නක් නැහැ සඳේ. නදීලගෙ ගෙදරදි කෑම කෑව හින්දා මට දැන් බඩගිනි නැහැ. අපි කොච්චර නම් සතුටින් හිටියද ඔයාලගෙ ගෙදරදි කෑම කනකොට නදී. මගෙ සුදු පැංචි නැතුව මට දැන් ඉන්න බැහැ නදී. හීනෙන් දැකපු හැමදෙයක්ම හැබෑවක් වුනා නම් ටිකක් වත් හිත හදා ගන්න තිබුනා. ඒත්... ඇයි රත්තරං ඒ සුන්දර දේවල් ඔක්කොම හීනයක්ම වුනේ. ඒ හීනෙදි ඔයාට දුන්නු හැම සතුටක්ම මං අනිත් දවසෙ ඔයාට දෙන්නම් නදී.

“අනේ පලයන් බං. උඹට නම් ඉතින් ඔක්කොම විහිළු. ඒ හීනෙ ඉතුරු ටික මං ආයෙ බලන්නෙ නෑ සඳේ. බැලුවොත් මගෙ නදීට මාව නැති වෙනවා. තව ටික වෙලාවක් හිටියා නම් මං මැරෙනවා. මං හිටියෙ ලොරියට යට වෙලා එක කකුලක් කැඩිලා. ඔළුවෙන් ලේ ගලද්දි. ඒ කෙල්ලට මාව නැති කරන්න බැහැ බං. නදීට මං නැතුව ඉන්න බැහැ. බයික් එකෙන් බැහැලා යද්දිත් ගියේ කඳුළු පෙරාගෙන. ඒ අහිංසකීට මගෙ ලඟ කොච්චර වෙලා හිටියත් මදි බං. අනේ මන්දා... පස්සෙ කාලෙකවත් මට රස්සාවක් වත් කරන්න නම් හම්බ වෙන එකක් නෑ. එයාගෙම ලඟට වෙලා ඉන්න වුනොත් එහෙම.”

දවාලෙ නදීට එක එක ඒවා කිව්වා වගේ මම අයියා ලඟදිත් එහෙමම කියලා දැම්මා. මට අරුමයක් දැනුනෙ නෑ. මං ගැන ගොඩක් හොඳට දන්න කෙනෙක්ට එහෙම දෙයක් කිව්වට මගෙ හිතට ඒක මහ ලොකුවට දැනෙන්නෙ නෑ සඳේ.

"අවුලක් නෑ මල්ලි. උඹ වැඩට පලයන්. නදී ගැන ලොකුවට හිතන්න ඕනෙ නෑ. මේ පැත්තෙන්ම ගෙයක් අරගෙන වරෙන් දෙන්නත් එක්ක පදිංචි වෙන්න."

එහෙම කියලා අයියා යන්තමට හිනා වෙන්න ගත්තා. මට නොතේරෙනවා නෙමෙයි සඳේ. ඒත් මං දන්නවා උඹ කවදාවත්ම මට වැරැද්දක් කරන එකෙක් නෙමෙයි කියලා. වෙන එකෙක් ඔය කතාව කිව්වා නම් මං ඌව ඉතුරු කරන්නෙ නෑ සඳේ.

"අනේ පලයං බං. උඹ ඕක කිව්ව හින්දා හොඳයි සඳේ. වෙන එකෙක් එහෙම කිව්වා නම් බලා ගන්න තිබුනා අමිල මල්ලිගෙ ආදරේ තරම..."

"හ්ම්ම්... මං දන්නවා මල්ලි. උඹ වගේම ඒ කෙල්ලත් උඹට ගොඩක් ආදරේ ඇති. ඒත් මල්ලි පරිස්සමින්. බුදුන්ටත් ගල් පෙරළුව එකේ උඹලට හරස් කපන්න හුඟක් දෙනෙක් බලාගෙන ඉන්නවා. උඹ දන්නවද නදීලගෙ ගෙදර විස්තර."

කවුද අපිට හරස් කපන්න ඉන්නෙ අයියෙ. මට හිතා ගන්න නම් බැහැ. ඒත් මං දන්නවා. එලිපිටින් නැති වුනාට දිය යටින් ගින්දර ගෙනියන එවුන් නම් ඇති. මං නදීලගෙ පවුලෙ විස්තර, නදීගෙ විස්තර මම දන්න විදියට අයියට කිව්වා. මං දන්න විදියට නදී නම් බොරු කාරියෙක් නෙමෙයි සඳේ.

“හ්ම්ම්... නදී උඹට ආදරේ කරන්නෙ නම් ඇත්තට වෙන්න ඇති. ඒත් එයාලගෙ අම්මලා උඹ හිතාගෙන ඉන්න තරම් අහිංසක මිනිස්සු නෙමෙයි මල්ලි. එයාල හරිම සැරයි. මං හිතන්නෙ නෑ නදී එයාලගෙ කීමට පිටින් යාවි කියලා. ඒ තරම් නදී එයාගෙ අම්මලාට බයයි මල්ලි. අනිත් එක උඹත් එක්ක ඇවිදින්න පණ්ඩිතයා වගේ ආවට නදී තවම පුංචි කෙල්ලෙක්නෙ මල්ලි. හැමෝගෙම හොඳට නදීලගෙ අම්මලා උඹට කැමති වුනොත් නම් හොඳයි. ඒත් ඒක එහෙම නොවුනොත් මල්ලි...?. මොකද උඹ කරන්නෙ..?.”

මම කොහොමද උඹට උත්තර දෙන්නෙ සඳේ. ගොඩාක් දුර හිතන්න මට දැන් බැහැ. ඒත් මං උත්තරයක් දෙන්නම ඕනෙ දැන් උඹට. මට පුළුවන් වේවි සඳේ නදීව මං හිතං ඉන්න විදියටම කිසිම කරදරයක් නැතිව මගෙ ලඟට ගන්න.

“මට නදීලගෙ අම්මලාව කැමති කර ගන්නම වෙනවා සඳේ. එහෙම නොවුනත් මං ගෙදර අයගෙ කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි මගෙ නදීව මගෙ ලඟට ගන්නවා. නදීට මාව නැතිව ඉන්න බෑ සඳේ. මටත් ඒ කෙල්ල නැතුව දැන් හුස්මක් වත් ගන්න බෑ. ඒ තරම් අපි අපිට ආදරෙයි. ඒක උඹ දන්නවනෙ. දවසක මගෙ ගෙපැලට නදීට එන්න වෙන්නෙ ගෙදර අයගෙ අකමැත්තෙන් එන්න වේවි කියලා මගෙ හිත දැන් කියනවා සඳේ. අනේ මන්දා... හොඳින් කරන්න බැරිම වුනොත් මට නරකින් වත් කෙරෙන්න ඕනෙ දේ කරන්නම සිද්ධ වෙනවා සඳේ. කවදාවත්ම මගෙ කෙල්ලට නරකක් වෙන්න ඉඩක් තියන්නෙ නෑ මං. ගෙදරින් අකමැතියි කියලා, වෙන කොල්ලෙක්ට එයාව දීලා මගෙ හිත හදා ගන්න මට බෑ සඳේ. නදීටත් එහෙම ඉන්න බෑ. එහෙම වෙන කෙනෙක්ට එයාව දීලා අත පිහිදගන්න, මං වෙස්සන්තර නෙමෙයිනෙ සඳේ. එයා මහ මෙර උඩ ඉඳන් පහලට පැන්නත් මං ඉන්නවා මගෙ පැංචිව අල්ලගන්න මහ මෙර පාමුලට වෙලා. ඇත්තමයි සඳේ...”

අගක් මුලක් නැතිව මම එක දිගට කියෝගෙන ගියා. මට මේ වචන නවත්තන්න කිසිම අයිතියක් නෑ. මේ එලියට පනින්නෙ මගෙ හා පැංචි වෙනුවෙන් මගෙ හිත පුරාවට අකුරින් අකුර එකතු වෙලා ලියැවුන අපමණක ආදරේ. මම මහ බොලඳ කොල්ලෙක් වෙලා ඇති. ඒත් මම කියන්නෙ සහතික ඇත්ත සඳේ. සඳරුවන් අයියා මගෙ දිහා බලාගෙන ඉන්නවා. ඒ බැල්ම මට කියන්නෙ “උඹට පුළුවන්ද ඔය ඔක්කොම කරන්න” වගේ අරුතක්. ඔව් සඳේ. මට පුළුවන්. එක සැරයක් වත් නදීගෙ ලඟට ලං නොවී එයාගෙ ලඟට හැබැහින් යන්නෙ වත් නැතිව මා ගැන ඒ හිතේ ඔය තරමක ආදරයක් මවා ගන්න මට පුළුවන් වුනා නම්, ඇත්තටම කිව්වොත් මේ එන්නෙ මට අභියෝග නෙමෙයි සඳේ. මට පුළුවන් ජීවිතේ දිනා ගන්න. ඉස්සර වගේ මං තනියෙන් නෙමෙයි දැන් ඉන්නෙ. නදී ඉන්නවා. උඹ ඉන්නවා. තව අපි ගැන දන්න ගොඩක් දෙනෙක් ඉන්නවා. උඹලා හැමෝම ඉන්නකොට ඇයි සඳේ මං බය වෙන්නෙ.

“ආ... මල්ලි ඒක නෙමෙයි...? දැන් උඹ දන්නවද නදීලගෙ අම්මලාගෙ විස්තර..?”

*******************



Newer Post Older Post

One Response to “*ආදරණීය_නදී_(5 කොටස )”

  1. ඔයා එළකිරි එකේ ඔය කතාව ලියනව නේද?ලස්සනයි.අදමයි ආවෙත් මේ පෑත්තෙ.ජය පතනවා

    ReplyDelete