November 2011

*විදවන්නද මේ භවය පුරා..


පාසලේ බෙල් එක නාදවීමත් සමග පන්ති කාමර වලට ඇදී යන සිසු සිසුවියන් අතරේ ඒ රුව මා මුලින්ම දුටුවේ කවදා දැයි මට අදත් එදා මෙන්ම මතකය... යෙහෙලියන් දෙදෙනෙකු සමග පන්තිය කරා ඇදී යන ඒ රුව දෙස වික්ශිප්ත වූ දෙනෙතකිං මා බලා සිටි හැටි අද ඊයේ මෙන් මට තවමත් මතකය... සමහර අය පළමු දැකුමෙන්ම සිත් පැහැරගන්නා බව නවකථා වල කියවා ඇතත් එය සැබෑ ජීවිතයටත් යම්තාක් දුරට ගැලපේ යයි මට ගම්‍ය වූයේ ඒ දෑස, ඒ සිනහව , ඒ හඩ මගේ මනසේ මුළු දවස පුරාම රැව්පිළි රැවිදී ඇසෙන්නට පටන්ගත් නිසාවෙනි...
ගණන් පාඩමේ වෙනදා නොවූ බර ගතියක් , විද්‍යාව අද සොයාගත් දෙයක් මෙන් අපහසු ගතියක්...
මුළු ලෝකයේම ඇති සීමා මායිම් භූ ගෝලය පාඩමට ඇවිත් ඇති ගතියක් උදේ වරුවේම පෙන්නුම් කෙරිනි....
විවේක කාලය සදහා සීනුව නාදවීමත් සමගම මාගේ දෙනෙත යලිත් සොයා යන්නට පටන් ගත්තේ ඇගේ රුවය... ඇය කව්ද.. ඇය කොහි සිට පැමිණෙන්නී ද, ඇගේ නම ගම , තතු දැනගැනීමට මා තුල මහත් ආශාවක් හට ගත්තේ නිතැතින්මය..
අසල පන්තියක මිතුරියකගෙන් ඈ ගැන විමසුවෙමි... ඈ ............................. (ඇගේ නම සදහන් නොකරමි- සමාවන්න ) බව දැනගන්නට ලැබුනි.... ඒ මොහොතේ පටන් ඇගේ නම මගේ මුළු ආත්මයේම සැරිසරන්නාක් බදු හැගීමකින් සිත වෙලාගති.... සවස් වරුවේම මගේ සියළුම පොත් වලත් ඩෙස්ක් එකේත් ඇගේ නම තැන් තැන් වල ලිවීමෙන් මා අහින්සක සතුටක් ලදිමි..
පාසල අවසානයේදී යලිත් වරක් ඒ රුව දැකගන්නට ඉඩ ලදිමි... පොත් බෑගයකුත් එල්ලාගෙන පාසලෙන් පිටව ඇය නොපෙනී යනතුරුම බලා සිටියෙමි..
නිවසට පැමිණීමෙන් පසුවත් සවස් වරුවමත් මා ගතකලේ ඈ ගැන සිතමිනි... වෙනදාට වේගයෙන් ගලනා කාලය අද මහා මන්දගාමී ලෙස ගලායන තැතක් අත් දුටිමි.
පසුදින උදෙන්ම අවදි වී වෙනදාටත් වඩා ලස්සනට ඇද පැළදගෙන ජෙල් පැකට්ටුවක්ම හිස තවරාගෙන උදෙන්ම පාසල බලා ගියේ ඇගේ මුහුණ හිමිදිරි උදෑසනම දැක ගැනීමේ මහත් ආසාවෙනි...
අහෝ කරුමෙක මහත..... මේ මෝඩ ශිෂ්‍ය නායකයින්ට මාගේ පිවිතුරු ‍ආදරය තේරුම් ගත නොහැකි විය.... ප්රධාන ශිෂ්‍ය නායක තෙමේ මා බෙල්ලෙන් අල්ලාගෙන ගොස් ටැප් එකට අල්ලා මුලු හිසම සේදුවේ අපගේ පරම්පරාවටම දෙස් දෙවොල් තබමිනි....
එලෙස ට්ප් එකට හිස පොවාගෙන සිටිද්දී යලිත් ඒ රුව දුටුවෙමි... ඈ යහලුවන් සමග සිනා සෙමින් මා අසලින්ම ගියයා.... මා ඒ දෙස බලද්දි... ආ... ජෙල් ගාගෙන ආවෙ මේකද.. පෙනේද මුගෙ මනමාලකම... කියා නැවතත් ටැප් වතුරෙන් නෑමට මට අවස්ථාව ලැබුනි...
එදා දවසම මම ඈ දැකගන්නට පෙරුම් පිරුවත් මට ඒ අවස්ථාව නොලැබුනි..
මෙලෙස දිනෙන් දින දිනෙන් දින ගත වූවත් පාසල තුලදී ඇගේ රුව යන්තම් දුටුවත් කථා කිරීමට තරම් අවස්ථාවක් නොලැබුනි.. නමුත් මාගේ සිත ස්ථිරවම ඈ කෙරෙහි බැදී ඇති බව මට පසක් වන්නට වූයේ.... රෑ ජාමේ මට පෙනෙන සිහින වල ඇය ප්රධාන චරිතය රගපෑ නිසාවෙනි..
දිනක් මා ඇගේ අත අල්ලාගෙන යනු දුටිමි....තව දිනක් පාසලේ කතා කර කර හිදිනු දුටිමි...
තව දිනක් ඇගේ නම හයියෙන් කියා ගෙදර අයගේ සමච්චලයට ලක් වූවෙමි...

ඉංගිරීසි දැනුම වර්ධනය කර ගැනීම සදහා උපකාරක පන්තියකට මාව යොමු කෙරුනේ අපේ අම්මාගේ අනු දැනුම පිටය... නිවාඩු සෙනසුරාදා වත් ගෙදරට වී චිත්තරපටියක් බැලීමේ අවස්ථාව ඇහිරීම ගැන බැන බැන මව සමගින් පළමු දිනයේ පන්ති ගිය හැටි මට තවමත් මතකය... පන්තිය ඇති තැනට යාමට ඒ මිස් ගේ නිවස පසු කර කන්දක් ගැගිය යුතුය... ඒ කන්ද නගින විට මා ඈව යලිත් දුටුවෙමි... අහෝ දෙවියනි.... ! මේ කුමන ආශ්චර්්‍යයක්ද...
ළමුන් 12ක් පමණ සිටි පන්තියේ කෙරවල බන්කුවක මා වාඩි උනෙමි..
මා දුටු පමනින්ම ඇයත් ඇගේ යෙහෙලියනුත් කොක් හඩලා සිනාසෙනු දුටුවෙමි.... ඒ ලෙස සිනා වීමට හේතුව පාසල් ජෙල් සීන් එක බව පසුව දැන ගතිමි...
පන්තිය පටන් ගති..... ඩික්ටේශන්..ග්රැමර්... එසේ.... අරවා මේවා මැද ඈ දෙස බැලීමටත් මා අමතක නොකලෙමි.. ඇත්තටම ඉංගිරීසි කථා කිරීමට හෝ ලිවීමට එතරම් හැකියාවක් නොතිබුනත් ඇයට වැඩ පෙන්වීමට සිතා කැපවීමෙන් වැඩ කළෙමි...
එදා පටන් ඉංගිරීසි පන්ති යාමට පාසල් යාමටත් වඩා උනන්දුවෙන් මා සූදානම් වෙනු දුටු අම්මා තුල ඉමහත් ප්රීතියක් හට ගති... උදෑසන පටන් ඩික්ටේශන් පාඩම් කර... අමාරු වචන ඩික්හනරියෙන් බලා.... රජනාවල් වලට කරුණු සොයාගෙන සන්නද්ධ ලෙස පන්තියට යන මම කෙල්ලන්ටත් වඩා හොදින් වැඩ කරන බව දවසක් මිස් අම්මා සමග කියනවා ලැජ්ජාවෙන් අසා සිටියෙමි...
දිනක් පන්තිය පටන් ගන්නා විට ඈ තනියෙම සිටිනු දුටුවෙමි. පසුව යාළුවන් පැමිනෙතැයි සිතුවත්...එය එසේ නොවුනි... එදින පන්තියේ ළමුන් අඩු නිසා ලග ලග බංකු වල අප දෙදෙනා හිද ගතිමු... යන්තම් මා දෙස බලා ඈ අවිහින්සක ලෙස හිනා වූවා මට තවමත් මතකය....
ඒ හුරතල් සිනාවෙන් මා වශීවී ගිය ආකාරය කොතෙක්ද කිවහොත් එදින ඩික්ටේශන් 20 න් 12 ක් ම වැරදී ගිය බව කණගාටුවෙන් සිහිපත් කරමි.. දිනූෂ.. වට්ස් රෝන් විත් යූ ටුඩේ ආ.....
මිස් ද පුදුමයෙන් මෙන් ඇසූ අතර... මම සිනහවෙන් පිළිතුරු දුනිමි... එදින නම් කෙසේ හෝ ඇය සමග කථා කිරීමට ඉටා ගත් මම ලග තිබූ පෑන ජනේලයෙන් එළියට දමා ටිකකින්.... එක්ස්කියුස් මී..... පෑනක් තියෙනවද කියා ඇගෙන් ඇසුවෙමි.... පැන්සල් පෙට්ටිය විවර කළ ඈ පෑනක් මා අත තැබුවාය... ඇයට ස්තූති කරමින් ඇගේ පෑනෙන් එදා වැඩ කර ගතිමි...
පන්තිය ඇරී නිවෙස බලා ඈ ගමන් කලේ පයින්මය... ඇවිද්ද පය දහස් වටී යයි සිතා මා ද ඇය පසු පස්සේ යාමට ඉටා ගතිමි... පස්සෙන් ගියාට වැඩක් තියෙයි යෑ... කථා කලේ නැත්නම්...
ඕන දෙයක් කියා ඇයට කථා කලෙමි.... ........................... කෝ අද යාළුවො ඔයාගෙ ?
ආ... එයාලගෙ දහම් පාසලේ තෑගි උත්සවේ නිසා අද ආවෙ නෑ...
ඇයි ඔයා දහම් පාසල් යන්නෙ නැද්ද.. මම ඇසුවෙමි...
නෑ... ඇය කීවාය..
මම යන්නෙත් නෑ නෙ... මම පිලිතුරු දුනිමි... ( මම දහම් පාසල් අවසාන විභාගෙත් කළ බව ඈ නොදනියි... ) මට උවමනා කලේ කථාව ඉදිරියට ගෙන යාමයි...
හ්ම්ම්.... ඇ දෙන්නේ කෙටි පිලිතුරුමයි...
අද ක්ලාස් එකේ වැඩ ලේසියි නේද ?
ඔව්....
එසේ එකත් හොදට ලිව්වා නේද...
හ්ම්ම්ම්ම්....
ඩික්ටේශන් තමයි අව්ල...
හ්ම්ම්ම්ම්ම්.....
ඈ මට ඉස්සර වී යන්නට තැත් කරයි... නමුත් මාත් ඈ සමගම යාමට උත්සහ කලෙමි...
ඔයා‍ගෙ ගෙවල් කොහෙද...
ඔය ඉස්සරහා...
ආ එහෙමද... හොදයි නේ... පන්තියට ලගයි...
හ්ම්ම්ම්ම්.....

එදා ඈ සමග කථා කළ වචන කිහිපය අදත් මගේ සවන පුරා දෝංකාර දෙමින් මට ඒ දිනය මතක් කරයි.. මීලගට මා කළ යුත්තේ කුමක්ද.. ? හදවතේ බුර බුරා නැගෙන ආදරය කියනවාද..? තව කල් ඉවසනවාද .... හොදම වැඩේ යාලුවෙක්ට කථා කරලා බලන එක...
මම ඇගේ හොදම යෙහෙලියක් සමග පාසලේදී කථා කලෙමි.... ඇය මා සමග පෙර වසර වලදී එකම පන්ති වල සිටි නිසා මා හොදින් හදුනයි...
කල්පනා... මේ ..... අරයා.... මම ගොත ගැසුවෙමි..
කව්ද දිනූෂ ?
අර අරයා...
කෝ... ? කව්ද ?
අර අර.... ඔයාගෙ යාළුවා.. .................
ආ.. .... ඉතිං.... මොකක්ද එයාට වෙලා ‍තියෙන්නෙ..
නෑ මේ.. එයා... එයා....
ඔව්.. මොකක්ද ?
එයාට ෆෝන් එකක් තියෙනවාද ?
හිහි.... ඇය සිනාසුනාය....
ඇයි හිනා වෙන්නෙ ?? මම ඇසුවෙමි...
නෑ මට හිතුනා එන පොට හොද නෑ කියලා..... ඒ දවස් වලම...
මම වික්ශිප්ත වූයෙමි.... සැගවීමට දෙයක් නැති තැන ඇයට මාගේ සිතුවිල්ල පැවසුවෙමි....
ම්ම්ම්..... දන්න විදිහට නං එයාට වෙන කව්රුත් නෑ.... ( ධන ලකුනක් - මට සතුට )
ඒ උනාට කියන්නත් බෑ ඉතිං.. ( සෘන ලකුණක් - මට දුක )
ෆෝන් එකක් නං තියෙනවා.... ( ධන - එළ )
ඒත් නම්බර් එක මතක නෑ හලෝ... ( සෘන - මළ මගුලක් නෙ යකෝ.. )
ඔයා හොද කෙනෙක් නේ .... මම එයාගෙන් ඔයා ගැන අහලා බලන්නම්...
ෆෝන් නම්බර් එක හෙට දෙන්නම්... ( ධනේ ධන... - මට මාර සතුට )

නෑ ... එපා කල්පනා... අහන්න ඕනෙ නෑ... පුලුවන් නම් මට ‍ෆෝන් නම්බර් එක දෙන්න...
ආ .. ඕකේ .. මම දවල්ට දෙන්නම්....
එදා දහවල් වෙනකං මා ගතකල අසහනකාරී කාලපරිච්ඡේදය ඔබට අමුතුවෙන් විස්තර කළ යු‍තු නොවේ යයි සිතමි... අනේ දෙයියො බලලා වගේ හමුබුනා ෆෝන් නම්බර් එකත්.....
එදින සවස මා නිවසට ගියේ දහසක් සිතුම් පොදි බැදන් ය...
පළමුවෙන්ම මිස්ඩ් කෝල් එකක් ලබා දුනෙමි..... ප්රතිචාරයක් නැත...
නැවතත් ලබා දුනෙමි..... ප්රතිචාරයක් නැත....
තෙවනුවත් සිව් වනුවත් ඒ ආකාරයෙන්ම කිසිම ප්රතිචාරයක් නොමැත...
ඕන දෙයක් උනදෙං කියා හෙලෝ ... මාව අදුරනවාද කියා මැසේජ් එකක් යැව්වෙමි....
ප්රතිචාරයක් නොමැත..... වැරදි අංකයක් ලබා දීම ගැන සිතින් කල්පනාට බැන වදිමින් එදා නින්දට යාමට සැරසෙද්දී.... රෑ 11.30ට පමණ කෙටි පණිවිඩයක් ලැබුනි.... එහි.. ඔයා කව්ද යනුවෙන් අසා තිබුනි.... මම හැරෙන තැපෑලෙන් මම දිනූෂ , ඔයා....... .....................
නේද කියා අසා යැව්වෙමි.... යලිත් එසැනින්ම වාගේ ඔව්... කව්ද ඔයාට මගේ නොම්බරේ දුන්නේ ? ඇයි මිස්ඩ් කෝල් ගහන්නේ කියා අසා එවා තිබුනි.... මමත්... කොහොම හරි හම්බුනා නේ.... මිස්ඩ් කෝල් ගහන්නේ මතක් උන නිසා... ඇයි ඒක කරදරයක් ද ? සොරි කියා යැව්වෙමි..... යලිත්... ආ .. කල්පනා වෙන්න ඇති දෙන්න ඇත්තේ.... නෑ කරදරයක් නෑ... මම ෆෝන් එක බැලුවෙ නෑ දවල් කියා රිප්ලයි ආවේය....
මම මේ දකින්නේ සිහිනයක්ද කියා සැක හැර දැන ගැනීමට කකුල , අත, බඩ කොනිත්තා බැලුවෙමි..... ටොක්කක් ඇනගෙන බැලුවෙමි.... ඔව්... මේ සැබෑ ලොවයි... දෙයියනේ අපි මැසේජ් කර ගන්නවා... සුභ ලකුණක්.....

පාසලේදී ඇය එසේමය..... පන්තියේදීත් එසේමය... සුපුරුදු ලෙස කථා නොකරම හිදියි...
නමුත් නිවසට පැමිණි විට... බොහෝ විට රාත්තිරියේදී අප විසින් එස් එම් එස් හුවමාරු කර ගතිමු.... ඇය දිනින් දිනම චතුර ලෙස මැසේජ් කලාය... මාද ඉතා ප්රීතියෙන් රිප්ලයි කළෙමි...දිනෙන් දින කල් ගතවිය...... එස් එම් එස් ප්රමාන වැඩි විය.. ඔය අතරේ ඇයගේ දුරකථනයට මාගෙන් පොඩි රීලෝඩ් ද එක දෙක යැවුනු බවත් කිව මනාය..
කෙමෙන් කෙමෙන් දුරකථනයෙන් අපි කථා කලෙමු... විහිලු කලෙමු... එහෙත් ආදරයක් පැවසීමට මම ඉක්මන් නොව්නෙමි... නිසි කාලය විභාගයෙන් පසුව පැමිනෙතැයි බලා සිටියෙමි...
උසස් පෙළ විභාග සමයේ පවා අපි කථා කළෙමු.... ඇය වඩ වඩා මා සමග කුලුපග වූවාය.. මටද ඇයගේ හඩ නොඇසී නින්ද නොයන තරම් තත්වයකට පත් විය...

කාලය ගලා ගියේය... උසස් පෙලින් පසුව මම පුහුණු පාඨමාලාවකටද ඇය පරිඝණක පාඨමාලාවකටද ගියෙමු. මග තොටදී නිතර හමුවීමට නොහැකි වූවත් 3ජී ඇමතුම් හා වොයිස් ඇමතුම් අපව නිතර සම්බන්ධ කරන ලදී..... ඇයගේ හා මාගේ ජීවිත එකම මගක ගමන් කරනු මම අධ්‍යයනය කලෙමි.... දෙදෙනාගේම අදහස වූයේ.. හොද රැකියාවක් සොයාගත් පසු පරස්සාවක් ගැන සිතීමටයි.... ඇයගේ ඒ වදන් මාගේ ආදරය ඇයට පැවසීම පමා කලත් අප දෙදෙනා තුල කිසියම් ස්ථිර බැදීමක් තිබුනු බව මට වැටහුනි....
කාලය ගෙවී යද්දී ඇය සමග පැය ගණන් කථා කරමින් සිටීමට මම පුරුදු වුනෙමි.. කොටින්ම කිවහොත් ආදරයකටත් වඩා දුර දිග ගිය කිට්ටු සම්බන්ධකමක් ඈ මට පෙන්වූවාය...
ගෙදරට නොකියන දේවල් පවා ඈට කීවෙමි... ඈත් එලෙසමය... දිනක් මම ඇයට මගේ යෝජනාව ඉදිරිපත් කිරීමට යද්දී ඈ එය වැලැක් වූ‍යේ.. ඔය වගේ කථා අහන්න තව කල් තියෙනවා දිනූ... තව ගොඩක් වැඩ තියෙනවා යයි කියාය... ඇයගේ ආදරබර වදන් හමුවේ මාගේ සිතුවිලි සියල්ලම ඇයට ඕනෑ කරන ආකාරයට ක්ෂනිකව වෙනස්වන සුළු බවක් දැක්විනි...

දිනය පසුගිය 12 වෙනිදා.... සුපුරුදු පරිදි ඇගේ මිස්ඩ් කෝල් එක බලාපොරොත්තුවෙන් සිටියෙමි..... නමුත් එය එසේ නොවීය..... මා ඈට කථා කලෙමි ... එහෙත් කිසිම ප්රතිචාරයක් නොවීය..... අසනීපයක් වත් හැදිලද කියා සොයා බැලීමට නිවසට කථා කලෙමි... අක්කා ෆෝන් එක රැගෙන ආ... එයා පන්ති ගියා යයි පැවසුවාය....
සිදුවන දේ හරි හැටි වටහා ගත නොහැකිව යලි යලිත් ඈ ඇමතීමට තැත් කළෙමි.... ථලක් නොවීය...ඇගේ පන්තිය අසල පැය ගණන් අව්වේ කර වූයෙමි... පන්තිය අවසානයේ ඇය මා දෙස නොබලාම 3 වීල් එකකින් පිටත් වූවාය.... කිමද මේ අරුමේ .. මට නොහැගේ ප්රිය සොදුරේ... !

දිනෙන් දින ඇගෙන් කිසිම ප්රතිචාරයක් නොලැබෙද්දී.... මාගේ මුළු ජීවන රටාවම අව්ල් ජාලාවක් වෙමින් ති‍බේ.... කුසට අහරක්වත් ‍නොමැතිව... නින්දක් නොමැතිව... කැළඹුනු සිතින් පසුවෙමි...  සවස නැවත ඇය ඇමතුවෙමි.....
දිනූ.. මට එක්කෙනෙක් ඉන්නවා ... ඔයා මට ආයෙ කථා කරන්න එපා ප්ලීස්...
දුරකථනයෙන් ඇසුනු දේ අදහාගත නොහැකිව මම ගල් වූයෙමි.... ලෝකයම මා වටා කැරකෙන්නාක් වැනි හැගීමකින් මා තිගැස්සුනෙමි.....

ඔයාලා දෙන්නට සුභ අනාගතයක්... මම පසුව ඇයට මගෙන් නික්මෙන අවසන් කෙටි පණිවිඩය මුදා හැරියෙමි...

*මතකය _ ????



තුන් වෙනි වේදිකාවෙ නවතා ඇති රාත්‍රී තැපැල් දුම්රිය තව ස්වල්ප වේලාවකින් බදුල්ල බලා පිටත්වේ.දුම්රිය නවත්වන්නේ රාගම,ගම්පහ,වේයන්ගොඩ,මීරිගම,පොල්ගහවෙල,රඹුක්කන,කඩුගන ්නාව,පේරාදෙනිය හංදිය,ගම්පොල,නාවලපිටිය, නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත. මරදාන පහු කරල දෙමටගොඩට කිට්ටු කරල තිබුනත් තාමත් ඒ හඬ තාලයට හිත ඇතුලෙන් පිලිරැව් දිදී තිබුණා.දුම්රිය නිවේදනයට තියෙන්නෙ හරි අමුතුම තාලයක්.මම ඒ තාලයට පොඩි කාලෙ ඉදන්ම ආසයි.

ජීවිතේ පලවෙනි පාරට මම තනියම කෝච්චියෙ බණ්ඩාරවෙල යනවා.දෙවෙනි පන්තියේ අසුනක ජනේලයක් අයිනෙ වාඩිවෙලා කෝච්චියෙ දඩබඩස් සද්දෙට සවන් දීගෙන යන මගෙ හිතම අමුතු මිහිරකින් පිරිල තිබුණා.විභාගයත් ඉවර හින්දා හිතට පුදුම සැහැල්ලුවකින් තිබුණා.
කොටුවෙන් රෑ 10.20 බදුල්ල කෝච්චියෙ යන්න තිබුණු ආසාවත් මම ඉටු කර ගත්තා.වෙනදට අපි යන්නෙ රෑ 7.15 කෝච්චියෙ.

මට එහා පැත්තෙ වාඩිවෙලා හිටය අංකල් ලංකාදීප පත්තරේ බලන ගමන් හොරැහින් මගෙ දිහා බලන්නෙ මාත් එක්ක කතාබහකට බව මට තේරුම් ගියත් මම නොදැක්කා වගේ ජනේලයෙන් එලිය බලාගෙන සිතුවිලි ලෝකයෙ ගිල්වුණා.
චූටිනංගයි මල්ලියයි මම එනකම් මඟ බලාගෙන ඇති.චූටිනංගට නම් කියවන්න දේවල් ඇති වරුගානක්.
එතකොට සාවිත්‍රි එයත් මම එනකම් මඟ බලාගෙන ඇත්තේ.එයාටත් විභාගෙ ලේසි වෙන්න ඇති.එයා තාම වෙනස් වෙල නැතුව ඇති.මේ පාර නම් අපි දෙන්නට කතා කරන්න ගොඩක් දේවල් තියෙයි.


'පුතා කොහාටද යන්නෙ'
අංකල් මගෙ සිතුවිලි ලෝකය කඩල දාන ගමන් කතා කරා.
'මං බණ්ඩාරවෙල යන්නෙ අංකල්'
'ආ ඒක හොදයි අපිත් යන්නෙ හපුතලේ.පුතා තනියමද යන්නේ'
එතන ඉඳන් මගෙ ඔක්කොම විස්තර ටික අංකල් මගෙන් දැන ගත්තා.
'පුතා පත්තරේ බලනවද'
අංකල් එහෙම ඇහුවේ මගෙත් එක්ක කතා කරන්න දෙයක් නැතිම වෙනකම් අපේ කතාව ඉදිරියට ගියාට පස්සෙ.මම පත්තරේ අතට ගත්තේ අංකල්ගෙ ඉල්ලීම අහක දාන්න බැරි කමට මිසක් නැත්නම් කෝච්චියෙදි පත්තර කියවන්න මම ආස නෑ.කෝච්චියෙ ගැස්සිල්ලත් එක්ක පත්තරේ එක පේලියක ඇස් දෙක තියාගෙන යන එක හරි අමාරු වැඩක්.

ඔහේ පත්තරේට ඇස් දෙක ඔබා ගෙන යන අතරෙදි තමයි අංකල්ගෙ දුව එතනට ආවෙ.අංකල් එක්ක කුලුපග වුනූ එකේ පාඩුවක් නෑ කියල මට හිතුනෙ ඒ නංගියව දැක්කට පස්සෙ.
ඒ නංගියට තිබුණු බොහෝ කාලයක ඉදන් දැකල හුරුපුරුදු ඇස් දෙකක්.
මට එහෙම දැනුනට ඒ හුරුපරුදු බව ඇතිවුනේ ඊට පැය ගාණකට කලින්.කෝච්චිය එනකම් කොටුව ස්ටේෂන් එකේ ඉන්න අතරෙදි ඒ ඇස් දෙක මගෙ ඇස් දෙකට කිහිප විටකදිම යා වූනා.
එයාටත් ඒක දැනිලද කොහෙද මාව දැක්කම ලැජ්ජාවෙන් හිණාවුනා.

'බලන්න මේ අයියා ඔයාට වඩා අවුරුද්දයි වැඩිමල්.තනියෙන් බණ්ඩාරාවෙලත් යනවා'
අංකල් මාව උඩින්ම තියල කතා කරා.
'ඉතින් එයා පිරිමි ළමයෙක්නෙ'
හැඩ වගේම එයාගෙ කටත් සැරට තිබුණා.
මටත් නංගියගෙන් රසම රස සැන්ඩ්විච් පෙති දෙකක් හම්බවුනා.ඉස්සර අපි ගෙදර හැමෝම බත්මුල් බැදගෙන කෝච්චියෙ බණ්ඩාරවෙල ගිය කාලයට හිතෙන් එබෙමින් මම ඒව කෑව.

කෝච්චිය පොල්ගහවෙලට එනවත් මට මතකයි.ඊට පස්සෙ මම ඇහැරුණෙ නානුඔය කිට්ටු කරලා.ඈතින් පේන තෙල් ටැංකි දැක්කම දුර ඉඳන්ම නානුඔය අඳුර ගන්න පුලුවන්.

කෝච්චිය නානුඔයට එනකොටත් යන්තම් එළිය වැටිලා. රෑ 7.15 කෝච්චියෙ ආව නම් නානුඔය හරියෙදිත් කලුවරයි.10.20 කෝච්චියෙ එන්න මම ගත්තු තීරණය ගැන ආඩ්ම්බර වෙමින් මම නැගිටලා කෝච්චියෙ දොර ගාවට ගියා.
මීදුමත් එක්ක ඇඟ හිරිගඩු නංවන සීතල හුළඟ කපාගෙන කෝච්චිය හෙමින් හෙමින් උඩහට ගියා.මම කෝච්චියෙ දොර ගාවට වෙලා තාමත් ඈති පොඩියට පේන වතුකාමර වල පුන්චි පුන්චි එළි දිහා බල බල අමුතු චමත්කාරයක් වින්දා.කෝච්චිය හපුතලේට එනකොටත් මම දොරගාව.
හපුතලේදි අංකලුයි ගෙදර අයයි බහින්න ලැහැස්තිවුනා.මමත් එයාලගෙ බඩු බාන්න උදවුකරා.අහම්බෙන් හමුවුණු අපේ හමුවීම ඒ විදිහට කෙලවර වුනා.
ගොඩ කාලයකට මතක හිටින කෙටිකාලීන හමුවීමක් හපුතලේ ස්ටේෂමේ නතර කරල කෝච්චිය මාවත් අරගෙන දියතලාව පැත්තට ගියා.මාව නොපෙනී යනකොටත් අර නංගියා මට අත වනනවා මම බලන් හිටියා.

කෝච්චිය බණ්ඩාරවෙලට එනකොට 7ටත් පහු.ඒ හින්දා ස්ටෑන්ඩ් එකට ගිය ගමන්ම ඇටම්පිටිය බස් එකක් තිබුණා.වෙනදට නම් අපි බස් එකක් එනකම් ගොඩක් වෙලා ස්ටෑන්ඩ් එකේ බලන් ඉන්නවා.10.20 කෝච්චියෙ එන්න ගත්තු තීරනය ගැන මම ආයෙමත් සතුටු වුනා.



චූටි නංගයි මල්ලියයි උදේ ඉදන්ම මඟ බලාගෙන ඉන්න ඇති මාව දැක්ක ගමන් දෙන්නම දුව ගෙන ආවා.චූටිනංගා මට වඩා අවුරුදු 2ක් බාලයි.මල්ලියා 4ක් බාලයි.නොදැක්ක අවුරුද්දට චූටිනංග නම් ගොඩක් ලොකු වෙලා ලස්සන වෙලා.මල්ලියා නම් තාම එහෙමයි.

ගිය ගමන්ම මම ලොකු අම්මගෙ අතිප්‍රණිත කොල්ලු හොද්දත් එක්ක බත් කෑවා.
'කොහොමද පුතා විභාගෙ'
අපේ අම්ම වගේම ලොකු අම්මත් මගෙ විභාගෙ ගැන බලාපොරොත්තු තියා ගෙන ඉන්න බව මම දන්නවා.
'ලේසියි ලොකු අම්මා.'
'එහෙනම් හොඳට පාස් වෙයිනෙ.සාවිත්‍රිටත් ලේසියි කිව්වේ'
'කෝ එයා ආවෙ නැද්ද'
'දන්නෙ නැද්ද ඒ අයියයි නංගියි කාලෙකට හොදයි කාලෙකට නරකයි'
ලොකු අම්ම ඒ කිව්වෙ ලොකු අප්පච්චියි සාවිත්‍රිලගෙ අම්මයි ගැන.ඒ දෙන්න අයියයි නංගියි වුනාට හැමදාම රණ්ඩු.අපි එකපාරකට එනකොට ඒ ගොල්ලො තරහයි.තව පාරකට එනකොට යාළුයි.ඉස්සර ඉඳන්ම ඒක එහෙම තමයි.ඒ ගොල්ලො ආයෙ තරහ වෙලා කියල මට ලොකු අම්මගෙ කතාවෙන් තේරුම් ගියා.ඒ හින්දා සාවිත්‍රිව දකින්න තිබුණු ආශාව හවස් වෙනකම් මැඩ ගන්න මට සිද්ද වුනා.

නංගියි මල්ලියි එක්ක කියව කියව හිටියට මගෙ හිත බලන් හිටියෙ ඉක්මණට හවස් වෙනකම්.අමාරුවෙන් ඉවසගෙන ඉඳල හවස මම මල්ලිත් එක්ක කඳුරට නාන්න ගියා.කඳුරට යන්නෙ සාවිත්‍රිලගෙ ගෙවල් ගාවින්. ඉස්සර නම් අපි හැමෝම නාන්නෙ එකට.චූටිනංග,මල්ලිය,සාවිත්‍රි.
ඒත් දැන් අපි ලොකු වෙල හින්ද එකට නාන්න යන්න පුලුවන් මටයි මල්ලියටයි විතරයි.

නාන්න යන ගමන් අපි සාවිත්‍රිලගෙ ගෙදර ගියා.සාවිත්‍රිලගෙ අම්ම දුර තියාම මාව දැක්කා.
'ආ..පුතා උදේද ආවෙ.'
'ඔව් නැන්දේ.අපි මේ නාන්න යනවා.'
'ඉතින් පුතේ අම්මල සනීපෙන්ද.විභාගෙ ලේසිද'
'ලේසියි නැන්දේ.'
'කොහොමද විභාගේ'
මම එහෙම ඇහුවේ උළුවස්සට හේත්තු වෙලා බලාගෙන ඉන්න සාව්ත්‍රිගෙන්.
'ලේසියි.'
එයා එලියට ආවෙ එහෙම කියන ගමන්.
එයා නම් තාම ඉස්සර වගේමයි.ඒ ඇස් දෙක බලන්න මගෙ හිත අවුරුද්දක්ම ඉවසගෙන හිටියා.අම්ම ගෙට ගිය හින්දා අපි දෙන්නට තනිවෙන්න අවස්ථාවක් හම්බ වුනා.
'කොහොමෙයි'
වචන ගලප ගන්න බැරුව හිත ඇතුලෙ තෙරෙපෙන හැඟීම් වලට එලියට එන්න ඉඩ නොදී මම එහෙම ඇහුවා.
'හොඳයි.මම හිතුවෙ අමතක වෙලා ඇති කියලා.'
'එහෙම අමතක කරන්න පුලුවන්ද.මට කතා කරන්න ඕනෙ.'
'බදාදා උදේ පන්ති යනවා.8ට මෙහෙන් යන්නේ'
'මමත් එන්නද'
එයා ඒකට හා කිව්වේ ඇස් දෙකෙන්.

ඊට දවස් දෙකකට පස්සෙ බදාදා උනා.
'ගෙදර ඉන්න කම්මැලියි ලොකු අම්මේ ටවුන් එකට ගිහින් එන්නම්.'
ලොකු අම්මට බොරුවක් කියලා මල්ලියා නැගිටින්න කලින් මම පාරට ගියා.සාවිත්‍රි ආවෙ 7.50ට විතර.
එයා ඇවිදින විදිහට, අඳින විදිහට, කතා කරන විදිහට මේ හැම දේටම මගෙ හිත ආසයි.මම ඒ හැම එකක්ම හොරෙන් රස වින්දා.

'අද පන්ති යන්න ඕනෙ නෑනෙ'
මම එහෙම ඇහුවෙ අපි දෙන්න බස් එකේ බණ්ඩාරවෙල යන ගමන්.
මම සාවිත්‍රිට ආදරය කරේ කවද ඉඳන්ද කියල මට මතක නෑ.පුන්චිම කාලෙ සෙල්ලම් ගෙවල් හදන කාලෙ ඉදන්ම මම එයාට ආදරය කරා.අපි දෙන්න හම්බ වුනේ අවුරුද්දටම එක මාසෙකදි විතර්ක් වුනත් අපි දෙන්න පුදුම විදිහට ලං වෙලා හිටියා.
ඒත් ජීවිතේටම මේ විදිහට අපි දෙන්න හම්බ වුනේ පලවෙනි වතාවට.ඒ මොහොත උපරිමයෙන්ම විඳින්න මට ඕනෙ වුනා.
'එහෙනම් කොහෙද යන්නේ'
එයාටත් ඒක ඕනෙ කරල තිබුණු හින්ද වෙන්න ඇති මගෙ යෝජනාවට එයා කැමති වුනා.
'කොහෙ හරි යමු.'
බණ්ඩාරවෙල මම වැඩියෙන්ම දන්න තැන වුනේ ස්ටේෂන් එක.මට සාවිත්‍රිත් එක්ක යන්න තැනකට තිබුනෙත් එතන.
ස්ටේෂන් එකට ගියෙ අරමුණක් නැතුව වුනත් එතනට ගිහින් කාලසටහන බැලුවට පස්සෙ මගෙ හිතට අදහසක් ආවා.
'අපි කෝච්චියෙ ටිකක් දුර ගිහින් ආපහු එමු.'
සාවිත්‍රි මොකුත් නොකියා මගෙ අදහස අනුමත කරනවා.
කෝච්චි කාලසටහන බලලා හිතෙන් වෙලාව අනුමාන කරගෙන මම ඉදල්ගස්හින්නට ටිකට් දෙකක් ගත්තා.
අපිට යන්න තිබුනේ නානුඔයට යන බඩු කෝච්චියක.බඩු පෙට්ටි ගොඩක් එක්ක මිනිස්සුන්ට යන්න තිබුනෙ එකම එක පෙට්ටියක් උනත් ඒකෙ අපි දෙන්නට සීට් දෙකක් තිබුණා.සීට් දෙකේ කෙලවර දෙකේ වාඩිවෙලා මූණට මූණ බලාගෙන අපි දෙන්න ගමන් කරා.මං හිතන් හිටියෙ එයා බය වෙලා ඇති කියලා.ඒත් එහෙම දෙයක් එයාගෙ මූණෙන් පෙනුණෙ නෑ.ඒත් කෝච්චිය යනකම්ම කතා කරන්න උනේ මට. එයා කරේ පොඩි පොඩි උත්තර දෙන එක විතරයි.

ඉදල්ගස්හින්නට ආවට පස්සෙ අපිට ආපහු යන්න කෝච්චියක් එන්න තව වෙලා තිබුණු හින්දා ස්ටේශන් එකට වෙලා ඈත පල්ලම දිහා බලාගෙන පෙම්බස් දොඩන්න අපි දෙන්නට ඉඩ ලැබුණා.
මම ලංකාවෙ දැකපු ලස්සනම ස්ටේෂන් එක ඉදල්ගස් හින්න.ඒක පිහිටල තියෙන්නෙ කන්දක් උඩ වටේටම තියෙන්නෙ ලස්සන පල්ලමක්.එතන තියෙන්නෙ කෝච්චි පාර විතරමයි.
ඈතින් පේන හපුතලේ ප්‍රපාතය දිහා බලාගෙන කම්මුල් කිතිකවන සීතල සුළඟ විඳගෙන මල්පිපුණු සුන්දර ස්ටේෂන් එක්ක පෙම්බස් දොඩන්න තරම් මම වාසනාවන්තයෙක් වුනා.

අපිව ආපහු එක්කගෙ යන්න කොළඹ ඉදන් පොඩිමැණිකෙ එනකම්ම අපි දෙන්න ස්ටේෂන් එක කෙලවරට වෙලා හපුතල් බෑවුමේ පුන්චි පුන්චි ගෙවල් ගනන් කරා.
පොඩි මැණිකෙ අපි දෙන්නට සීට් එකක ඉඩ නොදුන්නු හින්දා දොර ගාවට වෙලා අපි ආපහු බණ්ඩාරවෙල ආවා.

නංගයි මල්ලියයි එක්ක කැරම් ගහන එක ඇර ගෙදර ඉන්නකොට මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.නංගට පන්ති තියෙන දවස් වලට මම මල්ලියා එක්ක කෙලවරක් නොපෙනෙන තේ වතු වල ඇවිදින්න යනවා.එහෙම යන සමහර වෙලාවට සාවිත්‍රිවත් හම්බ වෙනවා.
ඒත් මගෙ හිත දින ගනන් කරේ ඊලඟ බදාදා වෙනකම් ඉදල්ගස් හින්නට වෙලා පෙම් සුව විදින්න මගෙ හිත මහා ලෝබ කමකින් පෙලුණා.
සාවිත්‍රිටත් ඒ ලෝබ කම දැනිලද කොහෙද ඊලඟ දවසෙත් පන්ති නොගිහින් ඉන්න එයා කැමති වුනා.

එදත් පුරුදු විදිහට ස්ටේෂන් එකට ගිහින් ඉදල්ගස් හින්නට ටිකට් අරගෙන අපි කෝච්චියට නැග්ගා. වෙනසකට තිබුනේ ඒ කෝච්චියට වෙනදට වැඩියෙන් තෙල් ටැංකි ටිකක් එකතු වෙලා තිබුණු එක විතරයි.හපුතලේ පහු වෙලා ටික දුරක් යද්දි සාවිත්‍රි මම කිසිම විදිහකින් හිතපු නැති යෝජනාවක් කරා.
'අපි අද ඔහියට යමු'
'මොකක්'
මට එහෙම ඇහුනෙ මාව ඒ තරමටම පුදුම වුණු හින්දා.
'ඇයි'
'මොන බබ්බුවකටද ඔහියට යන්නේ'
'අනේ යමුකො.මමනෙ කියන්නෙ.'
'බෑ බෑ ඉදල්ගස් හින්නෙන් බහිමු.'
'එහෙනම් ඔයා බහින්න මට බෑ'
'ඔයාට පිස්සුද'
මම කතා කරේ පුන්චි කේන්තියකුත් එක්ක.සුන්දර ඉදල්ගස් හින්න දාල වෙන කොහේවත් යන්න මගෙ හිත ඉඩ දුන්නෙ නෑ.
'ඔයාට තමයි පිස්සු.අද ඔහියට යමු'
'බෑ බෑ ඉදල්ගස් හින්නෙ බහිමු.'
'බෑ ඔහිය.'
බෑ ඉදල්ගස් හින්න'
'ඔහිය ඔහිය'
'ඉදල්ගස් හින්න ..ඉද..'
ඒ වචනය දෙසැරයක් කියව ගන්න බැරුව හිරවෙන කොට සාවිත්‍රි හිනා වෙවී දොඩවනවා.
'ඔහිය ඔහිය'
අපි දෙන්නගෙ සද්දෙ වැඩිවුණු හින්දා එහා පැත්තෙ සීට් එකේ හිටපු අයත් ආපහු හැරිල බලනවා අපි දෙන්නම දැක්කා.එතනින් පස්සෙ සාවිත්‍රි තොල් වලින් මුමුණනවා.
'ඔහිය ඔහිය'

කෝච්චිය ඉදල්ගස් හින්නට ආවත් මම ඔහේ බලාගෙන හිටියා.සාවිත්‍රි ගැන කේන්තියකින් මගෙ හිත පිරිල තිබ්බා.මම මොකුත් නොකියා ජනේලයෙන් ඈත බලාගෙන හිටියා.කෝච්චිය සුන්දර ඉදල්ගස් හින්න පහු කරලා ඉස්සරහට ගියා.
සාව්ත්‍රි හොරෙන් හිනාවෙවී මගෙ දිහා බලාගෙන හිටියා.

ඉදල්ගස් හින්න පහුකරල තියෙන පලවෙනි බිංගෙය ඇතුලෙදි සාවිත්‍රි මගෙ කණට කරල ලොකු හූවක් කිව්වා.ඊලඟ බිංගෙය ඇතුලෙදි මම එයාගෙ කණට කරල ලොකු හූවක් කිව්වා.තුන්වෙනි බිංගෙය ගාවදි අපි දෙන්නම එකට හූ කිව්වා.
ඉදල්ගස් හින්නෙ ඉඳන් ඔහියට තිබුණෙ එක ස්ටේෂන් එකක් වුනත් ඒ අතරෙ බිංගෙවල් ගොඩක් තියෙනවා.ඒ ගමනත් අපූරු චමත්කාරයක් තියෙන එකක් වුනත් මම ඒක සාවිත්‍රිට නොපෙන්වා ඉන්න උත්සාහ කරා.

ඔහියට පාලු මූසල ගුප්ත පෙනුමක්.මට හිතා ගන්න බැරිවුනේ එයා ඇයි ඔහියට ආසවුනේ කියලා.ඒත් ඔහියෙදි එයා අනිත් හැම තැනදිම වඩා මට ලං වුනා.

'ඔයා දන්නවද මෙතනින් තමා ලෝකාන්තයට යන්නේ'
කෙලවරේම තිබුණු බංකුවක මගෙ ලඟින්ම වාඩිවෙලා එයා කතා කරා.
'ගිහින් පනිමුද දෙන්නත් එක්ක ලෝකාන්තයෙන්'
මම ඇහුවෙ තාමත් මෙතනට ආපු එක ගැන මම ඉන්නෙ නොකැමෙත්තෙන් ගැන එයාට ඒත්තු ගන්වන්න.
'ඕනෙ නෑ අනේ.ඔයා හැමදාම මං ලඟ ඉන්නවනෙ ඉතින් ඇයි අපි එහෙම කරන්නෙ.'
එදා එයා වෙනදට වඩා හුරතල් වුනා.වෙනදට වඩා කතා කරා.
'දැන් මොන එහෙකටද මෙතනට ආවෙ'
'ඇයි බලන්නකො මෙතන තියෙන ලස්සන.මං නම් ආස මෙතනට.'
එයා එහෙම කිය කිය මට තව ලං වුනා.
ඔහියට පෙනුනෙ ඈතින් තියෙන එළවළු කොරටු යායක් විතරයි.ඒත් සාවිත්‍රිගෙ ආදරය වෙන කිසි දවසක නැති තරම් මට දැණුනා.
ඒත් අපිට ඔහියෙ ඉන්න වුණු වෙලාව අඩුයි.පොඩි මැණිකෙ පරක්කු නොවී අපිව එක්කගෙන යන්න ඈතින් මතුවුනා.

මුලු හිතම පිරිල තිබුනෙ තේරුම් ගන්න අමාරු අමුතු සිතිවිලි ගොඩකින්.හැම මොහොතකම හිත ඉල්ලුවෙ සාවිත්‍රිගෙ පහස.

එදායින් පස්සෙ අපි දෙන්න ආයෙ හම්බ වුනේ තේ යාය කෙලවරක සවස් වරුවක. අපි දෙන්නට නිදහසේ හම්බ වෙන්න පුලුවන් ව්ලාව තැන ඒ වෙද්දි අපි දෙන්නම දැනගෙන හිටියා.

සීතල හැන්දෑවක කවුරුත් නැති මහා තේ යායක මම එයාගෙ අති අල්ලගෙන තේ වත්ත උඩට ගියා.තේ පදුරු අපි දෙන්නගෙ ඉනටත් ඉහලට ලොකුයි.බිම වාඩිවුනාම කාටවත් අපිව පේන්නෙ නෑ.
මගෙ හිතට ආපු දේවල් තේරුම් ගන්න මටම බැරිවුනා.එයාව තුරුල් කර ගන්න,ඉඹින්න තව....වැක එක සිතිවිලිත් එක්ක මගෙ හිත පොර බඳිමින් හිටියා.
'මම ඔයාව ඉඹින්නද'
ටික වෙලාවකින් මම සාවිත්‍රිගෙ කණට ලං වෙලා ඇහුවා.ලැජ්ජාවෙන් ඇස් රතු වුනත් එයා ඒකටත් උත්තර නොදී කැමති වුනා.

එයාගෙ කම්මුල් හෙමිහිට සිප ගනිද්දි.......ඒ කම්මුල් රෝස පෙති තරමටම සුමුදුයි.නෑ ඊටත් වඩා.....
දෙතොල් පෙති අතරින් මට දැණුනු රස.......ඒ තරම් සියුමැලි දෙතොල් වෙන කොහේ ඇද්ද.


මේ වෙද්දි අපි දෙන්නම හිටියෙ බිම දිගා වෙලා වගේ.වෙන කිසිම හැඟීමකින් වටපිටාව ගැන අවධානයකින් තොරව මගෙ හිත ඒ සුවය විඳිමින් හිටියා.
එක පාරට එයා මාවත් තල්ලු කරගෙන නැගිට්ටා.එයාගෙ ඇස් වල තිබුනෙ කවදාවත් දැකල නැති බියකරු බවක්.
'ලොකු මාමා'
එයා එහෙම කිව්වෙ පල්ලෙහා බලාගෙන. අපි හිටිය තැනට ටිකක් එහායින් ලොකු අප්පච්චි පල්ලෙහාට යමින් හිටියා.
'එයා අපිව දකින්න නැතුව ඇති'
මම එහෙම කිව්වෙ මගෙ හිතටත් දැනුනු බය නැති කර ගන්න.
'මං යනවා'
සාවිත්‍රි ගෙදර ගියා.මම කරකියා ගන්න දෙයක් නැතුව අසරණ වුනා.ලොකු අප්පච්චි අපිව දකින්න නැතුවම ඇති කියන විශ්වාසය හිතට ඇතුලු කර ගන්න කොච්චර හැදුවත් එයා අපිව දකින්න ඇති කියන සැකය ඊට වඩා තදින් හිතට කිදා බහිමින් තිබුණා.
මේ හැම එකකින්ම පැනල යන්න ඕනෙ වුනත් කරගන්න දෙයක් නොමැති කමට මට ඊට මූණ දෙන්න ඕනෙ වුනා.
ඕනෙ දෙයක් උනාදෙන් කියල මම ලොකු අප්පච්චිලගෙ ගෙදර එන්න පිටත් වුනා.
ගෙදරට ලං වෙනකොට හිතේ ගැස්ම එන්න එන්නම වැඩිවුනා.මහා ලොකු වරදක් කරපු වැරදි කාරයෙක් වින්ශ්චය කූඩුව ලඟට ගෙනියද්දිත් මෙහෙම බයක් දැනෙන්නෙ නැතුව ඇති.
මල්ලියි නංගයි එළියෙ හිටිය හින්දා වෙනසක් නොපෙන්න මම ඒ දෙන්නත් එක්ක එලියෙ නැවතුනා.

මම හෙටම ගෙදර යනවා.මට ඕනෙ උනේ හැම දෙයකින්ම පැනල යන්න.ලොකු අප්පච්චි කිසිම වෙනසක් පෙන්නුවෙ නෑ.ලොකු අම්මත් එහෙමයි.
'මේ ගොල්ලන්ට ස්කෝලෙත් පටන් ගන්නවනෙ පුතා කවදද ගෙදර යන්නෙ'
ලොකු අප්පච්චි ඇහුවෙ රෑ කෑම මේසෙදි.
'මම හෙට යන්න කියල ලොකු අප්පච්චි'
මම උත්තර දුන්නෙ බිම බලාගෙන.
'හෙට'
චූටි නංගා පුදුම වෙලා ඇහුවෙ ඒක එයාල කිසි ලෙසකින් බලාපොරොත්තු වුණු දෙයක් නොවන හින්දා.
'ඔව් දැන් පන්තිත් පටන් ගන්නවනේ.සති දෙකක් හිටියනේ'
නංගයි මල්ලියි මූණ ඇඹුල් කර ගන්නවා දැක්කට මට ඒ ගැන හිතන්න ඕනෙ වුනේ නෑ.මට ඕනෙ වෙලා තිබුනෙ හැම දේකින්ම පැනල යන්න.
රෑ නින්දට ගියත් එදා රෑම මට නින්ද ගියේ නෑ.උදේ වෙන්න කලින් සිය පාරක් විතර මම වෙලාව බලන්න ඇති.
මම එනකොටත් ලොකු අප්පච්චි කිසිම වෙනසක් පෙන්නුවෙ නෑ.චූටි නංගයි මල්ලියයි මං එක්ක පාරට ආව.
'සාවිත්‍රි අක්කට කියන්න මම ගියා කියල හරිද'
වෙන කරන්න දෙයක් නැති කමට මම මල්ලියට එහෙම කිව්වා.
බණ්ඩාරවෙලට ආවට මට වෙනදට වගේ ස්ටේෂන් එකට යන්න හිත දුන්නෙ නෑ.හුරුපුරුදු බණ්ඩාරවෙල නුහුරු නුපුරුදු එකෙක් වගේ,හුරුපුරුදු ස්ටේෂන් එකට නොගිහින් මම නුහුරු නුපුරුදු ස්ටෑන්ඩ් එකෙන් කොළඹ බස් එකක නැග්ගා.
ජීවිතේ පලවෙනි වතාවට මම බණ්ඩාරවෙලින් බස් එකේ කොලඹ එන්න පිටත් වුනා.මට ඕනෙ වුනේ මගෙ මතකය හිර කරන්න.ඒත් හපුතලේට එනකම්ම කෝච්චි පාර සැරින් සැරේ මට ලං වෙලා ආයෙම ඒ මතකය ඇහැරවන්න හැදුවා.
හපුතලේදි බස් පාරට උඩින් ගිය කෝච්චි පාර මගෙ සුන්දර මතකයත් අරගෙන ඉදල්ගස් හින්න පැත්තට ගියා.මම මතකයට අගුලු දමමින් හපුතල් කන්දේ බෑවුම බසිමින් බෙරගල පැත්තට ගියා.

කෝච්චි පාර සහ බස් පාර දෙපැත්තකින් හැදීම ගැන සුදු ජාතිකයින්ට සිතින් ප්‍රශංසා කරමින් මම කොළඹ එමින් හිටියා.
ලෝකාන්තයට පිටුපස මගෙ සුන්දර මතක හංගමින් මම ලෝකාන්තය පාමුලින් පලා යමින් තිබුනා.

උඩරට කෝච්චි පාර ආයෙ මට හම්බවුනේම නෑ.මම සිරකල නොහැකි මතකය සිර කරගනිමින් ගෙදර ආවා....................................

හ්ම්ම්ම්ම් ඒ පොතේ ලියල තිබුනෙ නම් එච්ච්රයි.....
කතාව ලියල ඉවර වෙන්න කලින් අම්මලා ගෙදර ආවා.ආපු වෙලේ ඉඳන් එයාලගෙ විස්තර.
'ඔක්කොමල ඔයාව ඇහුව පුතේ.'
මම උත්තර නොදී අහගෙන හිටියා.එදා වෙච්ච කිසිම දෙයක් ගැන කිසිම දෙයක් අද වෙනක්ම්ම වුනේ නෑ. එදායින් පස්සෙ ලොකු අප්පච්චිල අපේ ගෙදර දෙතුන් පාරක්ම ආව.ඒත් සාවිත්‍රිව මට එදායින් පස්සෙ එකම දවස්ක් වත් හම්බ වුනේ නෑ.
සාවිත්‍රි අක්ක ඇහුව ඇයි ඔයා ආවෙ නැත්තෙ කියලා'
ඒ අපේ මල්ලි.
'කෙල්ල හරි ලස්සනට හිටියා'
ආයෙම අපේ අම්ම.

කියන්න බැරිවුනානෙ ඒ ගොල්ලො බණ්ඩාරවෙල ගිය හේතුව...
ඒ ගොල්ලො ගියෙ සාවිත්‍රිගෙ වෙඩින් එකට.....................
Reply With Quote

*යළි නොදකින්නෙමි

 
සීතල සුළගට රහස් කියමින් නටන වැටකෙයියා පොහොට්ටු ලන්ද පුරාවට තාල මවයි. සැංගී ගීත ගයන විහඟුන් කොහේදැයි සොයමින් ඉබාගාතේ ඇදෙන වලාකුළු නිල්ල ගලන වෙල් යාය නේක වර්ණයෙන් සරසවයි.වැඩපොලකට උදෑසනින්ම කඩිමුඩියේ දුවන සංකීර්ණ චරිත මෙන් රඟපාමින් බිඟුහු ඕලු මල් යායට රොක් වෙයි. ඕලුද ඒරංගනයට සිනාසෙයි

ඈතින් එන්නේ අඹරං මාමාගේ අලුත් ට්රැක්ටරයටත් සද්දයයි. අවුරුදු දෙකකට ඉහත මාමාගේ සිහිනයක් වී තිබූ බලාපොරොත්තුව ඉෂ්ට වීම නිසා අඹරං මාමාගේ මූණට ආව හිනාව තවමත් මැලවී ගොස් නැත. එයා ඒක ගැනම තොරතෝංචියක් නැති ව කියවන්නෙ ඒකයි, මේ වෙලාවට ඔහු හසුරවන්නේ තම බාල දෝණියගේ පුංචි කෙල්ල අකුරට අරං යනවා. වටේ පිටේ ඉන්න සුදු සමනල රොත්තම අඹරං මාමා එක්ක ටවුමේ ඉස්කෝලෙට යනවා. ඒක තමයි ට්රැක්ටරයටත් වඩා සද්දෙට මේ කෑහෑගැහිල්ල


" අනේ පියල් අයියේ මොකද මේ එළියට වෙලා" මේනකා නංගි මගෙන් ඇහුවා.

"හුළං ටිකක් වදින්න එළියට ආවා නගා....." මේනකගේ රිදී හිනාව ඒක හරිම ලස්සනයි. රෝස මලකට නොරිදෙන්න පිණිකැට වැටෙනවා වගේ..... බලං ඉන්න ආසයි. මේනකා නගාට වඩා හැඩකාරි එයාගේම ඇවැස්ස නෑනා...... සඳමලී..... ඔව් එයා හඳක් වගේ තමයි. ගිය මාසෙ පිටගමකින් දීග ගියාලු. තාමත් මට මතකයි ගොම්මන් වැටෙන වෙලාවට සේතු මාමාගෙ ඇහැ වහලා අටුව ළඟට දුවගෙන එන දඟකාරි.
' පියල් අයියාට හිඹුටු ගෙනාවා' කියලා අතේ ගුලිකරගෙන ඉන්න හිඹුටු ගෙඩිය පෙන්නලා දුවන පොඩි එකී , ගමටම හිටිය හඳ, ගමේ කවුරුත් එයාට ආදරෙයි.

" පියල් පුතේ" අම්මා මා ළඟට එනකන් මම දන්නෙ නෑ. සඳමලී නගාව මතක් වෙනකොට වට පිටාව ඔක්කොම අමතක වෙනවා.


"දැං ගෙට ගියොත් නරකද?"

"තව ටිකක් මෙහෙම ඉන්නම් අම්මෙ" මට එහෙම කියවුණේ ඉබේටම, අහස නිල් පාටට බබළනකොට, ඈතින් සියාතු අයියාගේ කුඹුරු කෑල්ල එක්ක ඒ අහස අනඟ රැඟුම් පානකොට මම කොහොමද දාලා යන්නෙ........? මම ආසයි තව ඉන්න.

'කීපාරක් නලාව පිම්බද? ඔහොම තමයි කටුස්සගෙ කරේ රත්තරං බැන්දාම.... ' බංදුවා පතලෙන් මැණිකක් උස්සගෙන ඇවිත් එකපාරම පෝසත් වෙලා, ලාභෙට වාහනයක් අරන් ඇවිත් උජාරුව පෙන්නුව දවසෙ ආතා එහෙම කිව්වා. දැනුත් කඩුල්ල ළඟට වෙලා නලාව ගහනවා. ඔය ඉතිං ආතාව ආතාව අවුස්සන්න. ඒත් ආතා ගෙදර නැති පාටයි.


"පියල් අයියේ මොකද කියන්නේ රවුමක් යමුද වාහනේ...?"

"එපා මල්ලියේ..." මට හිනාගියේ ආතා මතක් වෙලා. බංදුවා වාහනේ උජාරුව පෙන්නගෙන යන්න ගියා...... ආයෙත් නිහඬයි. වක්කඩට කොරවක්කෙක් ඇවිත් තටු ගහ ගහා තිත්තයෝ ගිලිනවා. පොඩි කාලේ මට මතකයි මමයි, මල්ලියි, නංගියි එකතු වෙලා තිත්ත පැටවුන්ට අකුරු උගන්නනවා. මල්ලිනම් කොළඹට ගියා ඉගෙනගන්න... නංගිනම් ළඟදි ගෙදර එයි. කුළුඳුලේම දරුවා ලැබෙන්න ඉන්න නිසා ගෙදර එන හින්දා අම්මා ලහි ලහියේ කෑම හදන්න අරං….. ගේ පුරාම හමන්නේ කෑම සුවඳ….

ගමේ හුළඟෙ හීතලටයි, මේ නිස්කල්ංක කමටයි මම ගොඩාක් ආදරෙයි. පානදර ඉදං උදැල්ලයි කැත්තයි එක්ක පොර බැදලා ඇඟ තෙමාගෙන හැලෙන දාඩිය වල තියන අපෙකම කොළඹ රටේ සීතල කාමර වල ඉඳලා එළිඅයට බහිනකොට රස්නෙට දාන දඩියවල නෑ. මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ මොලේ වෙහෙසන්න විතයි. ඊට පස්සෙ මොලෙයි ඇඟයි වෙහෙසලා වැඩ කරන මනුස්සයා දිහා බලලා ‘ගොඩයා’ කියන්න. මේක හරිම අසාදාරණ ලෝකයක්. ඒත් අසාධාරණ නැතුව ගමට හැමදාම ඉර පායනවා. ලෝකෙ දියුණු වෙනවා, ආසාව වැඩි වෙනවා, හොඳම කොටසට රණ්ඩු වෙනවා…. ගහමරාගන්නවා, බයිනේත්තු පිස්තෝල හදනවා, ගම් නියම් ගම් ගිනි තියනවා…. අන්තිමට…………


“පියල් අයියෙ අපි යමු ගෙට…. අහස හොඳටෝම කලු කරලා” මෙනකා මගේ ළඟට ආවා

“මේ ඉර එළිය වැටෙන්නේ…?”
“ඒ ඉර එළිය වැටෙනවා නෙවෙයි…. දෙවැටෙන් එහා පැත්තෙ පිදුරු ටික ඇවිලෙන්න දාලා… ඒ රස්නෙයි ඔය එන්නේ”
“මගේ අත රෝද පුටුවේ අඟුල ඇරියා…. හුස්ම පපුව පුරෝලා පිට වුණා
“පිදුර අවුලන්න අස්වැන්න කැපුවාද?”
“ඔව් අයියේ කන්න දෙකකට පස්සේ ගිය මාසේ ඇස්වැන්න ඩිංගක් කැපුවා.. මේ කන්නෙත් වපුරන්න බැරි වෙයි…. මොරසූරන වැස්ස නිසා කුඹුරු ඔක්කොම ගොඩවෙලා….: මාව තල්ලු කරගෙන ගේ පැත්තට ගෙනියන ගමන් මේනකා කිව්වා.

“අබරං මාමා පොඩි එකීව දාගෙන ට්රැක්ටරේ ගියා නේද?”

අබරං මාමා ඇදුම වැඩිවෙලා අද ට්රැක්ටරේ එලෙව්වෙ කුමාර අයියා….. පොඩි එකීගෙත් ඊයෙ ඇඟ රත් වෙලා තිබ්බ නිසා ඉස්කෝලෙ ගියෙ නෑ ඒත් අර නල ළිඳ විවෘත කරන උත්සවේට පත්තරෙන් එනවා කියලා ගමේ පොඩි උන් ටිකක් දාගෙනැතනට එන්න කියලා ඉස්කෝලෙ මහත්තයා පණිවිඩයක් එවලා තිබ්බා

“මම හිතුව හැම දේම වැරදියි නොවැ නගා”

“ අයියා මොනාද හිතුවේ…”
“මම දැක්කේ ඉස්සර ගම”
ඉස්සර ගමට වඩා අද වෙනස් අයියා…. ඔය පැත්තෙන් කෑල්ලක් ගොඩ කරලා පැක්ටේරියක් ගහන්න පාස් වෙලාලු. ඕලු මල් යායම දැං නෑ. ගියපාර ගංවතුරට ගංවතුරත් එක්ක ඕලු වඳ වෙලා ගියා….: මගේ හුස්ම ආයෙත් දීර්ඝ උණා

සීමා මයිම් නැතුව හිතෙන අනන්න්තවත් දේවල් අහස පොළොවටත් හොරා හිතේ ඉපදිලා හිතේම වැලලිලා යනවා අවුරුදු දෙකකට ඉස්සල්ලා මම දැක්ක ගමත් එහෙමයි. අවුරුදු ගානක් තිස්සෙ කන්දෙකට පුරුදු වෙලා තිබුණෙ මැෂින් තුවක්කුවේ සද්ද්යි. ඒ අස්සේ කුරුල්ලෙක්ගෙ සිංදුවක් ඇහුවේ ගම මතක් කරගෙන. අන්තිමට මම දැක්කේ ලොකු ගිණි බෝලයක් ඊට පස්සෙ සුදු පාට…… අදත් මම ගම දකින්නේ හිත ඇතුලෙන්, හෙටත් එහෙමයි, මම මගේ ඇසි දෙකෙන් මේ කිසිදෙයක් ආයෙත් නොදකීවි.
Reply With Quote

*සිහින සටන

ඉන්දිව තියටර් එක ඇතුලට අරගෙන දැන් පැය දෙකකටත් වැඩියි...

ඉන්දි සැරින් සැරේ බඩ රිදෙනවා කියන්න අරගෙන සති දෙකක් විතර වෙනවා. ඒ කියන හැම වෙලාවෙම බෙහෙත් ටිකක් ගන්න යන්න ලෑස්ති වෙන්න කිව්වම අනේ මහන්සියි කියලා බැහැ කියනවා. ගිය සිකුරාදා එයාටත් කියන්නෙ නැතිව ඩොක්ටර් ගාවට එක්කන් ගියාම එතන වෛරස් උණ කාරයෝ පිරිලා....

" අනේ බලන්න මින්දික, තාම යන්නෙ 10. අපේ අංකේ 55. අද රෑම අපි දෙන්නට මෙහෙ තමයි ඉන්න වෙන්නේ...

" ඒ වුනාට කමක් නැහැ ළමයො. ටිකක් වෙලා ඉදලා බෙහෙත් ටිකක් අරගෙන යන්. දැන් සතියක් විතර තිස්සෙනේ ඔයා කියන්නෙ බඩ රිදෙනවා කියලා. අම්මලා කවුරුහරි දැන ගත්තොත් දෙන්නටම බැනුම් අහන්න වෙනවා...."

"එහෙම වෙන්නේ නැහැ මින්දික. අපි ගෙදර යන්. දැන් මගේ වේදනාව අඩුයි. අම්මලා මොනවහරි කිව්වොත් මම කියන්නම් මමයි බෙහෙත් ගන්න බැහැ කිව්වේ කියලා"

" ඔයා එහෙම කිව්වට මොකක් වුනත් ලෙඩේ අඩු නැහැ කියලා ඔයාගේ මූණෙන්ම පේනවා. මහන්සි නම් යන් කාර් එකට, ටිකක් නිදා ගෙන ඉඳලා එමු..."

ඉන්දි මොකුත් කිව්වේ නැහැ. කාර් එකට යන්න නැගිට්ටෙත් නැහැ. එයා එක ලඟ තියෙන ඔරලෝසුවයි, දැන් ඩොක්ටර් බලන අංකයයි තියෙන ඩිස්ප්ලේ එකයි දිහා බලන් ඉන්න ගත්තා. තාම 10 මයි...

අංක 18 යද්දි, රෑ නමයට විතර ඩොක්ටර් එලියට ආවා. ඩොක්ටර් රෑ කෑමට බෙහෙත් දෙන එක ටිකකට නවත්තනවා කියලා නර්ස් කිව්වා. මම ඉන්දිගේ මූණ දිහා බැලුවා. මගේ උරහිසට හේත්තු වෙලා එහෙම්මම නින්ද ගිහින්. පව් මගේ කෙල්ල...

" ඉන්දි... නැගිටින්න..."

"හම්ම්..."

"අපි යන් ඉන්දි. අපි ගිහින් හෙට එමු. හෙට උදේ වරුව විතරයි මම ඔෆිස්.."

එදා කොහොමෙන් කොහොම හරි අපිට ඩොක්ටර්ව හම්බවෙන්න බැරි වුනා.

ඉන්දියි මායි මුණ ගැහුනේ මම රස්සාවක් කරන්න ගත්තු අලුතමයි. ඉන්දිට නම් ඒ කාලේ ජොබ් එකක් තිබුනේ නැහැ. එයා කොල්ලුපිටියේ ක්ලාස් ආව ගියේ මම ඔෆිස් ගිය බස් එකේමයි. මුලින් මුලින් ඇස් වලින් විතරක් කතා කරපු අපි ප්‍රේමවන්තයෝ වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. අවුරුද්දක් විතර දෙන්නා ආශ්‍රය කරලා අපේ කතාව ගෙවල් වලට කිව්වේ ඉන්දිගේ පලවෙනි පඩිය ලැබුනු දවසෙමයි.

ඉන්දිගේ අම්මා "උඹට තියෙන හදිස්සියක්" කියලා අහාවි ද දන්නෑ කියලා දෙන්න හිතාගෙන හිටියට ඉන්දිගෙ අම්මා එහෙම අහලා තිබුනේ නැහැ. සමහරවිට ඉන්දිගේ නංගියත් ඉන්න හින්දා වෙන්න ඇති. ඉන්දිගේ අම්මා කියලා තිබුනේ මම හඳහන ඉල්ලගෙන එන්න කියලා විතරයි. අපේ ගෙදරිනුත් මොකුත් ලොකුවට ඇහුවේ නැහැ. තාත්තා ඇහුවා මොකක්ද සම්පූර්ණ නම කියලා. මම ඉතින් එයාගේ සම්පූර්ණ නම කිව්වා.

" වීරසිංහ මුදියන්සේලාගේ ඉන්දීවරි සුධර්මා වීරසිංහ..."

" හම්.. ඒ ළමයට අම්මලා තාත්තලා එක්ක කතා කරලා අපිට එහෙට යන්න දවසක් වෙලාවක් දාගෙන අපිට දැනුම් දෙන්න කියන්නකෝ..."

තාත්තා ඒ කතාව අම්මා දිහායි මගේ දිහායි සැරින් සැරේ බල බල. අම්මගේ මූණේ මම කවදාවත් කලින් දැකලා නොතිබිච්චි හැඟීමක් පිරිලා. මම පස්සේ දැන ගත්තේ, අම්මා ඒ වෙලාවේ හිත හිත ඉදලා තියෙන්නේ "මගේ පොඩි පුතා ගිය දුර..." කියලලු.

හඳහන් බලපු වෙලාවේ කියලා තිබුනේ හඳහන් ඒ තරම් ගැලපෙන්නේ නැහැ කියලයි. ඒත් හොඳ වෙලාවක් බලලා කලොත් මොකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ කියලා. ඉතින් ඒ ඒ විදහට කරුණි යෙදිලා මීට අවුරුදු දෙකයි මාස හතරයි දින නමයකට කලින් අපි දෙන්නා අපේ වුනා....

දැන් පැය තුනකටත් කිට්ටුයි. ඇයි මෙච්චර වෙලා යන්නේ... ඉන්දිගේ අම්මා මගේ ගාවට ඇවිත් ඉදගත්තා.

අපි දෙන්නා එකතු වෙනකොට මට වයස විසි හතරයි මාස ගාණයි. ඉන්දිට විසි දෙකක්වත් නැහැ. ඉන්දිගේ අම්මා අහයි කියලා හිතන් හිටිය ප්‍රශ්නේ ඇහුවේ නැති උනාට අපේ යාලුවෝ නම් හැම එකාම වගේ ඒ ප්‍රශ්ණය අපෙන් ඇහුවා. ඒත් අපි දෙන්නා කවදාවත් එහෙම දෙයක් ගැන කතා කලේ නැහැ. දෙන්නට දෙන්නා ගැන ලොකු විශ්වාසයක් තිබුනා. දෙන්නගේ වර්තමානය ගැන වගේම අනාගතය ගැනත්...

වෙඩින් එකෙන් පස්සේ දෙන්නම රස්සාවට ගිය පලවෙනි සතියේ දවසක් රෑ කෑමට නූඩ්ලස් හදන ගමන් ඉන්දි කතාවක් පටන් ගත්තා.

"මින්දික..."

කටහඩ ගැඹුරුයි. "ඇයි ඉන්දී.."

"අපි කාලෙකට දරුවෙක් නොහදා ඉමු..."

මම කර කර හිටිය ලූණු කැපිල්ල අත ඇරලා දාලා මම ඉන්දි ගාවට ගියා. ඉන්දි ආයෙත් කතා කරන්න ගත්තා.

"අපි තාමත් ජීවිතය පටන් ගත්තා විතරයි. දෙන්නම තාම ඉගෙන ගන්නවා. දෙන්නටම රස්සා වල ගොඩක් දුර යන්නත් පුලුවන්, යන්නත් තියෙනවා. අපි තාමත් බස් එකේ යන්නේ එන්නේ. අම්මලා දීපු දෙයක් ඇරෙන්න අපේක කියලා ඉතිරියක් නැහැ. ඔයා මගේ ගාවින් ඉන්නවා. මට ඒ ඇති. අපි ටික දවසක් මෙහෙම ඉමු..."

මම ඉන්දි දිහා ටිකක් බලන් හිටියා. වෙඩින් එකට කලින් ඔය සබ්ජෙක්ට් එක ගැන වැඩියෙන්ම කතා කලේ ඉන්දි. මම ඒ කියපු දෙයකට මොනවහරි කුණු කතාවක් කියලා හිනා වුනා මිසක් ඇත්තටම මම මේ දේවල් ගැන වැඩිය හිතලා තිබුනේ නැහැ. ඉන්දි මගේ ගාවට ඇවිත් තුරුල් වුනා.

"මටත් ඒ ඇති පැටියෝ..."

එදා නූඩ්ල්ස් එක වෙනදටත් වැඩිය රහට ආවා. හෙට ඉදලා අලුත් අලුත් ක්‍රම වලට නූඩ්ලස් හදන හැටිත් අපි එදා කාලා ඉවර වෙලා කතා කලා.

"පුතේ... ඊයේ ඔෆිස් එකේ වැඩ කරන ගමන්ලුද අසනීප වෙලා තියෙන්නේ...?"

"ඔව් අම්මේ. ඔෆිස් එකෙන්මයි හොස්පිටල් අරන් ඇවිත් තියෙන්නෙ. ඇඩ්මිට කරගන්න ඕනේ කිව්වම තමයි මට කෝල් කලේ..."

ඇතුලට අරගෙන පැය හතරකට විතර පස්සේ ඩොක්ටර් එලියට ආවා. මාව ඩොකටර් ගාවට දිවුනේ ඉබේටමයි...

"කොහොමද ඩොකටර් මගේ ඉන්දිට...? ගොඩක් වෙලා ගියා නේද ඔපරේශන් එකට..?"

"හම්ම්... එන්නකෝ මගේ රූම් එකට. කතා කරන්න ටිකක්..."

මම ඩොකටර් පිටි පස්සෙම එයාගේ රූම් එකට යන්න හැරුනා. ඒ වෙලාවේ ඉන්දිව එලියට අරන් ඇවිත් වෝඩ් එකකට අරන් ගියා. මම ටක් ගාලා දුවලා ගිහින් මගේ ඉන්දිගේ මූණ බලලා ආවා. අම්මලා ඉන්දිත් එක්ක වෝඩ් එකට ගියා. මම ඩොක්ටර්ත් එක්ක ආවා.

"ඉදගන්නකෝ..."

"තැන්ක් යූ ඩොකටර්.."

" දැන් ඔයාලා බැදලා කොච්චර කල් ද..? "

" අවුරුදු දෙක හමාරක් විතර වෙනවා. ඇයි ඩොකටර්?'

" දරුවෝ ඉන්නවද..."

"නැහැ ඩොක්ටර්. අපිට වුවමනාවක් තිබුනේ නැහැ..."

"එහෙමද... මම කියන දෙයට කලබල වෙන්න එපා. මිසිස්ගේ වයසේ කෙනෙකුට හරිම කලාතුරකින් මේ වගේ දෙයක් වෙන්නේ. මිසිස්ගේ වූම්බ් එකේ ( ගර්භාශයේ) ඩිස් ඕර්ඩර් එකක්. අපිට ඒක අරන් දාන්න වුනා. ඒක තව ටික දවසක් තිබ්බනම් ජීවිතයට අනතුරක් වෙන්න තිබුනා..."

මම නැගිට්ටේ ඇයි කියලා මම දන්නෙ නැහැ. ඒත්...

" කමක් නැහැ ඩොක්ටර්. මගේ ඉන්දිගේ ජීවිතය බේරලා දුන්නට ඩොකටට පින්..."

මම ඉන්දි ඉන්න වෝඩ් එක දිහාට යන්න ගත්තා. මට දැනුනේ මම ඇවිද්දට එක තැනමයි කියලා. මගේ ලෝකය නැවතිලා...

මම ඇද ගාවට එනකොටත් ඉන්දිට හරියට සිහිය ඇවිත් නැහැ....

"මොකද පුතේ ඩොකටර් කිව්වේ...?" අපේ අම්මා මගේ ලඟට ඇවිත්...

"ලොකු මොකුත් නැහැ අම්මේ. දැන් ඔපරේශන් එක කලානේ. ඔක්කොම ඉක්මණට හොඳ වෙයි කිව්වා..."

තාත්තත් මගේ ගාවට ආවා.

"ඉන්දිගේ අම්මා දුව ගාව ඉන්නම් කිව්වා. දැන් ඔයා ගෙදර ගිහින් හවස එන්න. ඊයේ හවස හොස්පිටල් එකට ආපු ගමන්නේ..."

මම ඉන්දි ගාවට ආවා. අනේ මගේ ඉන්දි... මට සමා වෙන්න ඉන්දි...!

ඉන්දිගේ අම්මා විතරක් ඉතිරි කරලා අනෙක් තුන් දෙනාව දාගෙන හොස්පිටල් එකෙන් ආවා.

ගිය අවුරුද්දේ මගේ උපන් දිනේ දවසේ උදේ එයාගේ ඔෆිස් එක ගාව හෝල්ට් එකෙන් බහින්න ලංවෙලා,

"හවස මොකුත් වැඩ දා ගන්න එපා හරිද.. ඉක්මණට ගෙදර එන්න"

මම කොහොමත් හවසට වැඩ දා ගන්නේ නැහැ. MBA කරන්න ගත්තට පස්සෙ වෙලාව හරිම සීමිතයි. අනෙක් එක ඔෆිස් එකේ ප්‍රෝමෝශන් දෙන්නෙ වැඩ කෝටියකුත් එක්කනේ. ඒ හින්දා හවස් වෙද්දි හොද ගනන්...

එදා ගෙනාපු කේක් එක කපලා අපි දෙන්නගේ බර්ත්ඩේ පාටි එක ඉවර වෙලා ටීවී බල බල ඉන්න ගමන් ඉන්දි කතාවක් පටන් ගත්තා...

"මින්දික..."

කටහඩ ගැඹුරුයි. මීට කලින් එකම එක දවසයි ඒ හඩින් ඉන්දි කතා කරලා තිබුනේ...

"ඔයා ආස දුවෙකුට ද... පුතෙකුට ද..?"

අවුරුද්දකට විතර පස්සෙත් ඒ සබ්ජෙක්ට් එකට මුල පිරුවෙත් හැමදාම වගේම ඉන්දිමයි.

"ඕනේ කෙනෙක්... අපිව ලබන්න පතපු ඕනේ කෙනෙක් අපි ගාවට ආවාවේ. ඒත් ඉන්දි..."

ඉන්දි මූණ ඉස්සුවා.

"තව ටික දවසක් මේ විදිහටම ඉමු නේද... මගේ MBA එක පටන් ගත්තා විතරයි. ඔයාටත් ෆයිනල් තියෙනවා. ඒ හින්දා තව අවුරුද්දක් හමාරක් විතර මේ විදිහටම ඉමු නේද..."

විනාඩි පහක් විතර දෙන්නගෙන් එක්කෙනෙක් වත් කතා කලේ නැහැ. හරිම දිග විනාඩි පහක්...

"කමක් නැහැ. මට ඔයා ඉන්නවනේ..."

එදා අපි දෙන්න වෙනදට කලින් ඇදට ගියා.

හවස එද්දි ඉන්දිට සිහිය ඇවිත්. ඉන්දිගේ අම්මා නාන කාමරයට ගිහින්.

"මට මොකද වුනේ මින්දික..."

මම අල්ලගෙන හිටිය ඉන්දිගේ අත තදින් මිරිකුණා....

" අයි මින්දික ඔයා අඩන්නේ.... අඩන්න එපා ළමයෝ මාව ඉක්මණට සනීප වේවී... මේ බලන්නකෝ අම්මේ ලොකු බබෙක් අඩන හැටි..."

"ඉන්දි... ඩොක්ටර්ස්ලා ඔයාගේ ගර්භාෂය අයින් කරලා..."

ඉන්දිගේ හිනාව නැවතිලා මූණ අදුරු උනේ එකම මොහොතේ...

"මොකක්ද... ගර්භා...,"

"ඔව් ඉන්දි... මට සමාවෙන්න ඉන්දි..."

"මට ඒ කියන්නෙ ජීවිතේට අම්මා කෙනෙක් වෙන්න බැරි ද මින්දික... ජීවිතේටම...? කියන්න මින්දික, අනේ කියන්නකො...."

එදා අපි දෙන්නට උදව් කරන්න තිස් තුන් කෝටියෙන් එක්කෙනෙක් වත් අපේ ගාව හිටියේ නැහැ. අපි අපේ දුක කදුලු ගංගාවක දිය කරලා ඇරියා. මුලු වෝඩ් එකම අපි දෙන්නා දිහා බලන් උන්නා....

 

*දුක්බර කතාවක්


කෙල්ලෙක් දවසක් කොල්ලෙක් ගෙන් අහනව
ඔයාට මට ආදරෙ කරන්න පුලුවන්ද කියල
කොල්ල කියනව හැමදාම ඔයා මගේ ලන්ගින් ඉන්නවනම් මන් ආදරේ කරන්නම් කියල
එතකොට කෙල්ල කියානව මන් "හැමදාමත් ලන්ගින් ඉන්නම් කියල"
....දෙන්න ආදරේ උතුරල යන තරමට ආදරේ කරනව
මෙ දෙන්න බ්යික් එකේ හැම තැනම රවුන් ගහනව
ටිකෙන් ටික කෙල්ලගෙ campus එකේ විබාගෙට ලන්වෙනව
මෙ කොල්ල උදෙ රැ ,අවුව වැස්ස බලන්නැතුව කෙල්ලට ඔන කරන හැම දෙයක්ම සපයනව
මොකද මෙ කොල්ලටත් ඔන කෙල්ල දොස්තර කෙනෙක් වෙනව දකින්න

මෙ කොල්ලගෙ පවුලටම ඉන්නෙත් මෙ අහින්සක කොල්ල විතරයි
මෙ අහින්සකයගෙ දෙමවුපියො මෙ කොල්ලව හැදුවෙ දිවිහිමියෙන්,ගොඩක් ආරක්ශා කරල

මෙ කෙල්ල කොල්ලගෙ ලෝකෙ බලාපොරොත්තු පුරවනව
කෙල්ල කියනව" ඔයාව මගෙම කරගෙන හැමදාමත් ඔයාව තුරුලු කරන් ඉන්නවයි" කියල

මෙ කෙල්ල ගොඩක් දුරට ඉගන ගෙන තිබුනට කොල්ල campus යන තරමට ඉගනගෙන නැ.
කොල්ල කෙල්ලගෙන් අහනව "ඔයා දොස්තරකෙනෙක් වුනාම ඔයාට මාව ගැලපෙයිද" කියල
කෙල්ල කියනව "ඔයා නැතුව මට මෙ ලොකෙ වෙන ගැලපෙන කෙනෙක් ඉන්නවද" කියල

කෙල්ලගෙ විබාගෙට පෙනිසිටින්න තියෙන්නෙ හෙට
කෙල්ල අද රැ කොල්ලට කෝල් කරල කියනවා "රත්තරන් හෙට උදෙම මව බොඩිමෙන් ගන්න එන්න,වේලාසනින් යනතරමට හොදයිනේ" කියල
කොල්ල කියනව "මන් හෙට උදෙන්ම එන්නම්,ඔයාට හෙට උදෙන්ම නැගිටින්න ඔන නිසා දැන් නිදාගන්න කියල"
කොල්ල ෆොන් එක තියන්න හදද්දි කෙල්ල කියනව "හෙට උදේ එනකොට මල් පොකුරකුත් අරගෙන ඇවිත් ඔයාගෙ අතින්ම දෙන්න කියල"
කොල්ල හා කියන්නෙත් නැතුව ෆොනෙක තියනව..

කෙල්ල උදේ ඉන්දන් බලන් ඉන්නව කොල්ල තාමත් නැ,දැන් විබගෙ පටන් ගන්නත් ලගයි
එකපාරටම කොල්ලගෙ යාලුවෙක් ඇවිත් කෙල්ලට කියන්ව" සමාදි ඔයා විබාගෙට යන්න චානු යාලුවෙක්ගෙ වැඩකට යන්න වෙලා එයා එකට ගියා" කියල

කෙල්ලට හොදටම තරහගිහින්
දැන් විබාගෙත් ඉවරයි
..............................
එදා හවස කෙල්ලට අරන්චිවෙනව කොල්ලගෙ බ්යික් එක හැප්පිලා කියල
කෙල්ල ඉස්පිරිතලෙට යනව.
වෙනකොටත් කොල්ලගෙ කකුල් දෙකම කපල
කෙල්ල කියනව "ඔයා මන් කියන දේ අහල මව ගන්න අවනම් ඔය දෙ වෙන්නෙ නැනෙ" කියල,
කොල්ල මුකුත් කියන්නැතුව නිහඩව ඉන්නව
................................
කෙල්ල ටිකෙන් ටික කොල්ලව මගඇරිය
කොල්ලට එක දැනුන
කොල්ල මුකුත් කිවුවෙ නැ,කෙල්ල එයාව අතරිනවට කොල්ලත් කැම්තිවුනා
ටික දවසකින් කොල්ලට ආරන්චිවුනා කෙල්ල කැම්පස් එකෙම කොල්ලෙක් එක්ක යාලුවෙලා කියල,
කොල්ල ගැන අඩ අඩ සතුටු වුනා..

කොල්ල ගෙදරට වෙලා තනියම ඉන්නව
ඔය අතරෙ ටික දවසකින් කෙල්ලයි,යාලු වුනු කොල්ලයි ගෙදරට එනව
දෙන්නගෙ වෙඩින් කඩ් එක දෙන්න..
කොල්ලට හොදටම ඇඩෙනව

කෙල්ල කාඩ් එක දීල යන්න යනව
කෙල්ල ගියයින් පස්සෙ කොල්ල කෙල්ලට පනිවිඩයක් යවනව

"
ඔයාගෙ මල් පොකුර ගන්න තියෙන කඩෙ ඇස් මානෙ තියෙද්දි තමයි රත්තරන් මගෙ ඇස් පියවුනෙ" කියල

Newer Posts Older Posts