*ආදරණීය_නදී_ (2 කොටස )



මහවැලි ගං තෙර දිගට හමාගෙන එන හීතල සුලං රැලි අතරේ අපි විනාඩි ගානක් එහෙමම ඉන්න ඇති.ඊට පස්සෙ අපි උණ පඳුර මුලට වෙලා බිමින් ඉඳ ගත්තා.නදිත් බිම ඉඳගෙන මගෙ පපුවට හේත්තු උනා.නදී මට තුරුල් වෙලා නිදා ගත්තයි කිව්වොත් මං ගොඩක් හරි.වෙලාව යනවා දැනුනෙත් නෑ.ඔයා මගෙ ලඟ ඉන්නකොට ඔරලෝසුවෙ කටු පවා මැරතන් දුවනවද කොහෙද නදී...හවස තුනටත් ලං වෙලා.

"නදී...?"

"ම්ම්..."

හුම්ම් කියා ගන්නත් අමාරු තරම්.නදී ඉස්සර වෙලා මහන්සියි කියලා තියෙන්නෙ ඇත්තටම වගේ.දවස පුරාවට දඟ කරලා මහන්සි වෙලා අම්මගෙ තුරුලට වැටිලා නිදාගෙන ඉන්න පොඩි එකෙක් ගානයි මගෙ නදිත් දැන්.

"දැන් වෙලාව තුනටත් ලඟයි පැටියො..."

"හවස...?"

"හ්ම්ම්...අපි මෙහෙට ආවෙ උදේනෙ පැටියො ඉතිං.ඒකත් අමතක උනාද ඔයාට...?"

ඇත්තමයි ඔයා නම් දැන් මොන්ටිසෝරි යන පුංචි ලමයෙක් වගේ නදී.දැන දැනත් ඒවා නොදන්නවා වගේ මහ බොලඳ විදියට අහන හැටි විතරක්.

"අඳුර වැටෙන්න තව කොච්චර වෙලා තියෙනවද අමිල අයියෙ...?"

"තව පැය තුනකින් විතර අඳුර වැටේවි... ඒත් ඇයි එහෙම අහන්නෙ නදී..?"

එහෙම අහන හේතුව මට හිතා ගන්න බැරි හින්දා මං ඇහුවා නදීගෙන් එහෙම.මේ කෙල්ල අද ආවෙ මගෙත් එක්ක නවතින්නවත්ද මන්දා.

"මට මේ මදි අමිල අයියෙ...අනේ තව ගොඩාක් වෙලා ඔයාගෙ තුරුලෙ ඉන්න ඕනි මට.ප්ලීස්..."

නදී තව තවත් මගෙ තුරුලට එනවා.තවත් ආවොත් නම් මට හුස්ම ගන්නත් අමතක වේවි නදී.ඒ තරම් ඔයා මගෙ තුරුලට ඇවිදින්.ගොඩාක් ලස්සනට පේනවා මට ඔයාව එහෙම ඉන්නකොට.කොහොමද ඔයා මේ ලස්සන පරිස්සම් කරගෙන මෙච්චර කල් හිටියෙ රත්තරන්.අහන්න හිතයි මට ඔයාගෙන්.ඔයාගෙ මුළු ගතම හරිම සුන්දරයි නදී.ඇත්තමයි.

"මං හැමදාමත් ආදරේ කරපු මගෙ වටිනාම වස්තුව දෝතින් අරගෙන මැරෙනකම්ම වුනත් මෙහෙමම ඉන්න මමත් ගොඩක් ආසයි.ඒත් අපි තවමත් අපේ වුනා විතරයිනෙ නදී.අපි අපේ ජීවිත වල ලස්සනම කාලෙ පටන් ගත්තා විතරයිනෙ තවම.අපිට තව කල් තියෙයිනෙ ඉතින්.අද අපි රෑ වෙන්න කලින් ගෙදර යමු නදී..."

නදීගෙ ඔලුව අතගාන ගමන් මං කිව්වා.මට බෑ නදී එක පුංචි වැරැද්දකට හැමදාමත්ම විඳවන්න.ඔයා ආපහු ගෙදරට එක්ක යනකම් ඔයා ගැන මම වග කියන්න ඕනිනෙ.රෑ වෙන්න කලින් මං ඔයාව ගෙදර එක්ක යන්න ඕන නදී.

"හ්ම්ම්...ඒත් ආයිත් අපි කවදා මීට් වෙන්නද අමිල අයියෙ...?"

ඔය ලස්සන ඇස් දෙකේ කඳුළු දකින්න මං කොයි තරම් නම් පව් කරලා ඇතිද නදී.දුක දෝරෙ ගලන දෑසින් මා දිහාවෙ බලාගෙන නදී එහෙම කියද්දි මට ඉකිබිඳුනා.

"දැන් මට ඔයාව දකින්නෙ නැතුව ඉන්න බැහැ මැණික.මං වත් නොදන්න තරම් මං ඔයාට ආදරේ කරන්න පටන් අරං.අඩුම ගානෙ මං සතියකට සැරයක් වත් ඔයාව නොදැක ඉන්නෙ නැහැ පැටියො.මං එන්නම් මට පුළුවන් හැමදාකම ඔයාව තුරුල් කරගෙන ඉන්න."

"මගෙ අමිල අයියා මට ඇත්තටම ආදරෙයි නම් මගෙ ඔළුවෙ අත තියලා ප්‍රොමිස් වෙන්න පුළුවන් හැමදාකම මාව බලන්න එනවා කියලා."

නදී මගෙ සුරත අරගෙන එයාගෙ හිස් මුදුනින් තියා ගෙන මට තුරුල් වෙලා ඉන්න ගමන්ම මගෙ ඇස් දෙකට එබුනා.මං කොහොමද දෙයියනේ ඔය අහිංසක ජීවිතේ නාමෙන් දිවුරන්නෙ...

"කියන්නකො ඉතිං..."

නදීට හරිම හදිස්සියි වගේ.මං මගෙ අත ආපහු ගත්තා.මොන දේ උනත් මට බෑ මගෙ නදී ඔයාගෙ ජීවිතේ නමින් දිවුරන්න.කවදා හරි දවසක ඔයාව බලන්න එනකොට මම මැරිලා ගියෝතින් වත්.අනේ මං හිතන්න වත් ආස නෑ පැටියො ඒ ගැන.

"මට ඔයාගෙ ජීවිතේ නාමෙන් ප්‍රොමිස් වෙන්න බෑ නදී.මට පව් පිරෙයි මහ ගොඩක්.ඒත් මං පොරොන්දු වෙන්නම් එන්න පුළුවන් හැමදාකම පණ පිටින් හිටියොතින් මං එනව මගෙ මැණිකව බලලා යන්න.සත්තයි.සත්තමයි.මගෙ පණ තියෙනකම්ම මං ආදරෙයි නදී ඔයාට.ඔයාට මං ආදරේ කලේ අද ඊයෙක නෙමෙයිනෙ නදී.ඔයා දන්නවනෙ මං ගැන නේද...?"


"හ්ම්ම්..."

"ඇයි නදී හැම වෙලාවෙම හුම්ම් කියන්නෙ...?"

"නිකම් ඉතිං...මට එහෙමම කියලා පුරුද්දට නිකන්ම කියවෙනවා එහෙම."

"හ්ම්ම්...මං ඔයාට නමක් දා ගන්නද...?.ගොඩාක් ආදරේ හිතුනම ඔයාට බනින්න...?"

"මොකක්ද කියන්න බලන්න.හැබැයි මං අකමැති නම් බැහැ.හොඳද...?"

"ප්‍රොමිස් නදී...ඔයා අකමැති නම් මං කියන්නෙ නෑ...ඔයා හැම වෙලාවෙම හුම්ම් හුම්ම් කියන හින්දා මං ඔයාට 'බකමූනි' කියලා කියන්නද...ආදරේ වැඩිම උනාම ඔයා මට වැඩිය චූටි හින්දා'චූටි බකමූනි' කියන්නම්...?.කැමතියිද...?"

මං දන්නවා නදී.ඔයා අකමැති නැති වෙයි ඒකට.ඔය වගේ බොලඳ වැඩ වලට ඔයා ගොඩාක් කැමතියි කියලා මං දන්නවා අත්දැකීමෙන්ම.අනේ කැමති වෙන්නකෝ...මගෙ හිත දඟලනවා ඔයාගෙන් උත්තරයක් ඉල්ලගෙන.

"ම්ම්ම්...කැත නමක්..." නදී කල්පනා කර කර මුමුණනවා.

"කියන්නකො පැටියො ඉතින්...අකමැති නම් කමක් නෑ.හැබැයි කැමති වෙනවා නම් මං ආසයි."

"හැබැයි එහෙනම් ඔන්න ඔයා 'බකමූනා'.ආදරේ වැඩිම උනාම 'මහ බකමූනා' ඇග්‍රී..?."

"ඉතිං මං හැම වෙලාවෙම හුම්ම් කියන්නෙ නැහැනෙ අනේ..."

මං තොඳොල් වෙන්න ගත්තා.ඔයා ඒකට කැමති වෙලා වගේ.මට ඕන එපා කියන්න නෙමෙයි.ඒත් මං ආසයි ඔයා තරවටු කරන විදියට.

"බෑ බෑ...මං බකමූනි නම් ඔයා බකමූනා වෙන්නම ඕනි.නැත්නම් ඔට්ටු නෑ.එහෙම නෙමෙයි.ඒකට අකමැති වුනොත් මට තරහ වෙන්න වෙනවා ඔයත් එක්ක බකමූනො...ඔයා ඒකට කැමති වෙන්නම ඕනෙ.නැත්නම් ඔන්න මං තරහම තරහයි ඔයත් එක්ක."

ගිරවි වගේ කියවලා කියවලා ඔය කිව්වෙ.දැන් ඉතින් ඉඳලා හමාරයිනෙ.දැන් ඒකට කැමති වෙන්නම වෙනවා.අම්මගෙ පොඩි එකා ජීවිතේ පලමු වතාවට බකමූනෙක් වුනා අම්මෙ.

"හ්ම්ම්...දැන් ඉතින් මට අකමැති වෙන්න බෑනෙ නදී.කමක් නෑ මං බකමූනෙක් වෙන්නම් ඔයා වෙනුවෙන්.හැබැයි පුංචි ප්‍රශ්නයක් තියෙයි නදී."

"හොඳම වැඩේ.බකමූනා...ආවා මෙතන මට නම් දාන්න.මොකක්ද දැන් ඔය ප්‍රශ්නෙ...?" නදී මගෙ ඇස් දෙකට එබුනා.

"බකමූනො මෙහෙම දවල් තිස්සෙ ගං ඉවුරු වල උණ පඳුරු යටට වෙලා ඉන්නෙ නෑනෙ එයාලගෙ ගෑනු ලමයි එක්ක."


"එහෙනම්...?"

මම කියන්න හදන දේ නොතේරුනා වෙන්න නම් බෑ නදී ඔයාට.ඔයාටත් ඕන ඒක මටම කියලා කියව ගන්න.

"එයාල ගෑනු ලමයි එක්ක ඉන්නෙ රෑටනෙ පැටියො.බකමූනො ඇහැරලා ඉන්නෙ රෑටනෙ.එයාලා දවල්ට නිදා ගන්නවනෙ.හැබෑ බකමූනො වෙන්න නම් මෙහෙම දවල්ට මීට් වෙලා බෑ.අපිටත් මීට් වෙන්න වෙන්නෙ...."

"හා හා...ඇති ඇති...අම්මෝ..."

නදීට තේරුනා වැඩේ ඒ පාර නම්.නදී මට බර වෙලා එක පාරටම මාව තල්ලු කලා උණ පඳුර දිහාවට.මම නදීට යට වෙලා.අද දවසටම නොබැලුව විදියට නදී මගෙ ඇස් දෙක දිහාවෙ රවාගෙන බලාගෙන ඉන්නවා.මමත් එහෙමම හිටියා.ඊලඟට මොනා වේවිද දෙයියනේ.අනේ නදී මට බනින්න නම් එපා.විහිළුවක්නෙ කලේ ඉතින්.මං කිව්ව දේ ඔය තරම් බරපතලයිද නදී...



"වලත්තයා..."

තත්පර ගානකට පස්සෙ එහෙම කියලා දඟකාර හිනාවකින් වත සරසගෙන නදී ආයිමත් මට තුරුල් උනා.ඇති යන්තම්.ඔයාට තරහ ගියා කියලා මට හිතුනෙ නදී.මං හිතුවෙ ඔයා ඒක අමතක කරල දායි කියලා නදී.

"වල්ම වල් කොල්ලා...හිතේ ඇති නේද හැබෑ බකමූනෙක් වෙන්න.?.ආයිත් හෙම එහෙම කිව්වොත් බලා ගන්න පුළුවන් හොඳද.?"

නදී මටම තුරුල් වෙලා මටම තහංචි දානවා.කෝ මේ ලංකාවෙ තියෙනවයි කියන ප්‍රජාතන්ත්‍රවාදය.මෙහෙම නදීටම කතා කරන්න ඉඩ දෙන්න බැහැනෙ.

"ඉතින් අනේ ඔයාමනෙ කිව්වෙ නදී ඔයා බකමූනි නම් මමත් බකමූනා වෙන්න ඕනෙ කියලා.ඒකනෙ කිව්වෙ මං එහෙම.ඇයි ආයිත් කිව්වොත් මොනා කරන්නද මට මගෙ චූටි බකමූනි...ම්ම්.?"

මං නදීව ලං කරගෙන දෝතින් උස්සලා ලඟට අරන් නිකට හිමිහිට මිරිකන ගමන් ඇහුවා.

"ආයිත් කිව්වොත් එහෙම මං ගිලිනවා ඔයාව අමිල අයියෙ."

එක පාරටම මට ලොකු හිනාවක් ගියා.ඔයා නම් මවන්නෙ හීනමයි නදී.කියන්නෙම කරන්න බැරි දේවල්.බටු ඇටයක් වගේ ඉඳගෙන කොහොමද නදී ඔයා මාව ගිලින්නෙ.උදේ කිව්වා ටොක්කක් අනිනවා කියල.ඔය දඟ වැඩ හැමදාමත්ම කරන්න රත්තරං මගෙම තුරුලට වෙලා.මට හැමදාමත්ම ඔය දඟකාරකම උරුමයි නේද නදී.

"ඇයි හිනා වෙන්නෙ...?.මැට්ටා.." නදී දුකෙන් වගේ කිව්වා.මං හිනා වුන එක නදීට හරි ගිහින් නැහැ වගේ.

"අනේ....දුක හිතුනද පැටියො.මං හිනා වුනේ නිකම් නදී.ඔයා මාව ගිලිනවයි කිව්ව එකට මට හිනා ගියේ.වෙන දේකට නෙමෙයි.අනිත් එක මට ඒ තරම් හදිස්සියක් නෑ නදී කිසිම දේකට.මං එහෙම කතාවක් කිව්වෙ විහිළුවට.මං දන්නවනෙ ඔයා මගේමයි කියලා.මොනාට හදිස්සි වෙන්නද මං ඉතින්.අනික ඉතින් මලක් පිපුනු හැටියෙම සුවඳ විඳ ගත්තම ඒ මලේ කිසිම අගයක් නැති වෙනවනෙ නදී.තේරෙනව නේද...?.මල පිපුනෙ මගෙ ලෝකෙ නම් ඇයි මං මේ හදිස්සියේම රොන් ගන්න දඟලන්නෙ.හැමදේම වෙන්න ඕන විදියට වෙන්න ඕන කාලෙටම උනාවෙ.තරහයිද මා එක්ක මං කිව්ව ඒවට චූටි බකමූනියෝ..?"

පුංචි කෙල්ලගෙ ඇස් දෙකට එබෙන ගමන් මං ඇහුවා.අනේ පව්.වැහිබර අහසක් වාගෙ ඇස් කෙවෙනි දෙක.මමම ඔයාව හිනස්සලා ආයිත් මමම ඔයාට කඳුළු දෙනවා.ඔයා පව් නදී.ඇත්තටම ඔයා පව්.

"අනේ හිනා වෙන්නකො නදී...ප්ලීස්...මට බෑ ඔය ඇස් දෙකේ කඳුළු දකින්න පැටියො.ඔයා හොඳ ලමයනෙ.හිනා වෙන්න ඉතින්.කෝ බලන්න මෙහෙ."

ඔයා වගේ කෙල්ලෙක් නම් නදී.හරි නරකයි අනේ ඔයා නම්.මට කියවන්න ඉඩ දීලා ඔය අතින් කට වහගෙන හිනා වෙනවා.හැබෑ බකමූනියෙක් බකමූනට කරන්න වටින වැඩක්ද ඔය කරන්නෙ.ඒත් මං මුකුත් කියන්න ගියේ නෑ.ආයිත් මොනා හරි කිව්වා නම් ආයිත් ඔයා අඬනවා.ඒ හින්ද හිතට දැනුනු දේ එහෙමම නිවිලා යන්න ඉඩ දුන්නා මං.

"ඔය තරම් වැදගත් විදියට මං ගැන හිතනවට ඔයාට ගොඩක් පිං අමිල අයියෙ.ඔයා වගේ බඹරෙක් ගැන ඇහුවමයි මං මගෙ ජීවිතේටම."

පරිස්සමින් නදී.ඔයාගෙ අහිංසක බඹරට ඇස් වහ කට වහ වදීවි.ම්ම්.දැනුයි මතක් වෙන්නෙ නදී.ඉස්සරලා ඔයා කිව්වා නේද නදී ඔයත් හීනෙක ජීවත් වෙන කතාවක්.දැන් ඒක අහන්නද මං නදී...

"නදී පැටියො මං බඩ්ඩක් අහන්නද ඔයාගෙන්...?.හැබැයි ඔන්න බොරු කියන්න බැහැ."


නදී පුදුමෙන් වගේ මගෙ දිහා බැලුවා.බොරු කියන්නෙපා කිව්ව හින්දා පුදුම හිතෙන්න ඇත්තෙ ඔයාට නදී.

"බය වෙන්න දෙයක් නෑ අනේ.මං ගිලින්නෙ නෑ ඔයාව අර ඔයා මාව ගිලිනවයි කිව්ව වගේ...ඌයි...රිදෙනව නදී..."

නදීට දැන් ගිලින කතා කියන්නත් බෑ.තරහ යනවා ගොඩක්.ඇත්තටද බොරුවටද මන්දා.නදී මගෙ කන් පෙත්ත මිරිකුවා හයියෙන්.අනේ මට රිදුනා නදී.ආයිත් හෙම මිරිකන්නකො බලන්න එහෙම.අනිනවා ටොක්කක් ඔයාට රිදෙන්නම.

"පණ්ඩිත කතා නැතුව කියන්නකො මොකක්ද බඩ්ඩ කියලා..."

මම නම් නෙමෙයි නදී පණ්ඩිත වෙලා ඉන්නෙ.ඔයා තමයි පණ්ඩිතයෙක් වෙලා ඉන්නෙ දැන්.උදේ නම් හිටිය හැටි කඳුළු පෙරාගෙන දෙකොපුල දිගේ.අහිංසක හා පැටිච්චි වගේ.

"මොකක්ද අර උදේ එන ගමන් කිව්ව හීනෙක කතාව නදී..?.කියන්නකො මටත්.මමත් හිතේ තියං හිටිය දේවල් කිව්වනෙ ඔයාට.මටත් පුළුවන් නම් ඔයාට උදව් කරන්නම්කො හීනෙ හැබෑ කර ගන්න.කිව්වෙ නැත්නම් හැබැයි මං තරහ වෙනව ඔන්න."

"හා එහෙනම් තරහා වෙන්න.මං කියන්නෙම නෑ.ඔන්න මමත් තරහයි ඔයත් එක්ක."


නදී දඟකාර විදියට හිනා වෙවී කිව්වා.මේ විදියට ගියෝතින් නම් මං අසරණ වෙනවා නදී.ඔයා නම් බකමූනියෙක් නෙමෙයි.කපටිම කපටි නරිච්චියෙක්.

"අනේ කියන්නකො නදී...මං තරහ වෙනවයි කිව්වෙ බොරුවටනෙ අනේ.ඔයා දන්නවනෙ මට බෑ කියලා ඔයත් එක්ක තරහ වෙලා ඉන්න.කියන්නකො ඉතින් අනේ."

"හ්ම්ම්...ඒ හීනෙ දැන් හැබෑ වෙලා ඉවරයි අමිල අයියෙ."

"ඒ කිව්වෙ ඔයාගෙ අහිංසක හීනෙ මමද නදී...?"

"ඔව් බකමූනො.ඔයා තමයි මගෙ ලෝකෙ තිබුන ලොකුම හීනෙ.හිතේ හිර කරගෙන හිටිය ආදරේ කියා ගන්න විදියක් නැතුව මං හිටියෙ අමිල අයියෙ.කියන්න වෙලාවක් නැතිව හිටියෙ මං.ඒත් අද ඒ හීනෙ හැබෑ උනා.මටත් හොරෙන්.මං කිව්වෙ නෑ ඔයාට ආදරෙයි කියලා.කියවුනා මට.ඒ තරමක් මං ආදරේ කලා ඔයාට අමිල අයියෙ.සත්තකයි.මමත් ඔයා වගේම මේ ආදරේ හිතේ හිර කරන් හිටියා මෙච්චර කාලයක් තිස්සෙ එදා ඉඳන්ම.ඔයා ඒ දඟකාර ආදරේ මගෙන් ගත්තා අද..."

දිගටම කියවගෙන යද්දි මං මගෙ නදීගෙ ඇස් දෙක දිහාවෙම බලාගෙන.ඒ ඇස් දෙක නිල් පාටට දිලිසෙනවා.මං දන්නවා නදී.ඒ ආදරේ හැබෑවක්ම වග.ඒ හින්දයි ඔයාගෙ ඇස් දෙක ගොඩාක් ලස්සනට දිලිසෙන්නෙ.කතාවෙ අන්තිම හරියට යද්දි නදීගෙ ඇස් දෙකෙන් කඳුළු ගලනවා.මං මගෙ මැණිකව ලං කරගෙන දෑඟිලි වලින් ඒ කඳුළු වැල් හිමිහිට පිහලා දැම්මා.එහෙම කරද්දි ඔයා අහිංසක විදියට මගෙ දිහා බලපු විදියට මගෙ ඇස් දෙකටත් කඳුළු උනනවා නදී.ඇත්තමයි අදටත් කඳුළු උනනවා.ඒ තරම් අහිංසකයි ඔය සඳවත මගෙ පැටියො.සත්තයි.මට ගොඩාක් ආඩම්බරයි ඔයාව මගේම වුනු එකට නදී.මේ ලෝකෙන්ම මං තරම් වාසනාවන්තයෙක් තවත් නම් නැතුව ඇති නදී.

ආයිමත් සැරයක් නදීව දෝතින් අරගෙන උණුහුමට සිපගන්න ආස හිතුනා මට.නිකටෙන් අල්ලලා හිමිහිට මූන මට ලං කරගෙන දෙතොලට ලං වෙලා මං ඇස් දෙක පියා ගත්තා.මොහොතකින් දෙතොල් එකිනෙක ගෑවෙන මායිමක තිබුනත් හෙව්වට හෙව්වට ඔයාගෙ රෝස පාට හීනි දෙතොල් පෙති හොයා ගන්න බැරුව මං ආයිමත් ඇස් දෙක ඇරියා.අනේ ඔයා හරිම නරකයි නදී.දඟමල්ලක් ඔයා නම්.මං ලං වෙන ටිකට මේ කෙල්ල තොල් පෙති දෙක ඇතුලට අරන් හංගගෙන.මං ඉතින් කොහෙන් හොයන්නද...

"අනේ නදී..." මං හිමිහිට කිව්වා.

එකපාරටම නොහිතපු මොහොතක නදී මගෙ දෙතොල් සිපගත්තා.පුදුම තරම් උණුහුම් වෙලා ඔයාගෙ දෙතොල රත්තරන්.ජීවිතේ පලවෙනි වතාවට මම පුංචි කෙල්ලෙක්ගෙ උණුහුම් දෙතොලක පහස ලැබුවෙ නදී.මං වාසනාවන්තයි මහ ගොඩක් නදී.ඔයා වගේ දඟකාරියෙක්ව ලැබෙන්නෙ කීයෙන් කී දෙනාටද.ඒ අතලොස්සක් ඇතුලෙ මං ඉන්නවයි කියන්නෙ මොන තරම් නම් මං වාසනාවන්තයිද.ගොඩක් වෙලාවක් තිස්සෙ නදී එහෙමම හිටියා.හරියට හීනෙන් ඇහැරුනා වගේ නදී ආයිමත් මට තුරුල් වුනා.

"වෙලාව කීයද මහත්තයෝ...?"

"පහටත් ලඟයි පැටියො.අපිට දැන් නම් යන්න වෙයි වගේ නදී.ඔයා අඳුර වැටෙන්න කලින් ගෙදර යන්න ඕනනෙ."

මං නදීට එහෙම කිව්වෙ මට ගොඩක් බය හිතුනු හින්දා.ඔයා ගෙදර යද්දි පරක්කු උනොත් හෙම ඔයාට අම්ම අහන දේවල් වලට උත්තර දෙන්න ගියාම කියවුනොත් හෙම මං ගැන මුකුත්.මට බයයි ඔයාව මට නැති වෙයිද කියලා නදී.

"ඔයා අම්මිට කියලා ආවෙ කොහෙ යනවා කියලද අමිල අයියෙ...?"

"මගෙ යාළුවෙක්ගෙ ගෙදර යනව කියලා.ඔයා කොහෙ යනවා කියලද ආවෙ නදී..?"

ඒකත් දැන ගන්න ඕනනෙ මං.මේ කෙල්ල පන්ති යනවා කියලා වත් ආවා නම් අපි දැනටමත් ගොඩාක් පරක්කුයි.

"මං නම් අම්මිට කිව්වා ඇත්තම..."

කිසිම ගානකට නොගෙන නදී කිව්වා.දෙයියනේ...ඔයා නම් හරි ලමයෙක් තමයි.දැන් ඉතින් මං ඉවරයිනෙ නදී.ඇත්තටම කිව්වද ඔයා එතකොට.

"ඇත්තටම කිව්වද නදී ඔයා අම්මිට එහෙම.මේ මං මීට් වෙන්න එනවයි කියලා...?" මට අදහා ගන්නත් බැහැ නදී.

"සත්තයි.මං එහෙමම කිව්වා.මං කිව්වා අමිල අයියව මීට් වෙන්න යන්නෙ අම්මි.අනේ මට එපා කියන්න එපා අම්මි.මට එයාව ඕනෙ කියලා."

"දෙයියනේ...හිතා ගන්නත් බැහැ මට නදී.අම්මි මොකක්ද කිව්වෙ එතකොට...?.අම්මි මාව දන්නෙ නෑනෙ නදී ඉතින්."

"නෑ...අම්මි දන්නව ඔයාව.එදා කෝල් එක ගන්න වෙලාවෙ අම්මිත් අහගෙන හිටියා ඒක.අම්මි අපි කෝල් කරපු ගොඩක් ඒව අහගෙන හිටියා.අම්මිට මං ඔයාගෙ ෆොටෝ එකකුත් පෙන්නලා තියෙන්නෙ.අම්මි ඇහුවා මගෙන් ඔයාට ආදරේ කරන්න හිතෙන්නෙ නැද්ද කියලත් බකමූනො...ඊට පස්සෙ තමයි මං අම්මිට කිව්වෙ මං ඔයාට ආදරේ කරනවා කියලා.අපේ අම්මි හරි හොඳයි අනේ."

"අනේ මට ඒ අම්මිව බලන්න ඕන නදී.යන ගමන් මං එන්නද අම්මිට කතා කරන්න...?.ඒ අම්මිගෙ දෙපා වදින්න ඕනෙ මට."

"එන්න ඉතින්.මට මොකෝ.අම්මිත් කිව්වා පුළුවන් නම් ඔයාවත් එක්කං එන්න කියලා."

දෙයියනේ ඔයා ඔය ටික කලින් කිව්වා නම් මේ වෙද්දි මං ඔයාලගෙ අම්මිත් එක්ක අපි දෙන්නගෙ අනාගතේ ගැන දහසක් දේවල් කතා කරන ගමන් නදී.මට දැන් හදිස්සියි.ඔයාලගෙ ගෙදරට දුවගෙන එන්න හිතයි මට.ඉක්මනට අපි යමුකො නදී...

"හ්ම්ම්...මං එනවා නදී දැන් ඔයාලගෙ ගෙදර මේ ගමන්ම.අපි යමුකො දැන්.දැන් පහයි වෙලාව.යද්දි හය හමාර වත් වෙයි.ඒක තමයි එහෙනම් කෙල්ල බය නැතුව හිටියෙ වෙලාවට යන්න දිදී..."

නදී ඒකට උත්තර දුන්නෙ නෑ.යාන්තමට හිනා වුනා විතරයි.නදීටත් අම්මිගෙ බෑණා පොඩ්ඩ පෙන්නන්න හදිස්සියි වගේ ගොඩක්.නදී ගලවලා තිබුනු සෙරෙප්පු කුට්ටමත් දාගෙන හෙල්මට් දෙකත් අතට අරගෙන වතුර හෙම බීලා ලෑස්ති වෙනවා ගෙදර යන්න.

"අපි යමු මහත්තයෝ..."

මං හෙල්මට් දෙක එක අතකින් අරගෙන නදීව අනිත් අතින් අල්ල ගත්තා.අපි දෙන්නා පාක් එක ඇතුලට ගිය විදියටම අත් අල්ලගෙන එලියට ආවා.දැන් නම් හිතේ තිබුනු මහා බරක් නිදහස් උනා වගේ.නදීලගෙ ගෙදරින් කැමතියි නම් අපේ ගෙදරින් නදීට කැමැත්ත දෙන්නෙ ඉහලින්ම.ඒක මට හොඳටම විශ්වාසයි.බයික් එකට නැඟලා අපි දෙන්නා ආපහු යන්න පිටත් වුනා.පිටත් වෙන්න මොහොතකට කලින් මගෙ නදීගෙ නළලත ආදරෙන් සිප ගත්තා මං එක සැරයක්.පණ්ඩිතයා වගේ නදී ඔහොම කිව්වට කවුද දන්නෙ ගෙදරට ගියාම මොනා වේවිද කියලා.




Newer Post Older Post

One Response to “*ආදරණීය_නදී_ (2 කොටස )”

  1. හ්ම්,, අමුතු විදිහට ලියන කතාවක් ,,, ඒ උනාට මම කැමති ඒකට,,...

    ReplyDelete