2011

*මම මියැදුනෙමි

මහගම සේකර ශුරීන්ගේ කවියක් අසුරින් ලියැවුනි ...අවසන් පද වැලේ අදහස එතුමා සතුය.





*ආදරණීය_නදී_(6 කොටස )

මං කොහොමද සඳේ එයාලගෙ විස්තර දන්නෙ. මං නදීව දැක්කෙත් අදමයිනෙ. ඉතින් කොහොමද මං එයාල ගැන දන්නෙ. අඩුම ගානෙ මං තවම දන්නෙ නැහැ නදීලගෙ ගෙවල් තියෙන දිහාව වත්. මං දන්නෙ එයා ගියේ යක්කලින් බැහැලා කියලා විතරයි සඳේ.

"නැහැ සඳේ. මං දන්නෙ නැහැ එයාලගෙ අම්මලා ගැන කිසිම දෙයක්." මං ඇත්තම කිව්වා.

"හ්ම්ම්... මෙහෙම කියන්න බැහැ මල්ලි. කාලා නිදා ගන්න ගියාම මං කියන්නම්."

මොන දේ කිව්වත් කමක් නැහැ සඳේ. ඒත් ඔහොම හැම දෙයක්ම කල් දාන්න එපා. මට ඉවසගෙන ඉන්න බැහැ සඳේ. මං කල්පනා කර කර ඉන්න එක නවත්තලා ඉක්මනට කෑම කෑවා. මොන දේ කොහොම වුනත් ඉන්ටනෙට් ලොග් වෙන්නත් ඕනිනෙ. නදී නම් දැන් හා පැට්ටෙක් වගේ හොඳට නිදාගෙන ඇති. උන ගතියකුත් තිබුනනෙ. අද ගොඩක් මහන්සිත් ඇති කෙල්ලට. ඔයා නිදාගෙන ඉන්න හැටි මගෙ දෑස් අග මැවිලා පේනවා නදී.

"උඹ නිදා ගනින් මල්ලි මං පරක්කු උනොත්. පොඩි වොෂ් එකක් දා ගන්න ඕනෙ. මටත් අද උඹ ගියා වගේ ගමනක් හෙට යන්න තියෙනවා."

අයියා හිනා වෙවී කියාගෙන ගියා බාත්රූම් එක පැත්තට. දැන් මට නෙට් ලොග් වෙන්න ඕනෙ සඳේ. මට අද නින්ද යන එකක් නැහැ . අනේ නදී මේ පැය දෙක තුනෙත් මට ඔයාගෙ තුරුලට වෙලා ඉන්න ඉඩක් දෙන්න රත්තරං. මං නදී ගැනම හිතන්න පටන් අරගෙන. මං හීනෙනුත් කියවන්න ගනීවිද දන්නෙ නැහැ මේ විදියට ගියොත් නම්. මං කම්පියුටර් එක ලඟට ගිහින් ඒක ඔන් කර ගත්තා. අයියගෙ එකවුන්ට් එකට පාස්වර්ඩ් දාලා. දැන් ඉතින් ඌ එනකම් ඉන්න වේවිද මන්දා.

නැහැ. හොර වැඩ කරන්න හොඳට ප්‍රගුණ කරලා තිබුන හින්දා මට අයියගෙ එකවුන්ට් එකට ගොඩ වෙලා නෙට් කනෙක්ට් වෙන්නත් ලොකු මහන්සියක් වෙන්න ඕනෙකමක්

වුනේ නැහැ. නෙට් කනෙක්ට් වෙලා මිනිත්තු දෙක තුනක් යන්නත් කලින් මගෙ මොබයිල් එකට මැසේජ් එකක් ආවා. නදී. "ඔයා එනකම් මං බලාගෙන ඉන්නෙ. ඉක්මනට එන්නකො" දෙයියනේ ඒ කියන්නෙ මේ කෙල්ල තවමත් ඇහැරගෙන. පවු නදී ඔයා. මට මගෙ නදී ගැන ලොකු අනුකම්පාවක් ඇති වුනා. මං ලොකු හදිස්සියකින් ස්කයිප් ලොග් වුනා.

"ඇයි මෙච්ච්ර වෙලා ගියේ...? දොයිය ගත්තද ඔයා අමිල අයියෙ..?"

පවු මේ කෙල්ලට නිදිමත උතුරනවා ඇස් දෙකෙන්. අපිට මෙහෙම කතා කරන්න පුළුවන්ද නදී. අම්මලාට ඇහෙන්නෙ නැද්ද අපි මෙහෙම කතා කරද්දි...

"ඔව් මගෙ පැටියො. ආව ගමන් ඔළුව රිදෙන්න ගත්තා. මං චුට්ටක් රෙස්ට් කරන්න කියලා නිදා ගත්තෙ. ඇහැරෙද්දි නමයත් පහු වෙලා. ඔයා ගොඩක් වෙලාද මං එනකම්..? මෙහෙම කතා කරන්න පුළුවන්ද අපිට නදී...? අම්මිලාට ඇහෙන්නෙ නැද්ද..?"

පවු ඔයා රත්තරං. මං එනකම් මෙච්චර වෙලාවක් පාළුවෙන් ඉන්න ඇතිනෙ. ඔයාට නිදා ගන්න තිබුනෙ නදී. හෙට කතා කරන්න තිබුනනෙ අපිට.

"නැහැ. අම්මිලා දැන් නිදි. අනිත් එක මං ඉන්නෙ උඩ තට්ටුවෙනෙ. ඒ හින්දා අම්මිලාට මාව ඇහෙන්නෙ නැහැ. මමත් දැන් චුට්ටකට කලින් ආවෙ. මමත් නිදා ගත්තා. අම්මි කෑ ගහන්න ගත්තා ඇහැරලා කෑම කන්න කියලා. එතකොටයි ඇහැරුනේ. අපරාදෙ මං ඇහැරියේ..."

"ඇයි අපරාදෙ කියන්නෙ නදී..?" මට හරි ප්‍රශ්නයක්.

"මං ලස්සන හීනයක් බැලුවා අමිල අයියෙ. හරිම ලස්සනයි. අපි දෙන්නා පාක් එකේ ඇවිදින්න ගිය තවත් දවසක්. මං හරිම ආසාවෙන් ඒක බැලුවෙ. අන්තිම මොහොතෙ මං ඔයාගෙන් උම්මා එකක් ගන්න හැදුවෙ. කොහෙද ඉතින් අම්මි ඒක කෑවා. අපරාදෙ නැද්ද ඉතින්..."

පව් කෙල්ලගෙ මූණෙ දුක දෝරෙ ගලනවා. ඔයාට නම් එහෙම දෙයක් වෙලා අම්මි ඇහැරවලා තියෙන්නෙ. ඒත් මාව ඇහැරෙව්වට මං සඳරුවන් අයියට ස්තුති කරන්න ඕනෙ නදී. නැත්නම් මං කොච්චර දුක් වේවිද... ඔයාගෙ හීනෙ නම් දවසක හැබෑ වෙන්න පුළුවන් එකක් නදී. ඒත් අනේ මං දැක්ක හීනෙ නම් ඒ විදියට කෙළවර වෙන්න එපා කියලා මං පතන්නෙ නදී.

"හ්ම්ම්.. අපරාදෙනේ. අම්මි ඒක කෑවට කමක් නැහැ පැංචියෝ. මං ඒ උම්මා එක දෙන්නම් ඔයාට අනිත් දවසෙ ඔයාව වඩාගෙන. එතකම් ඉන්නකො. මමත් ලස්සන හීනයක් දැක්කා නදී. ඒකත් ගොඩක් ලස්සනයි. මට අන්තිමට ඇහැරුනා ඒත්."

මං ඒ කතාව ඔයාට කියන්නම් නදී. මට පුළුවන් විදියට කියන්නම් මං. නැත්නම් ඔයාගෙ හීනෙ බලන්න බැරි වුන එකට ඔයාට දුකයිනෙ. මේක කිව්වම ඔයාට ඒක ගානක් නැති වෙයි. එතකොට අපි දෙන්නටම දැනුනු දුක පොදුයිනෙ නදී.

"අනේ කියන්නකො අමිල අයියෙ. ඔයාගෙ හීනයක් කියන්නෙ මමත් ඉන්නවනෙ ඒ හීනෙ ඇතුලෙ. මං ආසයි අහන් ඉන්න."

"ඔයාට දොයිමත නැද්ද නදී...?"

"නැහැ. කතාව කියද්දි සමහර විට මට සනීපෙට නින්ද යාවි. ඔයා බලන්නෙ එහෙම හීනනෙ. ඒත් නින්ද ගියත් නින්ද යන්නෙ ඔයාගෙ ලඟනෙ. ඒ හින්දා කමක් නැහැ."

ඔය තරමටම මාව වුනත් විශ්වාස කරන්න එපා නදී. අඩුම තරමෙ මම වත් ඔය තරම් මං ගැන විශ්වාස කරන්නෙ නැහැ නදී. ඒත් මගෙ හෙවනට එන්නත් කලින් එහෙම අවස්ථාවක් ආවොතින් මං මගෙ පණ දෙවෙනි කරලා ඔයාව පරිස්සම් කර ගන්නම් නදී. මං හීනෙන් දකිද්දි වෙච්චි හැම දෙයක්ම නදීට ලස්සනට දැනෙන්න කිව්වා. නදී පූසි පැටියෙක් වගේ. උන හින්දද මන්දා ලස්සන ජැකට් එකක් පොරෝගෙන. හරිම ලස්සනයි ඒකට. කැමරාව ලඟට වෙලා ඉඳගෙන කිසිම හාවක් හූවක් නැතිව නදී මගෙ හීන කතන්දරේ අහන් ඉන්නවා. ලා නිල් පාටට ඇස් දෙක පියවෙනවා හරිම ලස්සනයි. ඒත් කිව්වා වගේම නිදිමත පාටයි නදීට දැන්. හැම දෙයක්ම කිව්වත් මං කතාව කෙළවර කලේ මං ගෙදර යන්න එද්දි ඇහැරුනා කියලා විතරයි. නැත්නම් මට ඉර හඳ වගේ විශ්වාසයි නදී. ඇත්ත කතාව එහෙමම කිව්වා නම් ඔයා කෑ ගහලා අඬාවි.

"හ්ම්ම්...පව් ඔයා මං කිව්ව කතාව ගැන හිතලා තියෙන දුර. ඇත්තමයි හරිම ලස්සනයි අමිල අයියෙ. හැබැයි ඉතින් චීයා..."

නදී කතාවෙ අන්තිමට කිව්වා හිනා වෙවී. මොනා කරන්නද නදී ඉතින්. ඔයා කිව්ව හින්දා තමයි මං ඒක දකින්න ඇත්තෙ. ඒ විදියටම ඔයාලගෙ අම්මලා මාව පිළි ගත්තොත් නම් හොඳයි ඉතින්. ඒත් එහෙම නොවුනොත් එහෙම. අපි ඒ ගැන පස්සෙ හිතමු මගෙ පැංචි. මගෙ ජීවිතේ හැටි තමයි ඔය නදී. ජීවිතේ විඳින්න ඕනෙ කාලෙ විඳවලා වැඩක් නැහැනෙ. ඒකයි මං ඔය තරම් සුන්දර විදියට මගෙ ජීවිතේ විඳින්නෙ.

"එහෙම තමයි මගෙ හැටි. ඒත් ඉතින් ඔයත් හරිම ආසයිනෙ නදී එහෙම පුංචි පුංචි දඟ වැඩ වලට."

මං කිව්වෙ ඇත්ත. ඔයා විතරක් නෙමෙයි නදී. හැම කෙල්ලෙක්ම ඔය වගේ පුංචි පුංචි වල් කතා අහන්න, එහෙම වැඩ කරන්න, එහෙම දේවල් විඳින්න හරිම ආසයි. මං ඒක දන්න හින්දයි ඔහොම දේවල් කරන්නෙ. එතකොට ආදරේ හරිම සුන්දරයි නදී. අපි ආදරේ කරන්න ඕනි අපිව දකින අයට පවා අපි ගැන ඉරිසියා හිතෙන තරමට.

"හ්ම්ම්... මං දන්නවනෙ මගෙ බකමූණගෙ හැටි. අපි නිදා ගමුද අමිල අයියෙ..? අද හරිම මහන්සියි අනේ..."

"ඔයා නිදා ගන්න මගෙ පැටියො. මමත් තව ටිකකින් නිදියෙන්න ඕනෙ. හෙට උදෙන්ම ඇහැරින්නත් ඕනිනෙ. ගුඩ් නයිට් එහෙනම් මගෙ සුදු පැංචියෝ. පරිස්සමින් ඉන්න. බුදු සරණයි."

වෙනදා විදියටම නදීට ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම මං ගොඩාක් ආදරෙන් කිව්වා. ඒ දේවල් කියන්නම ඕනෙ නැහැ. ඉබේම කියවෙනවා මට.

"හ්ම්ම්... ඔයත් පරිස්සමින් ඉන්න අමිල අයියෙ. හෙට යන්න කලින් මට කෝල් කරන්න. බුදුසරණයි."

නදී එහෙම කියද්දි ඇස් කෙවෙනි දෙක තෙමෙන්න වගේ. ඔයා ඔහොම කියනකොට මගෙ හිතේ ඔයාට තියෙන ආදරේ සිය දහස් වාරෙකින් වැඩි වෙනවා නදි. ඒ වෙලාවට තමයි මට හිතෙන්නෙ මගෙ නදීව පුළුවන් තරම් ඉක්මණට මගෙ තුරුලට ගන්න. නදී එහෙම කියලා සීතලට වෙව්ලන රෝස පාට දෙතොල් පෙති මගෙ දිහාට උල් කලා. එයාට ඕනෙ මගෙ දෙතොල් වල සුව විඳින්න. ඒත් ඔයාගෙ ලඟ නැහැනෙ මං අද නදී. මටත් ඔයාට අද දෙන්න වෙන්නෙ ඔහොමම තමයි. මමත් හිත පුරා උතුරන ආදරෙන් මගෙ දෙතොල උල් කලා නදීට පේන්න.

හරියට කල්ප ගානක් තත්පර කීපෙකින් ගෙවිලා ගිහින් වගේ. නදී යන්න ගියාට පස්සෙ හිත පාළු වෙලා ගියා එක මොහොතකින්. ඔයා නැතිව දැන් නෙට් එකේ ඉඳලා මට වැඩක් නැහැ නදී. මමත් යන්නම් දැන්. මං කම්පියුට්‍ර් එක ඕෆ් කරලා නිදා ගන්න ඇඳට පනින්න ලෑස්ති වෙන්න බලනකොට සඳරුවන් අයියා මටත් හොරෙන්ම ඇවිත් නිදාගෙන.නිදාගෙන වගේ හිටියට තවම නිදි නැහැ.

"හ්ම්ම්... ඉවරයිද මල් කැඩිල්ල..?"

"ඔව් සඳේ. නදී ගියාට පස්සෙ ගොඩාක් පාළුයි බං. හරියට මාව මරලා දැම්ම වගේ."

අයියටත් තේරෙන්න ඇති මගෙ මූණ පුරා තිබුනු සාංකාව. අයියා ගොඩාක් අසරණ මනුස්සයෙක් දිහා බලන ගානට මගෙ දිහා බලාගෙන. ඔහොම මගෙ දිහා බලන්න එපා සඳේ. අඩුම ගානෙ මගෙ නදී වත් ඔහොම බලන්නෙ නැහැ.

"වැඩිය හිතන්න එපා බං. නදී උඹව දාලා යන්න ගියේ නැහැනෙ මල්ලි. ඔහොම තමයි ඉතින් සීරියස් ආදරේ කරන්න ගියාම. කෙල්ල ලඟ නැති මොහොතක් පවා අවුරුදු ගානක් වගේ දැනෙන්නෙ. ඒත් ඉතින් මොනා කරන්නද මල්ලි. අනිත් එක උඹ තවම පටන් ගත්තා විතරයි. ඔහොම ගියොත් නම් පුතෝ උඹට ජීවිතේට මුහුණ දෙන එක ගොඩක් අමාරු වෙයි. ඔහොම ගිහින් නදී උඹව දාලා ගියොත් එහෙම උඹ කොහොමද ජීවත් වෙන්නෙ..?"

අයියා මට ජීවිතේ තේරුම් කරන්න පටන් අරගෙන. මට නිදිමතයි බං. ඔය බණ අහන්න වෙලාවක් නැහැ දැන්. මගෙ නදී මාව දාලා යාවිද සඳේ..?

"හරි හරි බං. ඔය ඇති දැන්. මට ඕව අහං ඉන්න බැහැ තරහ එනවා මට. මගෙ නදී මාව දාලා යාවිද සඳේ.. එහෙම වුනොත් වෙන වෙන්න කිසිම දෙයක් නැහැ සඳේ. මගෙ රත්තරංට දුන්නු තරමක ආදරයක් වෙන කෙල්ලෙක්ට දෙන්නෙ නැහැ මං. සංසාරෙ පුරාවට පතාගෙන ආවෙ නදීට විතරක් ආදරේ කරන්න නම් මං ආදරේ කරන්නෙ මගෙ නදීට විතරක්මයි සඳේ. සත්තයි. නදී මාව මොන විදියකින් හරි දාලා ගියොත් එදා තමයි මං මේ ලෝකෙ ජීවත් වෙන අන්තිම දවස සඳේ."


මගෙ ඇස් දෙකේ කඳුළු පිරෙනවා. මගෙ නදී මාව දාලා යාවි කියලා මට අදහා ගන්නවත් බැහැ සඳේ. ඒකයි මට මේ තරම් දුක හිතෙන්නෙ. මං ඒ තරම් පව්කාරයෙක් වෙන්න විදියක් නැහැ සඳේ. වතුරෙ ගිලිලා මැරෙන්න යන කූඹින්ව පවා පරිස්සමින් ගොඩට ගන්න මං එහෙම පව්කාරයෙක් වෙන්නෙ කොහොමද සඳේ. පිං සිද්ධ වෙයි සඳේ. අපි ඔය කතාව නවත්තමු.

"හ්ම්ම්... ඔය තරම් ආදරයක් ලබන්නත් ආත්ම ගානක් පිං පුරන්න ඕනෙ මල්ලි. උඹ නම් පුදුම කොල්ලෙක් බං. ආඩම්බරයි උඹ වගේ එකෙක් මට අයියෙ කියලා කියන එක පවා."

මං මුකුත්ම කියන්න ගියේ නැහැ. කියන්න ගියා නම් මං දන්නවා මට හයියෙන් ඇඬෙන බව. මොන දුකක් කොහොම දරා ගත්තත් මට මගෙ නදී මට දුක් දේවි කියන කතාව උහුල ගන්න බැහැ සඳේ.

"නිදා ගනින් මල්ලි. දැන් දොලහත් පහු වෙලා. අපි දෙන්නම හෙට උදෙන්ම ඇහැරින්නත් ඕනෙනෙ. ගුඩ් නයිට් මල්ලියා."

"ගුඩ් නයිට් සඳේ."

අයියට දැනිලා වගේ මං ඉන්න තත්වෙ. කොහොමින් කොහොමින් හරි මට නදීලගෙ ගෙදර විස්තර ටික දැන ගන්නත් නැති වුනා සඳේ උඹේ පණ්ඩිත වැඩ හින්දා. කමක් නැහැ පස්සෙ දවසක අහ ගන්න පුළුවන්නෙ. නිදා ගන්න ශීට් එක පොරෝගෙන ඇඳට වුනත් මට නිදා ගන්න හිතක් නැහැ. මට මගෙ නදීව මතක් වුනා. අද මට කතා කරද්දි පූසි පැටික්කියෙක් වගේ ජැකට් එක පොරෝගෙන හිටිය විදියටම ඔයා සනීපෙට නිදි ඇති. ඔයාව ඒ විදියටම උණුහුම් කරන්න මට ආස හිතෙනවා නදී. අනේ කවදද මගෙ තුරුලට ඇවිදින් ඔහොම සනීපෙට නිදා ගන්නෙ නදී..?

ඇස් දෙකට නිදිමතයි වගේ.හිතට කොහොම වුනත් මට නිදා ගන්න කිසිම උවමනාවක් නැහැ. දකින දකින හැම තැනකම, හදවත ගැහෙන හැම මොහොතකම, හිත නැවතෙන හැම තැනකම, හිත ඉල්ලන්නෙ ඔයාවමයි නදී.මං කොහෙන්ද ඔයාව හොයා ගන්න රත්තරං. මට මතක් වුනා අද හවස බයික් එකේ ඇවිත් යක්කල කිට්ටු වෙනකොට බයික් එකෙන් බහින්න ඔයා දැඟලුව හැටි.පුංචි කෙල්ලෙක් වගේ.කිසිම බයක් ලැජ්ජාවක් නැතිව මගෙ උරහිසේ එල්ලිලා පිස්සු කියෙව්ව හැටි.

"අමිල අයියෙ..?"

"හ්ම්ම්.."

"දැන් ඔයා අපේ ගෙදර එනවද අද..?"

"යමු ඉතින් නදී... ඔයාමයිනෙ කිව්වෙ මට එන්න කියලා. කොහොමත් මට ආසයි මගෙ නැන්දියාව මීට් වෙලා කතා කරලා එන්න."

"මං එවෙලෙ එහෙම කිව්වෙ විහිළුවට මගෙ දෙයියො. සත්තයි. මං අම්මිට කියලා නෙමෙයි ආවෙ මහත්තයෝ. මට සමා වෙන්න එහෙම කිව්වට."

දෙයියනේ නදී. එතකොට මං මෙච්චර වෙලා හිටියෙ බොරුවකට අහු වෙලාද... මට හිතා ගන්න බැහැ. මං කොච්චර හීන මැව්වද නදී ඔයාලගෙ අම්මලා එක්ක කතා කරන විදිය. එයාලා ඉන්න තැන හැසිරෙන විදිය පවා.ඇයි එහෙම මාව රැවැට්ටුවේ.. මං බයික් එක යක්කල හන්දියට ටිකක් එහායින් නැවැත්තුවා මිනිස්සු වැඩිය නැති තැනකින්. නැවැත්තුව ගමන් නදී බයික් එකෙන් බැස්සා. නදීට බය හිතිලා වගේ. තොල් පෙති දෙක වෙව්ලනවා. කොපුල් දෙක රෝස පාට වෙලා. මමත් බයික් එකෙන් බැස්සා. නදීගෙ මූණ දිහා තත්පර කීපයක් බලාගෙන හිටියා. පස්සෙ එයාගෙ දෙවුරට අත් දෙක තියලා මගෙ දිහාට හරව ගත්තා.

"ඇයි මට බොරු කිව්වෙ නදි..?"

හිතට ආපු කේන්තියත් එක්ක මං ඒක නදීගෙන් ඇහුව විදියට නදීට දුක හිතෙන්න ඇති. ඒත් දැන් කරන්න දෙයක් නැහැ නදී. ඔයාට මීට ටිකක් හරි කලින් ඒක කියන්න තිබුනා. අඩුම ගානෙ පාක් එකේ ඉඳන් එලියට එද්දි වත්. එහෙම වුනා නම් මට සමාව දෙන්න තිබුනා.

"අනේ මට සමා වෙන්න අමිල අයියෙ. මං එහෙම කිව්වෙ ඔයාව රවට්ටන්න නෙමෙයි. මං ඒ වෙලාවෙ ඒක කිව්වෙ විහිළුවට. ඒත් ඔයා ඒක සීරියස් ගත්තා. මං වැරදිකාරියෙක් කරන්න එපා මගෙ රත්තරන්. මට බනින්න එපා. කවුරු බනින එක කොහොම ඉවසුවත් මං ගොඩාක් ආදරේ කරන ඔයා මට බනින එක මට උහුලන්න බැහැ අමිල අයියෙ. ප්ලීස්. මාව තේරුම් ගන්න. මට ඔයාව නැති කරන්න එපා රත්තරන් අමිල අයියෙ. ප්ලීස්..."

නදී බය වෙලා හොඳටම. මං බනින්නෙ නැහැ මැණික. ඒත් චුට්ටක් වෙලා අඬලා වත් තේරුම් ගන්න කෙරුව වැරැද්දෙ තරම. නැත්නම් තවත් දවසක ඔයා මෙයිටත් වැඩියෙන් මගෙ හිත රිද්දාවි. එදාට මට ඇත්තටම තරහ යාවි. මං ආස නැහැ එදාට මගෙ වස්තුවට එකම එක වචනෙකින් වත් හිත රිදෙන්න බනින්න.

"බනින්න නෙමෙයි තියෙන්නෙ ඔයාට නදී... හරි ඒකට සමාව දෙන්නම්. ඒත් එක කොන්දේසියක් ඇතුව. මගෙ ඔළුවෙ අත තියලා මට පොරොන්දු වෙන්න ආයිත් කවදාවත්ම ඔහොම වැරැද්දක් කරන්නෙ නැහැ කියලා. ඔහොම දෙයක් කිව්වට කමක් නැහැ නදි. ඒක වැරැද්දක් නෙමෙයි. මට දුක ඒකට නෙමෙයි. ඒත් ඔයා ඒකෙ ඇත්ත නැත්ත කිව්වෙ ගොඩාක් පරක්කු වෙලා. ඒකයි මට දුක හිතෙන්නෙ ගොඩක්. අඩුම ගානෙ ඔයාට තිබුනා කෑගල්ල පැත්තෙදි වත් ඔය කතාව කියන්න. ඒත් ඔයා මෙහෙට එනකම්ම හිටිය එකයි වැරදි නදී."

"මට බෑ මහත්තයෝ. මට බෑ. ඔයාගෙ ජීවිතේ නාමෙන් පොරොන්දු වෙන්න බෑ. බැරි වෙලා වත් මට ඔය විදියට ඒක කලින් කියන්න බැරි වුනොත් එහෙම. මට බෑ පව්කාරියෙක් වෙන්න මගෙ දෙයියො. වෙන ඕනෙම දෙයක් කියන්න. මං කරන්නම්. ඒත් ඔයාගෙ ඔලුවෙ අත තියලා දිවුරන්න නම් බැහැ."


නදී ඇස් දෙකෙන් කඳුළු ගලද්දි කියනවා. පව් කෙල්ලට හොඳටම ඒකට දුක හිතිලා වගේ. අන්ත අසරණියෙක් ගානට මගෙ මූණ දිහා බලාගෙන. තවත් ඔය කඳුළු දිහා බලාගෙන මට ඉවසගෙන ඉන්න බැහැ නදී. මං මගෙම හිතට වෛර කරනවා නදී. ඇයි මං ඔයාව ඒ තරමටම රිද්දන්නෙ. මට හිතා ගන්න බැහැ නදී. මං මගෙ කෙල්ලව මගෙ පපුවට තුරුළු කර ගත්තා.

"මට සමා වෙන්න මගෙ පැටියෝ... එක පාරටම මට ගොඩක් තරහ ගියා. තරහ වෙන්නෙපා මැණික."

මං උතුරන සෙනෙහසකින් නදීගෙ නළලත සිප ගත්තා. නදීට මොහොතක් එහෙමම ඉන්න ඉඩ දුන්නා ටික වෙලාවකට. මං රිද්දුව හිත මමම සනසන්න ඕනිනෙ. නැත්නම් මට පව් සිද්ධ වේවි. නදී මුකුත්ම කිව්වෙ නැහැ. කෙල්ලට තේරෙන්න ඇති කරපු වැරැද්දෙ බරපතලකම. කමක් නැහැ නදී. අදට විතරයි ඔහොම වෙන්නෙ. පස්සෙ දවසක ඔහොම දෙයක් වෙන්න මං ඉඩක් තියන්නෙ නැහැ.

"මගෙ පැටියො...?"

"හ්ම්ම්"

"අර වගේ කතාවක් ආයිත් කියන්නෙපා මට විතරක් නෙමෙයි වෙන කිසිම කෙනෙක්ට වත්. වෙන ඕනෙම දෙයක් කියන්න මං කරන්නම් කියලා ආයෙ කියන්නෙපා. ඕනෙ නම් මට තිබුනා ඔයාගෙයි කියලා තියෙන හැම වටිනාකමක්ම උදුර ගන්න. ඒත් මං එහෙම කරන්නෙ නැහැ. මට මගෙ මැණික ඕනෙ වෙලාවට ආවම ඇති මගෙ තුරුලට. ප්‍රොමිස් වෙන්න ආයිත් එහෙම කියන්නෙ නැහැ කියලා."

නදී ඔළුව උස්සලා මගෙ මූණ දිහා කෙලින්ම බැලුවා. ඔහොම බලන්න තරම් දෙයක් නැහැ නදී. මං කිව්වෙ ඇත්ත. වෙන කෙනෙක් නම් ගොඩක් දුරට ඔයා මෙච්චර කාලයක් පරිස්සම් කර ගත්ත හැම දෙයක්ම නාස්ති කරලා ඉවරයි දැනටමත්. ඒත් මට එහෙම කරන්න හිතෙන්නෙ නැහැ මගෙ රත්තරං. බැරි වෙලාවත් මට ඔයාව ලැබෙන්න කලින් මේ අසරණයා මැරිලා ගියොතින් එහෙම ඔයාගෙ මුළු ජීවිතේම අඳුරු වේවි නදී.

"හ්ම්ම්... ඔයා වගේ කොල්ලෙක්ව ලබන්න මං ඉස්සර ආත්ම වල කරපු පිං මොනාද කියලා මට හිතා ගන්න බැහැ අමිල අයියෙ. තැන්ක් යූ."

එහෙම කියලා නදී ආයිත් සැරයක් මගෙ පපුවට තුරුල් වෙලා හැංගුනා. මහ දඟකාර විදියකට. ඔයා ඇත්තටම ආඩම්බර වෙන්න නදී. හැබැයි ඔහොම තුරුල් වෙලා ඉඳලා හරියන්නෙ නැහැ පැටියො. දැන් ඔයා ගෙදර යන්න ඕනිනෙ.

"නදී.. ගෙදර යන්න එහෙම මතක නැද්ද පිස්සි..?"

"හ්ම්ම්. යන්න නම් ඕනෙ ඉතින්. දැනටමත් මං පරක්කුයි අමිල අයියෙ. අම්මිට මොනාද මං කියන්නෙ මහත්තයෝ..?"

"ආව බස් එක කැඩුනා කියලා වත් කියන්න. ගොඩාක් පරක්කු නැහැනෙ..? දැන් වෙලාව හය හමාරයි."

නදී ඔළුව වැනුවා නැහැ කියන්න වගේ. මොන දේ කොහොම වුනත් ගෙදර යන්න ඕනෙනෙ ඉතින් නදී. දැන් අපි යමු. නැත්නම් තවත් පරක්කු වෙන එකනෙ වෙන්නෙ.

"එහෙනම් අපි යමු පැටියො.ඔයා කොහෙන් බැහැලද යන්නෙ නදී..?"

"යක්කල හන්දියෙන් මාව දාන්න අමිල අයියෙ. මං යන්නම් ඊට පස්සෙ."

"තනියෙන් යන්න පුළුවන්ද නදී..? මං ගෙදර ලඟටම එන්නද පැටියො..?"

මට බයයි නදී ඔයා ගැන. මෙච්චර කාලයක් නැතුවත් මගෙම කරුමෙට ඔයාට මොකක් හරි කරදරයක් වුනොත්.

"අනේ පිස්සො බය වෙන්නෙපා. ඔයා එන්න එපා. මට බයයි අපි අපේ ආදරේ පටන් ගත්ත ගමන්ම අපිට කරදරයක් වේවි කියලා. හරි මං ගෙදරට ගිහින් කෝල් එකක් දෙන්නම්. එතකොට හරිනෙ. මගෙ බකමූණගෙ හිතට බය නැහැනෙ එතකොට. ම්ම්..?"

මගෙ මූණට එබෙන ගමන් නදී අහනවා. මං ඉතින් හා කියන්නෙ නැතිව වෙන මොනවා කියන්නද නදී ඔයාට...

"හ්ම්ම්.. එහෙම කරන්න එහෙම නම්. මතක ඇතුව කෝල් එකක් දෙන්න. නැත්නම් මං එනවා ගෙදරටම."

මං ආයිමත් නදීව දාගෙන යක්කල හන්දියට යනකම් ගියා. නදීට හිතක් නැහැ මාව දාලා යන්න. දුක ඇති ඔය හිතට. ඒත් ඉතින් මොනා කරන්නද නදී. ඔයාව ඉක්මනට ගෙදරට යවන්න ඕනිනෙ. අදට විතරක් ඔයාගෙ අම්මිගෙන් බැනුම් අහන්න රත්තරං. මං අනිත් දවසෙ මීට කලින් ඔයාව එක්කන් එන්නම්. මෙච්චර වෙලා මං පරක්කු වුනේ මං ගැන ඔයාලගෙ අම්මි දන්නවා ඇති කියලා හිතාගෙන. ඒත් ඉතින් ඔයා එතන කරලා තියෙන්නෙත් මල විකාරයක්නෙ. ඔයා නම් වෙලාවකට හරිම නරක ලමයෙක් නදී අනේ. මං නදීට අද දවසට දෙන්න තියෙන අන්තිම හාද්දත් උණුහුමට දුන්නා එයා යන්න කලින්. කෙල්ලට මාව දාලා යන්න දුකයි. යන්න ලෑස්ති වෙලා ඇස් දෙකේ කඳුළු පිරිලා. පව් නදී ඔයා. කොහොමද ඔයා මේ පුංචි දවස් කීපෙට මට මේ තරම් ආදරේ කරන්න ඉගෙන ගත්තෙ..?

නදී බස් එකකට නගිනකම් මං ටිකක් ඈතට වෙලා බලාගෙන හිටියා එයා දිහා. සන්ග්ලාස් දෙක දාගෙන හිටිය හින්දා කාටවත් මං බලාගෙන ඉන්න දිහාව හොයා ගන්න බැහැ. නදී ගිහින් විනාඩි දහයක් විතර ගියාට පස්සෙ එයා කතා කරලා කිව්වා කරදරයක් නැතිව ගෙදර ආවයි කියලා. අම්මිගෙ ඔළුව රිදෙනවයි කියලා අම්මි නිදාගෙන ඉඳලා තියෙන්නෙ. ඒක හින්දම හොඳයි. නැත්නම් අද නදීට වෙන්නෙ අද මං වෙනුවෙන් බැනුම් අහන්න. ඊට පස්සෙ තමයි හිත හදා ගන්න පුළුවන් උනේ සඳරුවන්ලගෙ ගෙදරට යන්න. මට තවමත් ඒ දඟකාරි මගෙම ලඟට වෙලා ඉන්නව වගේ. තව තවත් මට හීන මවන්න ආසයි නදී. මතකයිද නදී...

*ආදරණීය_නදී_(5 කොටස )


වෙච්චි හැම දෙයක්ම මට තවමත් හීනයක් වගේ. මම හිතුවෙ නෑ නදීලගෙ අම්මලා මේ තරම් අහිංසක ඇති කියලා. නදී එයාල ගැන කිව්ව දේවල් වුනත් ඒ තරම් සැහැල්ලුවෙන් කිව්වට මම හිතුවෙ ඇත්තටම නදීලගෙ අම්මලා ගොඩක් සැර ඇති කියලා. ඇත්තටම හරිම පුදුමයි මට. නදීලගෙ ගෙදරදි නදීලගෙ අම්මලාට වැන්ද හැටි, එයාලට කතා කරපු හැටි, එයාලා කිව්ව දේවල්, නදී එක්ක කරපු දඟ වැඩ, නදීව එයාගෙම කාමරේදි එයාගෙම ඇඳට වෙලා එයාව සිපගත්ත හැටි, ඒ හැම එකක්ම මගෙ දෑස් ඉදිරිපිට මැවෙන්න ගත්තා. මම නිදහසේ හැම දෙයක්ම ආයිත් ආයිත් මතක් කරන්න ගත්තා. ඔයාගෙ මතකයන් ඔක්කොම රස කර කර විඳින්න පුළුවන් නදී හරිම ආසාවෙන්. ඒකනෙ මං මේ තරම්ම හීන බලන්න ආස. ඔයාගෙ ලස්සන ඇස් දෙකේ පටන් ඔයාගෙයි කියලා තියෙන හැම වස්තුවක්ම මට මහ ගොඩක් සුන්දරයි නදී.

අද දවල්ට හරිහැටි කෑමක් නැති හින්දාදෝ මන්දා ඇඟට වෙනදා තරම් හයියක් නෑ. ඒත් ඇඟේ අමාරුව මම දෙවැනි තැනට දාලා මගෙ ගමන දිගටම එන්න ආවා. නිට්ටඹුව කිට්ටු වෙනකොට මගෙ ඇඟට කලින් දැනුනට වැඩිය ටිකක් අමාරු බව තේරුණා. ඒත් මං අද ගෙදර යන්න ඕනෙ ගොඩක් රෑ වෙන්න කලින්. අම්මා මඟ බලාගෙන ඇති මං එනකම්. මට සමා වෙන්න අම්මෙ අද කලින් ගෙදර එන්න බැරි වුනාට. අර පිස්සු දඟමල්ල, අම්මගෙ ලේලි පොඩ්ඩ වෙන්න ඉන්න පුංචි කෙල්ල මට එන්න දුන්නෙ නෑනෙ කලින්. ඒකයි මං මේ තරම් අද පරක්කු වුනේ අම්මෙ. නැත්නම් මීට ගොඩාක් කලින් එන්න හිතාගෙන මං අද මේ ගමන ගියේ. කොහෙද ඉතින්. මේ කෙල්ලට මාව ගෙදර එක්කං යන්නත් ඕනෙ වුනානෙ. ඇත්තටම වෙන කවදාකවත් මම මේ තරම් පරක්කු වෙලා නැතුව ඇති කොහෙට ගිය ගමනක් වුනත්. ඈත එන බස්, කාර් වල එළිය මගෙ ඇස් දෙකට කෙලින්ම වදිනවා. පාර හොයා ගන්නත් හරිම අමාරුයි.

මගෙ ඇස් දෙක නිලංකාර වෙනවා මට යාන්තමට දැනෙනවා. වැඩිය ගනන් ගන්න දෙයක් නෑ. මට ඔහොම දේවල් අරුමයක් නෙමෙයිනෙ. මං මගෙම හිත රවට්ටන්න පටන් ගත්තා. වෙන කරන්න දෙයක් නැතිකමට. අම්මා සඳරුවන්ලගෙ ගෙදරට කතා කරාවිද මන්දා. එහෙම වුනොත් එහෙම නම් මට ගෙදර ගිහින් කියන්න අමුතුවෙන් බොරුවක් හදන්න වෙයි. යාළුවගෙ ගෙදර යනවයි කිව්වට සඳරුවන්ලගෙ ගෙදර දොරකඩට වත් ගොඩ නොවුන එකේ අම්මා මං ගැන මොනවා හිතාවිද. මං ගැන ඇහුවම සඳරුවන්ලගෙ අම්මා මොනවා කියාවිද. මට බයික් එක අරගෙන යන්නම බෑ. කවදාවත්ම නැති තරම් මගෙ මුළු ඇඟම පණ නැති වෙන්න එනවා. මම පුළුවන් හයියෙන් බයික් එකේ බ්‍රේක් තද කලා. ඒත්... මට කලින්, මම තිරිංග තද කරන්න කලින්.......


"බ්රාස්....."


*******************

"ම්ම්හ්..නදී...මට සමා වෙන්න නදී..."

ආයිත් අපිට මේ ආත්මෙදි කවමදාකවත් මුණ ගැහෙන්න බෑ රත්තරන්. මේ අසරණයට සමා වෙන්න නදී. මට ආයෙ එන්න වෙන්නෙ නැහැ නදී. අද තමයි ඔයාගෙ පුංචි ටෙඩියා ඔයා ගොඩාක් ආදරේ කෙරුව ඔයාගෙ අමිල අයියා පලවෙනි වතාවටත් අන්තිම වතාවටත් ඔයාව දකින්න ආවෙ. හැම සෙනසුරාදම එන්නම් කියලා මගෙ මැණිකට පොරොන්දු වුනාට මට ආයෙත් එන්න වෙන්නෙ නෑ රත්තරං. මං නැති වුනාට ඔයා වත් මං වෙනුවෙන් පරිස්සමින් ජීවත් වෙන්න නදී...

"අමිල මල්ලි..., මොකද මේ... උඹට මොකද වුනේ...?... නැඟිටපන් මල්ලි නැඟිටපන් ..."

මේ මහ රෑ මහ පාර මැද ඉඳන් කවුද මේ කතා කරන්නෙ මට. දෙවියනේ කවුද මගෙ පිහිටට ආවෙ. මාව බේර ගන්න ආයිත් කාටවත්ම එන්න බෑ. මගෙ නදීව පරිස්සමින් තියන්න කතා කරපු කෙනා කවුරු වුනත්. මට දැන් මගෙ ජීවිතෙන් කිසිම පලක් නෑ. මං වගේ අබ්බගාතයෙක්ව ආයෙත් බේරන්න එපා. මට බෑ මගෙ පැංචිට දුක් දෙන්න තවත්. එයාට කිසිම දුකක් නැතිව එයාව පරිස්සමින් තියන්න... මට කියා ගන්න ඕනෙ. ඒත් මගෙ පණ හයිය නෑ ඒ කිසිම දෙයක් කියා ගන්න.

"නැඟිටපන් බං. මේ දාඩියත් දාලා. උඹට මොකද වුනේ...?. දවල් තිස්සෙ කෙල්ල එක්ක රෝන්දෙ ගිහින් දැනුත් කියවනවා. හ්ම්ම්. හ්ම්ම්... නැඟිටපන් ඉතින්..."

මගෙ ඇස් වලට උඩින් දීප්තිමත් එළියක් මං දැක්කා. එක පාරටම ඒ එළිය දරා ගන්න බැරි තැන මං දෑතින්ම ඇස් දෙක වහ ගත්තා. තවත් ටික මොහොතකට පස්සෙ මම මගෙම කකුල් දෙක අල්ලලා බැලුවා. පුදුමයි. මට කිසිම කරදරයක් වෙලා නෑ. ඒත් කොහොමද එහෙම වුනේ. කවුද මාව ඉස්පිරිතාලෙට භාර දුන්නෙ. මේ තරම් සැර එළියක් තියෙන්නෙ ඔපරේෂන් කාමරේ . මට හොඳට මතකයි මං යන්න පුළුවන් උපරිම වේගෙන් යන ගමන් මහ පාර මැද හැප්පුනු වග. ඒත් කොහොමද මට කරදයක් නොවුනෙ. ඒ වෙලාවෙ මම වැදුනු විදියට මෙහෙම තවම පණ පිටින් ඉන්නෙ කොහොමද. ඇස් දෙකට වැටුනු එළිය දැන් හුරු වෙලා. වැඩිය සැරට දැනෙන්නෙ නෑ. හෙමිහිට ඇස් ඇරලා වට පිට බලද්දි මං ඉන්නෙ ඇඳක් උඩ කියලා මට තේරුම් ගියා. මේ ඉස්පිරිතාලෙද. නෑ වෙන්න බෑ. සඳරුවන් අයියා ඇඳේ පැත්තකින් වාඩි වෙලා මා දිහා බලාගෙන ඉන්නවා. කෝ එතකොට මගෙ පැංචි මට දුන්නු පුංචි ටෙඩියා... අම්මා, තාත්තා, කෝ මේ අය. කොහොමද මං මෙහෙට ආවෙ. මට මේ කිසිම දෙයක් තේරුම් ගන්න බෑ.

"මොකද උඹට වුනේ...?" අයියා මගෙ මූණ දිහා බලාගෙන ඇහුවා.

"මං වත් දන්නෙ නෑ සඳේ. උඹ වත් දන්නවද මොකද වුනේ කියලා. මට කිසිම දෙයක් හිතා ගන්න බෑ. මං නදීලගෙ ගෙදරත් ගියා. එයාලගෙ අම්මලා මට පුදුම හිතෙන තරම් හොඳට සැලකුවා. නදී මට ගොඩක් දේවල් දුන්නා. කාමරේටම මාව එක්ක ගිහින් මට තියා ගන්න කියලා එයාගෙ තුරුලෙ හිටිය පුංචි ලස්සන ටෙඩියෙකුත් මට දුන්නා නදී. මං ඒකත් අරං ගෙදර එද්දි තමයි.... අනේ මට තේරෙන්නෙ නෑ බං... කෝ සඳේ මගෙ ටෙඩියා..?"

මට කතා කර ගන්න බෑ. වෙච්චි හැම දෙයක්ම මේ තරම් සුන්දර හීනයක් වුනේ ඇයි සඳේ. ඒ තරම් සුන්දර දේවල් දකින්න මං පිං කලේ හීනෙන් විතරයිද නදී. සඳරුවන් අයියා මගෙ දිහා අනුකම්පාවෙන් බලාගෙන ඉන්නවා. අනේ ඔහොම මා දිහා බලලා මාව තවත් අසරණ කරන්න එපා සඳේ. ඇයි ඒ හැම දෙයක්ම හීනයක්ම වුනේ. මේ තරම් දුරට හීනයක් සුන්දර විදියට ඉඳලා ඇයි ඒ හීනෙදිම මං මැරෙන්න ගියේ. මට කිසිම දෙයක් තේරුම් ගන්න බැහැ.

"උඹ දැකලා තියෙන්නෙ හීනයක් මල්ලි. දවල් තිස්සෙ නදී එක්ක රවුම් ගහලා රවුම් ගහලා මහන්සි වෙලා උඹ මෙහෙට එද්දි හත පහුවුනා විතරයි. මතකයිද උඹට. ඔළුව රිදෙනවා කියලා ආව ගමන් නිදා ගත්තා මතකයිද..? දැන් නමයයි කාලයි. ඒ පැය දෙක තිස්සෙම උඹ ඔය හීනෙ ඉන්න ඇති. උඹ දැකපු හීනෙ ගොඩක් සුන්දර ඇති. ඒත් ඔහොම සුන්දර හීන ගොඩක් ලොකුවට බලන්න යන්න එපා මල්ලි. මං දන්නවනෙ උඹ ගැන. මෙච්චර කල් දැකපු ලොකුම හීනෙ හැබෑ කර ගත්තට පස්සෙත් ඒ තරම් ලොකු හීන දකින්න යන්න එපා. ලොකුම ලොකු හීන බොඳ වුනාම දැනෙන දුක දරාගන්න අමාරුයි මල්ලි. උඹ උඩ පැන්නෙ හඳ අල්ලන්න මල්ලි. ගොඩක් දුක් විඳගෙන උඹ හඳට ලං වුනා. හඳ දැන් එළිය දෙන්නෙ උඹට විතරයි. ඒක ඇත්ත. අද ඉඳන් උඹේ ලස්සන හඳ පායන්නෙ උඹටම විතරයි. උඹ වෙනුවෙන්ම විතරයි. ඒකත් ඇත්ත. ඒත් ඒ හඳ උඹේ අහසට ගන්න එක උඹ හිතන තරම් ලේසි පහසු නෑ මල්ලි. උඹ හඳට අත තියන්න ලං වෙනකොට උඹට ඇහිරෙන්න කළු වළාකුළු මඟ බලාගෙන ඉන්නවා. ඇත්තටම නදී කියන්න හඳක් මල්ලි. උඹේ අහසට ගත්තදාක පණ වගේ පරිස්සම් කර ගනින් නදීව."

මට කතා කරන්න ඉඩක් දෙන්නෙම නැතිව අයියා කියවගෙන ගියා. ඇයි මට මගෙ නදීව මගෙ ලඟට ගන්න බැරි. මොකක්ද මං මේ තරම් කෙරුව පාපකර්මෙ. නදීව ලබන්න මං කොච්චර පිං කලත් වැඩක් නෑ අයියෙ මට නදීව මගෙ ලඟට ගන්න පිනක් නැත්නම්. ඇත්තටම උඹ දන්නවා මං ගැන ගොඩක් දේවල් සඳේ. මගෙ අම්මා තාත්තා පවා නොදන්න දේවල් උඹ දන්නවා මං ගැන. මං නදීට ආදරේ කරන, නදී මගෙන් ඈත් වෙලා හිටිය කාලෙ මං ඇඬුව තරම් උඹ දන්නවා. මතකයිද උඹට. ඒ කාලෙ උඹ කිව්වෙ හැම දෙයක්ම අමතක කරලා මට ජීවිතේ අළුතෙන් පටන් ගන්න කියලා. උඹ විතරක් නෙමෙයි. මගෙ කතාව දන්න හුඟ දෙනෙක් කිව්වෙ එහෙමමයි. පණටත් වැඩියෙන් ආදරේ කරන එයාලත් මට කිව්වෙ මගෙ හා පැංචිව අමතක කරන්න කියලා. ඒත් උඹත් ආදරේ කරන්න පටන් ගත්තම තමයි උඹ තේරුම් ගත්තෙ ආදරේ කියන පුංචි වචනෙ තියෙන බරපතලකම සඳරුවන් අයියෙ. මට හොඳට මතකයි ඒ හැම දෙයක්ම. මං අයියා දිහාවෙම බලාගෙන හිටියා අන්ත අසරණයෙක් ගානට. ඇත්තටම මං අන්ත අසරණයි දැන් සඳේ.

"උඹ මොනාද දැක්කෙ කියපන් බලන්න දැන් පැත්තක ඉඳන්..."

"අනේ මන්දා සඳේ...මට තේරෙන්නෙ නෑ. මං පේරා ගිහින් එන ගමන් එයාලගෙ ගෙදර ගියා එයා එක්ක. නදී මාව එක්කන් ගියෙත් බලහත්කාරෙන් වගේ. මං යන්න බෑ කියද්දිත් නදීගෙ කටේ බලේට තමයි මං යන්න කැමති වුනේ. ගෙදරට යනකම් පාර පෙන්නුවෙත් නදී. මගෙ පිටිපස්සෙ ඉඳගෙන මට තුරුල් වෙලා. ඊට පස්සෙ මං එයාලගෙ ගෙදර මිදුලට ගිහින් යන්න බයෙන් ඉද්දි නදීමයි මගෙ අතින් ඇදගෙන ගේ ඇතුලට ගියේ. එයාලගෙ අම්මලා තාත්තලා මං හිතාගෙන හිටිය තරම් සැර නැහැ සඳේ. හරිම හොඳ මිනිස්සු. එයාලගෙම දරුවෙක්ට වගේ මට සැලකුවා. ඊට පස්සෙ එහෙන් නාගෙන හීතලේ නදීට උම්ම ගොඩාක් දීලා තව පිස්සු ටිකක් නටලා රෑ කෑමත් කාලා ආපහු ගෙදර එද්දි මගෙ බයික් එක ඇක්සිඩන්ට් වුනා. ඒකයි මං අර විදිහට කියෙව්වෙ. මං හැම සතියකටම සැරයක් එයාව බලන්න එන්නම් කියලා පොරොන්දු වෙලා ආවෙ මං සඳේ. මට තාමත් හිතා ගන්න බෑ ඒ හීනයක්ද කියලා. නදීව යක්කලින් දාලා තමයි මං ආවෙ මෙහෙට."


"හ්ම්ම්... ඒක දැන් ගියාවෙ. හොඳ වෙලාවට මෙතන අපේ අම්මලා නොහිටියේ. නැත්නම් උඹට බලන්න තිබුනා උඹේ හීනෙ තරම. අපි දෙන්නටම යන්න තමයි වෙන්නෙ මෙහෙනුත්.මං අම්මලාට කිව්වෙ උඹ ඉන්ටවීව් එකකට ගිහින් රෑ වෙලා මෙහෙ ආවෙ කියලා. දැන් ඒක ශේප්නෙ. උඹ ආව ගමන් නේද තව. පලයන් ගිහින් වොෂ් එකක් දාගෙන වරෙන්. නැත්නම් මටත් වසූරිය හැදෙයි. අනිත් එක අද උඹ ගියේ එසේ මෙසේ ගමනක් නෙමෙයිනෙ. තවම කෑවෙත් නෑ මං. උඹ ඇහැරිනකම් හිටියෙ. අපේ අම්මලත් නිදා ගන්න ගිහින්. මතක ඇතුව ගෙදරට කෝල් එකක් දියන් කරදරයක් නැතුව ආවයි කියලා."

"අනේ පලයං යන්න සඳේ... මේකෙ ඉඳලා වැඩිම වුනොත් මට වසූරිය හැදෙයි. ගෙදරට නම් මං දවාලෙත් කෝල් කලා බං. කමක් නෑ. නාගෙන ඉවර වෙලාම කියන්නම්."

මං බාත්රූම් එකට ගිහින් හිතේ හැටියට නා ගත්තා. නදීලගෙ ගෙදරින් නා ගත්ත එකත් එක්ක දෙසැරයයි අදට. ඒත් මේක නම් හීනයක් නෙමෙයි.මේ හැබැහින්මයි. ඒත් මගෙ නදී... මගෙ හිත වාවන්නෙ නෑ නදී. මං නාගෙන එලියට එද්දි මගෙ නදී මං එනකම් මඟ බලාගෙන හිටිය හැටි, මගෙ පපුවට තුරුල් වෙලා “හ්ම්ම්” කියපු හැටි, මගෙ පපුවට දෙතොල තියලා ගොඩාක් සුවඳයි කිව්ව හැටි, පැනලා දුවන්න හැදුව මාව ආපහු ඇදලා ලඟට ගත්තු හැටි, හා පැටවු ගැන කියද්දි මට රැව්ව හැටි, මට තවමත් ඇත්තටම සිද්ධ වුනා වගේ දැනෙනවා නදී. ඒ අත්දැකීම ඒ තරම්ම සුන්දර විදියට ඔයාලගෙ ගෙදරදිම කාටවත්ම බයක් නැතිව කවදද මට විඳ ගන්න දෙන්නෙ නදී. කවදද ඔයාගෙම නිදියහනට වෙලා මට ඔච්චම් කරන්නෙ. දෑතම තද කරගෙන මූණට එබෙනකොට ඔය මුහුණෙ තිබුනු ලස්සන මට එහෙමම දැක ගන්න ලැබෙන්නෙ කවදද රත්තරං. මගෙ හිත ඉවසුම් නෑ. අනේ මට තව හුඟාරියක් වෙලා ඔයාගෙ ලඟට වෙලා ඉන්න තිබුනා නම් හීනෙන් වත් නදී. දැන් මට දැනෙන පාළුව මට දැනෙන එකක් නැහැ. ඒත් මං ඒ තරම් පිං කරලා නැහැ නදී. අනේ මගෙ තුරුලට එන්නකො නදී.

මිනිත්තු දෙක තුනකින් මට නාගෙන එලියට එන්න පුළුවන්කම තිබුනත් මං උවමනාවෙන්ම මගෙ පැංචිත් එක්ක පැය භාගයක් විතර තනි වුනා. ඔයා ලඟ ඉන්න හැම මොහොතකම මට කිසිම දුකක් පාළුවක් නෑ නදී. මං නාගෙන එනකම් අයියා කෑම මේසෙට වෙලා බලාගෙන කෑම කන්න. පව්. මං හින්දා මේ ගෙදර මිනිස්සුත් බඩගින්නෙ. මං ඒ හදිස්සියේම ගෙදරට කිව්වා දවල් පොඩි ගමනකුත් ගිහින් දැන් ඉන්නෙ යාළුවාගෙ ගෙදර කියලා. මොනා වුනත් මට අම්මට දරුණු විදිහට බොරු කියන්න හිත දෙන්නෙ නෑ. අනිත් එක මම ලඟදිම දවසක මේ පැහිච්චි කෙල්ල ගැන අම්මට හෙමිහිට කියන්න ඕනෙ. ඒ හින්දා ටික ටික අම්මට වුනත් තේරුම් ගියාට කමක් නෑ. අපේ අම්මා නම් ඔයාට කිසිම අකමැත්තක් නැති වෙයි නදී. ඒත් ඔයාලගෙ ගෙදරින්... හ්ම්ම්... ඒ ගැන වෙනමම හිතන්න වේවි නදී අපිට.

“හා හා...ඇති බං ඔය මෙහෙ වරෙන්. මං කනවා ඔන්න.”

බැල්කනියෙ බිත්තියට හේත්තු වෙලා කල්පනා කර කර හිටිය මගෙ දැහැන බිඳගෙන අයියා කතා කලා.මට ඉරිසියයි සඳේ නදීගෙ පුංචි ඇස් දෙකට.ඒ ඇස් දෙක මට හීනෙන් වත් පැය ගානක් මවා ගන්න පුළුවන්.

“මල් කඩනවා නෙමෙයි සඳේ. මම ගෙදරට කතා කලේ. අම්මට කිව්වා ලේලි පොඩ්ඩ එක්ක ඇවිදින්න ගිහින් ටිකක් රෑ වුනා කියලා. අම්මට වුනත් මම දවසක කියන්න ඕනෙනෙ සඳේ. එක පාරටම ඒක කියන්න ගියාම මට ලැජ්ජයි වගේ. මං තවම පොඩි එකානෙ සඳේ.”

දෙතොලට ආපු හිනාව ටිකක් ලොකුවට අරගෙන මං විහිළුවට වගේ කියලා දැම්මා. එහෙම කිව්වා නම් මට ගෙදර යන්න හම්බෙන්නෙ නැහැ සඳේ. මටත් මෙහෙටම වෙලා තමයි ඉන්න වෙන්නෙ එහෙමනම්. ඒත් අයියා ඒක ඇත්තටම පිළි අරගෙන වගේ. ඇස් දෙක ලොකු කරගෙන මගෙ දිහා බලාගෙන.

“අපෝ නෑ නෑ බං. මට පිස්සුයැ එහෙම කියන්න.”

මං හිනා වුනා එහෙම කියලා. මං හිනා වුන හින්දාදෝ මන්දා අයියත් සෑහෙන ආයාසයකින් හයියෙන් හිනා වුනා. ඔහොම හිනා වෙලා ආයිත් මට දුක හිතෙන දෙයක් එහෙම නම් කියන්නෙපා සඳේ. මහ දුකක් දරා ගන්න අමාරුයි මේ හිතට.

“බත් බෙදාගෙන කාපන් මල්ලි. හීනෙ ඉතුරු ටික කාලා ඉවර වෙලා රෑට බලපන්.”

අයියා කෑම කන ගමන් කියනවා. මට නම් බඩගින්නක් නැහැ සඳේ. නදීලගෙ ගෙදරදි කෑම කෑව හින්දා මට දැන් බඩගිනි නැහැ. අපි කොච්චර නම් සතුටින් හිටියද ඔයාලගෙ ගෙදරදි කෑම කනකොට නදී. මගෙ සුදු පැංචි නැතුව මට දැන් ඉන්න බැහැ නදී. හීනෙන් දැකපු හැමදෙයක්ම හැබෑවක් වුනා නම් ටිකක් වත් හිත හදා ගන්න තිබුනා. ඒත්... ඇයි රත්තරං ඒ සුන්දර දේවල් ඔක්කොම හීනයක්ම වුනේ. ඒ හීනෙදි ඔයාට දුන්නු හැම සතුටක්ම මං අනිත් දවසෙ ඔයාට දෙන්නම් නදී.

“අනේ පලයන් බං. උඹට නම් ඉතින් ඔක්කොම විහිළු. ඒ හීනෙ ඉතුරු ටික මං ආයෙ බලන්නෙ නෑ සඳේ. බැලුවොත් මගෙ නදීට මාව නැති වෙනවා. තව ටික වෙලාවක් හිටියා නම් මං මැරෙනවා. මං හිටියෙ ලොරියට යට වෙලා එක කකුලක් කැඩිලා. ඔළුවෙන් ලේ ගලද්දි. ඒ කෙල්ලට මාව නැති කරන්න බැහැ බං. නදීට මං නැතුව ඉන්න බැහැ. බයික් එකෙන් බැහැලා යද්දිත් ගියේ කඳුළු පෙරාගෙන. ඒ අහිංසකීට මගෙ ලඟ කොච්චර වෙලා හිටියත් මදි බං. අනේ මන්දා... පස්සෙ කාලෙකවත් මට රස්සාවක් වත් කරන්න නම් හම්බ වෙන එකක් නෑ. එයාගෙම ලඟට වෙලා ඉන්න වුනොත් එහෙම.”

දවාලෙ නදීට එක එක ඒවා කිව්වා වගේ මම අයියා ලඟදිත් එහෙමම කියලා දැම්මා. මට අරුමයක් දැනුනෙ නෑ. මං ගැන ගොඩක් හොඳට දන්න කෙනෙක්ට එහෙම දෙයක් කිව්වට මගෙ හිතට ඒක මහ ලොකුවට දැනෙන්නෙ නෑ සඳේ.

"අවුලක් නෑ මල්ලි. උඹ වැඩට පලයන්. නදී ගැන ලොකුවට හිතන්න ඕනෙ නෑ. මේ පැත්තෙන්ම ගෙයක් අරගෙන වරෙන් දෙන්නත් එක්ක පදිංචි වෙන්න."

එහෙම කියලා අයියා යන්තමට හිනා වෙන්න ගත්තා. මට නොතේරෙනවා නෙමෙයි සඳේ. ඒත් මං දන්නවා උඹ කවදාවත්ම මට වැරැද්දක් කරන එකෙක් නෙමෙයි කියලා. වෙන එකෙක් ඔය කතාව කිව්වා නම් මං ඌව ඉතුරු කරන්නෙ නෑ සඳේ.

"අනේ පලයං බං. උඹ ඕක කිව්ව හින්දා හොඳයි සඳේ. වෙන එකෙක් එහෙම කිව්වා නම් බලා ගන්න තිබුනා අමිල මල්ලිගෙ ආදරේ තරම..."

"හ්ම්ම්... මං දන්නවා මල්ලි. උඹ වගේම ඒ කෙල්ලත් උඹට ගොඩක් ආදරේ ඇති. ඒත් මල්ලි පරිස්සමින්. බුදුන්ටත් ගල් පෙරළුව එකේ උඹලට හරස් කපන්න හුඟක් දෙනෙක් බලාගෙන ඉන්නවා. උඹ දන්නවද නදීලගෙ ගෙදර විස්තර."

කවුද අපිට හරස් කපන්න ඉන්නෙ අයියෙ. මට හිතා ගන්න නම් බැහැ. ඒත් මං දන්නවා. එලිපිටින් නැති වුනාට දිය යටින් ගින්දර ගෙනියන එවුන් නම් ඇති. මං නදීලගෙ පවුලෙ විස්තර, නදීගෙ විස්තර මම දන්න විදියට අයියට කිව්වා. මං දන්න විදියට නදී නම් බොරු කාරියෙක් නෙමෙයි සඳේ.

“හ්ම්ම්... නදී උඹට ආදරේ කරන්නෙ නම් ඇත්තට වෙන්න ඇති. ඒත් එයාලගෙ අම්මලා උඹ හිතාගෙන ඉන්න තරම් අහිංසක මිනිස්සු නෙමෙයි මල්ලි. එයාල හරිම සැරයි. මං හිතන්නෙ නෑ නදී එයාලගෙ කීමට පිටින් යාවි කියලා. ඒ තරම් නදී එයාගෙ අම්මලාට බයයි මල්ලි. අනිත් එක උඹත් එක්ක ඇවිදින්න පණ්ඩිතයා වගේ ආවට නදී තවම පුංචි කෙල්ලෙක්නෙ මල්ලි. හැමෝගෙම හොඳට නදීලගෙ අම්මලා උඹට කැමති වුනොත් නම් හොඳයි. ඒත් ඒක එහෙම නොවුනොත් මල්ලි...?. මොකද උඹ කරන්නෙ..?.”

මම කොහොමද උඹට උත්තර දෙන්නෙ සඳේ. ගොඩාක් දුර හිතන්න මට දැන් බැහැ. ඒත් මං උත්තරයක් දෙන්නම ඕනෙ දැන් උඹට. මට පුළුවන් වේවි සඳේ නදීව මං හිතං ඉන්න විදියටම කිසිම කරදරයක් නැතිව මගෙ ලඟට ගන්න.

“මට නදීලගෙ අම්මලාව කැමති කර ගන්නම වෙනවා සඳේ. එහෙම නොවුනත් මං ගෙදර අයගෙ කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි මගෙ නදීව මගෙ ලඟට ගන්නවා. නදීට මාව නැතිව ඉන්න බෑ සඳේ. මටත් ඒ කෙල්ල නැතුව දැන් හුස්මක් වත් ගන්න බෑ. ඒ තරම් අපි අපිට ආදරෙයි. ඒක උඹ දන්නවනෙ. දවසක මගෙ ගෙපැලට නදීට එන්න වෙන්නෙ ගෙදර අයගෙ අකමැත්තෙන් එන්න වේවි කියලා මගෙ හිත දැන් කියනවා සඳේ. අනේ මන්දා... හොඳින් කරන්න බැරිම වුනොත් මට නරකින් වත් කෙරෙන්න ඕනෙ දේ කරන්නම සිද්ධ වෙනවා සඳේ. කවදාවත්ම මගෙ කෙල්ලට නරකක් වෙන්න ඉඩක් තියන්නෙ නෑ මං. ගෙදරින් අකමැතියි කියලා, වෙන කොල්ලෙක්ට එයාව දීලා මගෙ හිත හදා ගන්න මට බෑ සඳේ. නදීටත් එහෙම ඉන්න බෑ. එහෙම වෙන කෙනෙක්ට එයාව දීලා අත පිහිදගන්න, මං වෙස්සන්තර නෙමෙයිනෙ සඳේ. එයා මහ මෙර උඩ ඉඳන් පහලට පැන්නත් මං ඉන්නවා මගෙ පැංචිව අල්ලගන්න මහ මෙර පාමුලට වෙලා. ඇත්තමයි සඳේ...”

අගක් මුලක් නැතිව මම එක දිගට කියෝගෙන ගියා. මට මේ වචන නවත්තන්න කිසිම අයිතියක් නෑ. මේ එලියට පනින්නෙ මගෙ හා පැංචි වෙනුවෙන් මගෙ හිත පුරාවට අකුරින් අකුර එකතු වෙලා ලියැවුන අපමණක ආදරේ. මම මහ බොලඳ කොල්ලෙක් වෙලා ඇති. ඒත් මම කියන්නෙ සහතික ඇත්ත සඳේ. සඳරුවන් අයියා මගෙ දිහා බලාගෙන ඉන්නවා. ඒ බැල්ම මට කියන්නෙ “උඹට පුළුවන්ද ඔය ඔක්කොම කරන්න” වගේ අරුතක්. ඔව් සඳේ. මට පුළුවන්. එක සැරයක් වත් නදීගෙ ලඟට ලං නොවී එයාගෙ ලඟට හැබැහින් යන්නෙ වත් නැතිව මා ගැන ඒ හිතේ ඔය තරමක ආදරයක් මවා ගන්න මට පුළුවන් වුනා නම්, ඇත්තටම කිව්වොත් මේ එන්නෙ මට අභියෝග නෙමෙයි සඳේ. මට පුළුවන් ජීවිතේ දිනා ගන්න. ඉස්සර වගේ මං තනියෙන් නෙමෙයි දැන් ඉන්නෙ. නදී ඉන්නවා. උඹ ඉන්නවා. තව අපි ගැන දන්න ගොඩක් දෙනෙක් ඉන්නවා. උඹලා හැමෝම ඉන්නකොට ඇයි සඳේ මං බය වෙන්නෙ.

“ආ... මල්ලි ඒක නෙමෙයි...? දැන් උඹ දන්නවද නදීලගෙ අම්මලාගෙ විස්තර..?”

*******************



*ආදරණීය_නදී_(4 කොටස )


"පුතා එනකම් තමයි අපි බලාගෙන හිටියෙ.එන්න පුතේ..."

නදීලගෙ තාත්තා පුදුම සෙනෙහසකින් කතා කලේ.මේ තරම් සුන්දර මිනිස්සුන්ට අම්මෙ තාත්තෙ කියන්න අපි කොයි තරමක් නම් පිං කරන්න ඇතිද නදී.අම්මට වගේම මං තාත්තා ලඟටත් ගිහින් දෙපා අල්ලලා වැන්දා.මේ වගේ දයාබර මිනිස්සු ලඟ මොන තරම් වැඳ වැටුනත් පාඩුවක් නම් වෙන්නෙ නෑ නදී.සැටියට වෙලා මං හරි බරි ගැහිලා ඉඳගෙන හිටියෙ නදීත් එනකම්.

"තේ එක බොන්න පුතේ.දැන් ගොඩක් වෙලානෙ හදලා."

"තව ටිකකින් නදීත් ආවම බොමු තාත්තේ..."

මට නදීත් ඉන්න ඕන තාත්තේ.නදීගෙ වහල යට නදී නැතිව දැන් මගෙ උගුරෙන් පහලට මුකුත්ම ගිල ගන්න බැරි වේවි මට.

"අපේ දඟමල්ල නාගන්න ගියාම එන්නෙ පැයකට විතර පස්සෙ පුතේ.පුතා ඒවා දන්නෙ නෑනෙ.එයා එනකොට තේ එක හොදටම හීතල වෙලා තියේවි.එයා එනකම් පුතා බොන්න.අනික පුතාට කියන්න පුතා නොදන්න ගොඩක් දේවල් තියෙනවා අපේ ජීවිත වල පුතේ..."

මම තේ එක අතට ගත්තා.නදී එද්දි ඇත්තටම පරක්කු වෙන්නත් ඉඩ තියෙනවනෙ.කිව්වත් වගේ නදී මහ දඟ මල්ලක්නෙ.ඒත් මට හිතා ගන්න බෑ නදීලගෙ තාත්තා කියන්න යන දේ.ඒත් ඒක මම දැන ගන්න ඕන දෙයක් නම් දැන ගන්නම ඕනනෙ.

"මොකක්ද තාත්තෙ ඒ කතාවෙ තේරුම...?" මං ලොකු උවමනාවකින් වගේම ලොකු කුතුහලයකින් ඇහුවා.

"මේ කියන දේවල් අහලා පුතා කලබල වෙන්න එපා.අම්මයි මායි දැන් කතා කලේ මේවා පුතාම දැන ගන්න කලින් අපිම කියන්න.නැත්නම් පස්සෙ කාලෙක පුතා හිතයි අපි මේවා හිතලම පුතාලට හැංගුවා කියලා."

මොනාද මේ තරම් කියන්න වටින දේවල් තියෙන්නෙ මෙහෙ දෙයියනේ.මගෙ හිතට හරි නෑ.

"කමක් නෑ තාත්තෙ කියන්නකො.මම ඒවා දැන ගන්න ඕන නම් කවදාහරි දැන ගන්න ඕනනෙ."

"ඉස්සර වෙලාම පුතේ කියන්නකො පුතා අපේ දුවට ආදරේ කරන්නෙ ඇත්තටම අවංකවමද කියලා...?.අපි දෙන්නට ඉන්නෙ
එකම එක දරුවෙක් විතරයි පුතේ.උණහපුළුවාට උගෙ පැටියා මැණිකක්ලුනෙ පුතේ.අපි මේ තරම් කාලයක් රැක ගත්ත අපේ පුංචි කෙල්ල පුතාට හැමදාම රැක ගන්න පුළුවන්ද කියලා කියන්නකො."

දෙයියනේ.මේ මොනාද කියන්න හදන්නෙ මේ දෙන්නා.මගෙ හිතට ඉවසුම් නෑ.නදීව මට මැණිකකටත් වැඩියෙන් වටිනවා තාත්තේ.

"ඔව් මං නදීට ආදරේ කරන්නෙ ඇත්තටමයි තාත්තෙ.මම නදීට ආදරේ කරන්න පටන් ගත්තෙ එයාව දකින්නත් කලින් ඉඳන්මයි.එතකොට මං නදීගෙ ලස්සනක් වත් ගෙවල් දොරවල් ගැන වත් කිසිම දෙයක් ගැන වත් දන්නෙත් නෑ.පලවෙනි වතාවට අපි අපිව හැබැහින්ම දැක ගත්තෙත් අද තමයි.මං පොරොන්දු වෙන්නම් තාත්තෙ.මට පුළුවන් උපරිමෙන් මගෙ මැණිකව පරිස්සම් කර ගන්නවයි කියලා."

ඉස්සරහට වෙන්න තියෙන්නෙ මොනා උනත් මං අවංකවම හිතට ආපු දේ ඒ විදියටම කිව්වා එයාලට.ඊට පස්සෙ නදීලගෙ තාත්තා කීව දේවල් අදහා ගන්න තරමට මං ඉගෙනගෙන තිබුනෙ නෑ.දරා ගන්න මොන තරම් අපහසු උනත් මං ඒ හැම දෙයක්ම අපේ ආදරේ වෙනුවෙන් අමාරුවෙන් දරා ගත්තා.මං මගෙ ජීවිතේ ඔයාව ලබන්න මොන තරම් පිං කන්දරාවක් කරන්න ඇතිද නදී.ඔය තරම් ලස්සනක් ලබා ගන්න, විඳ ගන්න...අනේ මට හිතා ගන්න බෑ මං කොයි තරම් වාසනාවන්තයිද කියලා.ඒ වගේම ඔහොම ලස්සනක් ලබන්න ඔයත් පිංකම් මහ ගොඩක් කරන්න ඇති.ඒත් ඒ තරමටම ඔයා මේ සංසාරෙ පුරාවට මොකක් හරි මහා පාපකර්මෙකුත් කරන්න ඇති.මං කොහොමද මේ දේවල් විශ්වාස කරන්නෙ නදී.ඒක ඇත්තටම එහෙමම වෙන්න පුළුවන්ද.කමක් නෑ නදී.මට මගෙ ලෝකෙ ජීවත් කර ගන්න ඔයා ඇති.මං ඔයාව පරිස්සම් කර ගන්නවා මගෙ ජීවිතේ තියෙනකම්ම.සත්තයි.අපි අදහන දෙවියොත් මේ ලෝකෙ ඇතිනෙ නේද නදී.

නදීලගෙ අම්මයි තාත්තයි කිව්ව දේවල් අහගෙන මං පැය බාගයක් වත් ඉන්න ඇති.මගෙ ඇස් දෙකට කඳුළු පිරුනා වගේ මට මතකයි.නදී තාමත් නෑ.මගෙ නදීට මේ කඳුළු පෙන්නන්න බැහැ.කවදාවත්ම මේ කඳුළු පෙන්නන්නෙ නැහැ.මගෙම හිතට මං දිවුරලා පොරොන්දු උනා.

"අපි මේවා කිව්වා කියලා නදීට කියන්න එපා පුතේ.අපි පුතාට කැමැත්ත දුන්නෙත් කෙල්ලගෙ හිත දුකෙන් තියෙනවට අපි කැමති නැති හින්දා.ඒ විශ්වාසෙ පණ වාගෙ රකින්න පුතේ."

"මං පොරොන්දු වෙනවා තාත්තේ...මගෙ පණ වාගෙ මං නදීව බලා ගන්නවා."

නදීලගෙ තාත්තට කතා කර ගන්න බැහැ.ඇඬුම් එනවා.ඊට වැඩි දෙයක් කියන්න මට ලැබුනෙ නෑ.නදී බාත්රූම් එකේ ඉඳන් පහලට එනවා ඇහුනා.මං කඳුළු කැට පිහිදා ගත්තා.

"ආ හුම්ම් හුම්ම්...තේ ටික බිව්වද...?"

ඔයා දඟකාර කතා කිව්වට අපි ජීවත් වෙන මේ ලෝකෙ මොන තරම් නම් නපුරුයිද නදී.ඔයා වෙනුවෙන් අපේ ආදරේ වෙනුවෙන් අද ඉඳන් ඔයාගෙ ආත්මෙ ජීවත් වෙන මේ ලස්සන ශරීර කූඩුවට මම වෛර කරනවා නදී.මට සමා වෙන්න දහස් වාරයක්.

"හ්ම්ම්..."

හිතට දැනුන දුක මහ මෙරක් තරම් ආදරෙන් යට කරගෙන මමත් අපේ බකමූනු භාෂාවෙන්ම බකමූනිට ඔව් කිව්වා.නදී කොන්ඩෙ තෙත වේලන ගමන්ම මගෙ ලඟට ඇවිදින් මගෙ ඇඟේ ගෑවෙන නොගෑවෙන තරමට ලං වෙලා ඉඳ ගත්තා.ඔයා හදන්නෙ මාව නරක ලමයෙක් කරන්නමයි නදී.මේ හිරිගඩු පිපෙන හීතලේ කොහොමද ඔහොම දුහුල් ඇඳුමක් ඇඳන් ඉන්නෙ නදී.අම්මලා ඉන්නවා කියලා එයාට ගානක් වත් නෑ.මං දන්නවා.එයාලට මාව විශ්වාසයි දැන්.

"බකමූනා..." නදී මගෙ කනට ලං වෙලා රහසින් කිව්වා.

"පිස්සි...මේ තේ ටික බොන්න එන්න නදී.මං බිව්වෙත් නෑ ඔයා එනකම්."

"අනේ.....දන්නෙ නැද්ද බකමූනියෝ ගොඩක් වෙලා නානවා කියලා.සොරි අමිල අයියෙ.ඇත්තටම තේ බිව්වෙ නැද්ද ඔයා...?"

"මං නම් බිව්වා නදී.ඒත් ඔයාගෙ එක කූල් වෙනවා තාමත්."

ඇත්තම කිව්වා මං.ඔයාට දැන් නිකමට වත් රිද්දන්න මට හිතෙන්නෙ නෑ නදී.අපිට කතා කරන්න ඉඩ දීලා නදීලගෙ අම්මයි තාත්තයි හෙමිහිට අයින් වෙලා යන්න ගියා.


"අම්මි...මෙයා මේ කන්නෙත් නැතුවම යන්න හදන්නෙ.ඉක්මනට හොඳට මිරිස් ගම්මිරිස් ගොඩක් දාලා රෑ කෑම හදන්නකෝ."

නදී ඒ පාර දුකක් නැතුවම මගෙ ඇස් දෙකෙන් කඳුළු ගන්න හදන්නෙ.ඒව කොහෙද මාත් එක්ක.

"අනේ අම්මෙ එක්කොත් මං ගෙදර ගිහිල්ලම කන්නම්."

කුස්සිය පැත්තට ගිය නදීලගෙ අම්මට මං හිනා වෙවී කිව්වා.අම්මටත් හිනා යනවා මං බලාගෙන.මේ කෙල්ල නම් මිනිස්සුන්ගෙ හිතට සතුට දෙන්න උපන් හපනියක්.

"ඇයි ඒ...යන්න දෙන්නෙ නෑ ඔයාට මෙහෙන් අද කන්නෙ නැතුව නම්...ගිහින් තිබුනොත් එහෙම බලා ගන්න පුළුවන්."

"හරි මං දුවගෙන ගිහින් බයික් එකට නැඟලා යන්න ගියොත්...?" මං ඇහුවා.මට පැරදිලා පුරුද්දක් නෑ නදී.

"එහෙම යන්නෙ බයික් එකේ කී එක ඔයා ලඟ නම් නේ...ඒක දැන් මගෙ ලඟනෙ බකමූනො..."

දෙයියනේ.ඔයා ඒකත් හොරකම් කරාද මගෙන්..?.මේ කෙල්ල මං නාගෙන එනකොට තමයි එහෙනම් ඒකත් අරගෙන තියෙන්නෙ.ටොක්කක් අනින්න වටින්නෙ ඔයාට නදී.

"හොර කෙල්ල...හරි නරකයි.තව මොනා ගත්තද දන්නෙ නෑ මගෙන්."

මං කිව්වෙ ඇත්තටම.මේ කෙල්ල මගෙ මොන මොන දේවල් අරගෙනද දන්නෙ නෑ.බයෙත් බෑ ඔයා එක්ක ඉන්න නදී.හොරකම් කරන හැමදේම තියාගෙන ඉන්නෙපා නදී.මගෙ හදවත වාගෙ හැම දෙයක්ම ඔයාගෙ ලඟින්ම තියාගෙන ඉන්න එපා.මං සැටියට වෙලා හොඳට හාන්සි වුනා.අද ඉතින් කන්නෙ නැතුව ගෙදර යන්න දෙන්නෙම නෑනෙ මේ කෙල්ල.නදීත් දවාලෙ වගේම දැනුත් මට තුරුල් වුනා.අනේ නදී අම්මලා දකීවි.අපි මෙහෙම ඉන්න එක කොහොමටත් හොඳ නෑනෙ.

"ම්ම්...ඒක නෙමෙයි නදී.මොකක්ද හලා ගත්ත ප'ෆියුම් එක..?"

ඒ සුවඳ මට ඒ තරම් වටින්නෙ නෑ නදී.ඒත් ඒ සුවඳ ඔයා හලාගෙන තියෙන්නෙ පපුවට.හරියට කූඩු කරලා හිර කරලා හිටිය හා පැටව් ජෝඩුවක් ටික වෙලාවකට නිදහස් කරලා වාගෙ.මට ආසයි තව ටිකක් ලං වෙලා ඔය සුවඳ විඳින්න නදී.තව ටිකක් මගෙ තුරුලට එන්නකො.අවසරයිද තව චුට්ටක් ලං වෙන්න ඔයාට..?

"ඇයි...ඒ තරම් සුවඳයිද..?"

"හ්ම්ම්...ගොඩාක් සුවඳයි.ඒත් මං ආස ඒ සුවඳට නෙමෙයි පැටියො."

"එහෙනම්..?"

"ඒ සුවඳ එන දිහාවට .ඔයා පුංචි හා පැටවු දෙන්නෙක් නිදහස් කරලා." නදීට තේරුම් ගන්න අමාරුයි.මං යාන්තමට හිනාවුනා.

"ආ...ඒක තමයි මේ...අගේ කරන්න ගත්තෙ...කපටියා...හොරගෙඩියා..." නදී හිනා වෙනවා.

"අනේ පැටියො.ආයිත් කවදා එන්නද අද වගේ දවසක්.තව ටිකක් ලඟට එන්නකො"

"බෑ.එන්නෙපා ලඟට.මං කෑ ගහනවා අම්මිට ඇහෙන්න හැබැයි."

ඔයා නම් හරි නරකයි නදී.හරියට ඔයාට වියදමක් යනවා වගේ.ඉස්සර වෙලා බාත් රූම් එක ලඟදි දැක්කට වැඩිය ලස්සනයි ඔයා දැන්.මං දුක දෝරෙ ගලන මූණක් හදා ගත්තා.දෙයක් කරද්දි උගුලෙන් බැරි වුනාම හබකෙන් වත් කර ගන්න තරමක උවමනාවක් මට තිබුනා.

"ඇයි ඒ තරම් හා පැටවුන්ට ආස..?" නදීට දුක හිතිලා වගේ.

"මං ඔය තරම් ලස්සන හා පැටවු දැකලම නෑ.කොහොමටත් ඔහොම පැටවුන්ව දැකලම නෑ පැටියො."

"බෑ බෑ...වටින කියන දේවල් හංගගෙන ඉන්න ඕන.මට අමතක වෙලා හිටියෙ ඒක.ඉන්නකො මං ඒ පැටවු දෙන්නව ආයිත් හිර කරලා එන්නම්.එතකොට හරිනෙ."

"යන්න දෙන්නෙ නෑ මං."

නදී නැගිටින්න ලෑස්ති වුනත් මං නදීට යන්න දුන්නෙ නෑ.මගෙ හිත අද කවදාවත් නැති තරමට බොලඳ වෙලා.පොඩි එකෙක් ගානට ඔහේ කියවන්න පටන් අරගෙන.මං අන්ත අසරණයෙක් ගානට බලාගෙන හිටියා.නදී අඬන්න කඳුළු හොයනවා.දවල් ඉබේම කඳුළු ආවත් දැන් බේතකට ගන්න වත් එක කඳුළු පොදක් නෑ ඇස් දෙකේ.

"අනේ අම්මිලා ආවොත් අමිල අයියෙ.අපි දෙන්නම ඉවරයිනෙ."

"අම්මි එන්නෙ නෑ.අනේ නදී..."

"බෑ බෑ...තව ටිකක් කඳුළු එන්න හයියෙන් අඬන්න.එතකොට එන්නම්."

නදී හිනා වෙවී කියනවා.අනේ දැන් උවමනාවෙන් අඬන්න බෑ නදී.දවල් ඔයා මාව අඬවලා අඬවලා මගෙ කඳුළු උල්පත් ඔක්කොම හිඳිලා ගිහින් නදී.

"එහෙම කොහොමද අඬන්නෙ..?.හැබැයි මං දැන් නපුරෙක් වෙන්න කලින් මගෙ ලඟට එනවද නැද්ද...?"

මං ටිකක් දරුණු මූණක් මවා ගත්තා.එහෙම වත් දෙයක් කෙරෙයිද බලන්න.අනේ නදී.මං මහ දෙයක් ඉල්ලුවේ නැහැනෙ.චුට්ටි දෙයක්නෙ.අද දවල් වාගෙ මට තුරුල් වෙන්නකො එක සැරයක්.මං නදීව ලං කර ගත්තා මගෙ ලඟට.

"අම්මියෝ....මෙන්න මේ බක........"

"ඒයි...කෑ ගහන්නෙපා පිස්සි..අම්මිලා දුවගෙන ඒවි..." මං නදීගෙ කට අතින් තද කර ගත්තා.

"අපෝ...මහ ලොකු පණ්ඩිතයා.චුට්ටක් ඇත්නම් බයයි.වැඩක් නෑ.."

"ආ එහෙමද හිතන් ඉන්නෙ..?.ම්ම්..?..ඔයා දන්නෙ නැහැ මේ බකමූනගෙ තරම තවම.හා පැටවු දෙන්නා දුවයි උඩින්."

මට දැන් හිතේ තියන් ඉන්න කිසිම දෙයක් නැහැ.අම්මි කෑම ලෑස්ති කරනකම් කරන්න දේකුත් නැහැනෙ.මං හිනා වෙවී හිතට එන දේ කියලා දැම්මා.

"ආ ඇත්තට..?.එහෙම දුවලා යන හා පැටවුනුත් ඉන්නවද එතකොට..?.අපි නම් එහෙම නැහැ.අපිත් එක්ක ඉන්න හා පැටවු දුවලා හැංගෙන්නෙ නැහැ.අපිත් එක්කම ඉන්නවා."

"මං කොහොමද දන්නෙ ඒක..?.අපිට දකින්න වත් නැහැනෙ හා පැටව් ඔය වගේ.දුවන්නෙ නැත්නම් හොඳයිනෙ ගොඩක්."

"මට උම්මා එකක් ඕනෙ..." සද්දයක් නැතිවම ඉඳලා ටික වෙලාවකට පස්සෙ නදී කිව්වා.කවුරු හරි දැක්කොත් නදී.

"අම්මි ආවොත්..?"

"අම්මි දැන්ම එන්නෙ නෑ බකමූනො.."

"පුතේ කෑම ලෑස්තියි.නදී ඉක්මනට ඔය දරුවට යන්න දෙන්න ලමයො.කීය වෙනකම් යන්න කියලද."

නදීට කියලා කට ගන්න ඉඩක් ලැබුනෙ නෑ.පව් කෙල්ලට දුක හිතුනා ගොඩක් ඒ වෙලාවෙ නම්.ලොකු හුස්මක් හෙළුවා.මොකක් කරන්නද නදී ඉතින්.මං මගෙ නදීට යන්න කලින් උම්මා එකක් දීලා යන්නම්කො.එතකොට හරිනෙ.යද්දි කීයට නම් රෑ වෙයිද දන්නෙ නෑ තමයි අම්මෙ.මේ කෙල්ල මට යන්න දෙන්නෙ නෑ.අද ගෙදර ගියාම තමයි මේකෙ හොඳම හරිය තියෙන්නෙ.අම්මා දැනටමත් ප්‍රශ්න දෙතුන් සීයක පේපර් එකක් ලියලා ඇති.තවත් රෑ වෙද්දි කොච්චර නම් ලියාවිද තව.

"එන්න බකමූනො කෑම කන්න.අද ඔයාට අම්මි හොඳ මිරිස් ගුලියක් අඹරලා ඇති.හොඳම වැඩේ."

නදී එක පාරටම මගෙ ලඟින් නැඟිටලා මගෙ අතින් අල්ලගෙන මාව නැගිට්ටනවා.ඉන්න නදී චුට්ටක්.මට ඔයා ගොඩක් ආදරෙයි නම් මගෙ දුකින් සැපෙන් බාගයක්ම ඔයාටත් දෙනවනෙ මං.මං ටික වෙලාවක් සද්ද නැතුව හිටියා.නදීට මිරිස් ගැන අමතක වෙනකම්.

"නදී..?"

"ම්ම්..?"

"ඔයා මට ගොඩාක් ආදරෙයි නේද..?"

"ඇයි එහෙම අහන්නෙ අමිල අයියෙ..?"

නදීට මං එහෙම ඇහුවම ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා.ඒකෙ ඇති වැරැද්දකුත් නැහැ එක අතකට නදී.බැරි වෙලාවත් මිරිස් ගුලියක් තිබුනොත් හෙම මං අද ඔයාට ඒකෙන් බාගයක්ම කවනවාමයි.ඉන්නකො මං ඔයාගෙ කටින්ම කැමැත්ත ගන්නම්.

"අපි අපිට ගොඩාක් ආදරෙයි නම් අපිට ලැබෙන හැම දුකකදි සතුටකදිම අපි දෙන්නම ඒක බෙදා හදා ගන්නවා කියලා ප්‍රොමිස් වෙන්න මට හොඳ ලමයා වගේ.ප්ලීස්..."

"ප්‍රොමිස් අමිල අයියෙ.ඒත් ඇයි එහෙම ඇහුවෙ හදිස්සියේම..?." නදීට තේරුනේ නෑ මං කියන්න හදන්නෙ මොකක්ද කියලා.

"හොඳ වැඩේ කෙල්ලට.දැන් ඔයා ප්‍රොමිස් උනානෙ.මට අම්මි මිරිස් ගුලියක් හදලා තිබුනොත් ඔයාටත් මම ඒකෙන් බාගයක් කවනවා දැන්.ඔයාමයිනෙ කිව්වෙ හැම දුකක් සතුටක්ම බෙදා ගන්නවයි කියලා."

මං හිනා වෙවී කිව්වා රටක් රාජ්‍යයක් දිනා ගත්ත ගානට.

"හරි නරකයි...කපටියා..නපුරා...මං තරහයි ඔයා එක්ක.තරහම තරහයි.." පව් නදීගෙ මූණ අඳුරු වෙලා ගිහින්.

"අනේ ඉතින් විහිළුවක්නෙ කලේ නදී.කෝ ඉතින් හිනා වෙන්න දැන්."

නදී බොරුවටමයි ගොඩක් වෙලාවට මාත් එක්ක තරහ වෙන්නෙ.ඔයාට ඕන මං ඔයාගෙ ලඟ තොඳොල් වෙනව බලන්න.ඒක කිව්ව ගමන් නදී අපූරුවට හිනා වෙලා මාත් එක්ක කෑම මේසෙ ලඟට ගියා.කෑම ටික වත් නිදහසේ කන්න දුන්නෙ නෑ මගෙ නදී මට.එතනත් එයාට සෙල්ලම් පිටියක් වගේ.කෑම කන ගමනුත් කෑම ටික උගුරෙ හිර වෙනකම් අපි තුන් දෙනාවම හිනස්සන්න ඔයා හරිම දක්ෂයි නදී.මං දැක්කා ඔයාගෙ අම්මයි තාත්තයි හොඳටම හිනා වෙනවා.මෙහෙම හිනා වෙන්නත් නදී හිනා වෙලා ඉන්න දවසක් එන්න ඕනනෙ නේද අම්මෙ.මං පොරොන්දු වුනා වගේ මගෙ නදීව හැමදාමත්ම සතුටින්ම තියන්නම් අම්මෙ.හැමදාමත්ම.

මං ආපහු ගෙදර එන්න ලෑස්ති වුනා.අම්මටයි තාත්තටයි වැඳලා මං එයාලගෙ මූණ දිහා බලද්දි එයාලා දෙන්නම දුකෙන් මං දිහා බලාගෙන.දුක් වෙන්න එපා අම්මෙ.මං මගෙ නදීව පරිස්සමින් තියා ගන්නම් හැමදාමත්.මං වෙච්චි පොරොන්දු කඩ කරන්නෙ නැහැ අම්මෙ.

"මේ තරම් දුක් විඳලා මේ තරම් ලස්සනට නදීව පරිස්සම් කරලා ඔයාලගෙ ඇස් දෙක වාගෙ ඉන්න මේ පුංචි කෙල්ලව මටම දුන්නට ඔයාලට ගොඩාක් පිං අම්මෙ.මට ස්තූති කරන්න වචන මදි අම්මේ."

මට ඒක කියා ගන්න බැහැ.නදී ඉස්සරහත් කඳුළු එන මගෙ ඇස් දෙක මේ වගේ වෙලාවක නිකම් තියෙන්නෙ නැහැනෙ.අම්මලා මුකුත්ම කිව්වෙ නෑ.නදී ඒ හදිස්සියේ මට කාමරේට යන්න කතා කරනවා.මං පරක්කුයි දැනටමත් ගොඩක් නදී .

"අමිල අයියෙ එන්නකො චුට්ටක් මාත් එක්ක.ඔයාට පොඩි බඩ්ඩ්ක් දෙන්න තියෙනවා.එන්නකො ඉක්මනට."

"බඩ්ඩක්..?."

කොහෙටද මාව එක්ක යන්නෙ මේ.මොන එකකට එක්ක යනවද මන්දා මේ කෙල්ල මාව.හෙමිහිට යමු නදී.වැටුනොත් හෙම අපි දෙන්නම බිම.මට යන්න වෙන්නෙ ගෙදර නෙමෙයි.ඉස්පිරිතාලෙට.නදී තරප්පු පෙල දිගේ මාවත් ඇදගෙන උඩ තට්ටුවට දිව්වා.
එක දෙයක් නම් මට විශ්වාසයි හොඳටම.නදී මට හාදුවක් නම් දේවි මොනා නැතත්.ඔයාගෙ කාමරේ නම් හරිම පිළිවෙලයි නදී.ඔයා වගේමයි.කාමරේ ඇතුල හරිම සුවඳයි.මගෙ කාමරේ හෙම දැක්කොතින් ඔයාට මාව එපා වෙයි නදී.ඔයාටම තමයි ඒක දවසක පිළිවෙලකට අහුරන්න වෙන්නෙ.

"මේ ඉන්නෙ ඔයා.හැමදාමත් රෑ තිස්සෙ මගෙ තුරුලෙ හිටිය පිස්සා..."

නදී එයාගෙ ඇඳේ හිටියෙ ලස්සන පුංචි ටෙඩියෙක් අතට අරං පෙන්නලා මට කිව්වා.ඇත්තමයි එයා නම් මං වගේමයි නදී.මං වගේම පිස්සු මූණක් තියෙයි එයාටත්.ඇස් දෙක නම් ගොඩක් ලස්සනයි.

"කොහෙන්ද මෙයාව ගත්තෙ..?.ලස්සනයි ඇත්තටම නදී." මං නදීව අගේ කලා.

"ෂොපින් ගියාම ගත්තෙ.අපේ අම්මි තමයි තේරුවේ."

ඔයාලගෙ අම්ම මාව දැනගෙන හිටියාවත්ද මන්දා නදී.අම්මගෙ තේරිම නම් නියමයි.

"එයාව මෙච්චර කල් මගෙ ලඟින් තියාගෙන හිටියා වගේ අද රෑ ඉඳන් ඔයාගෙ ලඟින් තියා ගන්න.මං මෙයාට ගොඩක් ආදරෙයි."

නදී එහෙම කියලා පුංචි ටෙඩියව ආදරෙන් පපුවට තුරුල් කර ගත්තා.අනේ මටත් ඔය පපුවට තුරුල් වෙන්න තිබුනා නම් ඔය වගේම නදී.හිත දඟලනවා ඔයාට ලං වෙන්න.ඒත් මං ඉඩ දුන්නෙ නෑ.

"ප්‍රොමිස් නදී...මගෙ පුංචි ටෙඩී පැටික්කිව මතක් වෙන්න මං එයාව තියා ගන්නම්.ඒත් එතකොට ඔයාට එක්කෙනෙක්..?"

ඔයාගෙ ලඟින් හිටිය කෙනාව අරගෙන මම ගියාම ඔයා තනි වෙනවනෙ නදී.ඔයාට මාව මතක් වෙන්න කවුරුත්ම නෑනෙ එතකොට.

"මට ඉන්නවනෙ මේ ටෙඩියා.එයා ඇති මට හැමදාමත්ම..."

නදී ඇස් දෙක පියාගෙන මගෙ ඇඟට තුරුල් වුනා.අම්මලා බලාගෙන ඇති නදී අපි එනකම්.වැඩි වෙලාවක් මෙහෙම ඉන්න බැහැ පැටියො.නදී මාවත් ඇදගෙන ඇඳට බර වුනා.ඔයා මොනාද මට කරන්න හදන්නෙ නදී.මට එපා කියන්න තරම් හිතක් නෑ.මමත් බර වුනා නදීට නොරිදෙන තරම් ලඟට.මං මහ වල් කොල්ලෙක් ගානට නම් හිතන්නෙපා නදී.ඒත් මං හරි ආසයි මෙහෙම දේවල් මතක හිටින්න තරම් ලස්සනට විඳ ගන්න.මං නදීගෙ අත් දෙක ඇඟ දෙපැත්තට කරලා තද කරගෙන එයාගෙ මූණට එබුනා.

"මොනාද මේ කරන්න හදන්නෙ බකමූනො..?"

නදීට බය හිතිලා.මලට ලං වෙන සමනළයෙක්ගෙන් අහන්න වටින කතාවක්ද නදී ඔය ඇහුවෙ ඔයා.

"මං ඔයාව ගිලින්න හදන්නෙ.ඇයි බයයිද..?" බයවෙන්නෙපා නදී.මං ඒ තරම් නපුරෙක් නෙමෙයි.

"දැන්ම මාව ගිලින්න දෙන්නෙ නැහැ ඔයාට."

"මෙච්චර ඉක්මණට මං ගිලින්නෙත් නැහැ ඔයාව.මගෙ මැණික බය වෙන්නෙපා." මං ආදරෙන් කිව්වා මගෙ නදීට.

"හ්ම්ම්...මං මහ වල් කෙල්ලෙක් ගානට හිතන්න එපා අමිල අයියෙ.ඒත් ඔයා තමයි මගෙ හීනෙ.ආසයි ගොඩක් දේවල් නැතුවට ඔයාට තුරුල් වෙලා වරු ගාණක් වුනත් ඉන්න.ඔයාගෙ ලඟ මට මහ පුදුම රැකවරණයක් දැනෙනවා අමිල අයියෙ."

නදී ගැන මට දුක හිතුනා.කවුද ඔය පුංචි හිතට මේ තරම් ආදරේ කරන්න ඉගැන්නුවේ නදී.මං එහෙමම ඉන්න ගමන් නදීගෙ නළල සිප ගත්තා.මෙච්චර වෙලා ඇහැරගෙන හිටිය නදී ඇස් දෙක හෙමිහිට පියා ගත්තා.පියා ගත්තා නෙමෙයි.ඒ ඇස් ඉබේම පියවුනා.තවමත් පිපීගෙන එන උණුහුම් ලැම පොට්ටු මගෙ පපුවට තියවෙලා.මහ උණුහුමක් දැනෙනවා මට.මං නපුරෙක් වෙයි කියලා මටම බයයි නදී.

"මේ පුංචි හා පැටව් දෙන්නා පරිස්සම් කරලා තියා ගන්න.මට දවසක ඕනෙ."

"හ්ම්ම්...වල් කොල්ලා" නදී හිනා වෙනවා කට කොනකින්.

"අපි යමු පල්ලෙහාට නදී.අම්මිලා බලාගෙන ඇති."

නදීට නැගිටින්නත් දුකයි.ඒත් මොනා කරන්නද නදී.අපි තවමත් අපේ නෙමෙයිනෙ.අපි ඉක්මනට පහලට ආවා.රෑ අට හමාරටත් ලඟයි.අම්මලා මිදුලට වෙලා බලාගෙන අපි එනකම්.ඔයාලට මේ තරම්ම මාව විශ්වාසයිද අම්මෙ.නදී මගෙ අතේ එල්ලිලා බයික් එක ලඟටත් ආවා.

"මං ගිහින් එන්නම් අම්මේ.ගිහින් එන්නම් තාත්තෙ."

බයික් එකට ගොඩ වෙන්න කලින් මං නදීලගෙ අම්ම්ලාට කිව්වා.නදීව දාලා එන්න හිතක් නෑ මට.ඒත් මොනා කරන්නද නදී.මං ගිහින් එන්නම්.මගෙ නදී පරිස්සමින් ඉන්න.නදී ගේට්ටුව ලඟට දුවගෙන ගිහින්.හරියට මාව ගිහින් ඇරලවන්න වගේ.කෙල්ල පුංචි ටෙඩියව කවරෙකටත් දාගෙන ඇවිත් මගෙ අතට දුන්නා.අම්මලා බලාගෙන.මං අම්මලාට අත වැනුවා.මං යන්න කලින් නදීට හාදුවක් දෙන්න මගෙ හිතට පොරොන්දු වුනානෙ.දැන් එකක් මදිවට දෙකයි.ආයිමත් සැරයක් නදීගෙ නළලට පහත් වුනා මං.නදීට පුදුමයි අම්මලා ඉස්සරහදිත් මං කරන දඟ වැඩ වලට.

"පිස්සා..." නදී හිමිහිට කිව්වා.

"මගෙ මැණික පරිස්සමින් ඉන්න මං ආයිත් එනකම්.බුදුසරණයි."

"හ්ම්ම්...ඔයත් පරිස්සමින් ගිහින් එන්න අමිල අයියෙ.බුදුසරණයි ඔයාටත්.ගෙදර ගිහින් කෝල් එකක් දෙන්න.නැත්නම් මට අද නින්ද යන්නෙ නෑ."

"චූටි බකමූනි..."

පිටත් වෙන්න මොහොතකට කලින් කියලා මං මගෙ දෙතොල උල් කලා.ගෙදර යද්දි දහයත් පහු වේවි නදී.මං කෝල් කරනකම් ඇහැරලා ඉන්නෙපා නදී.ඔයා නිදා ගන්න.මං පරිස්සමින් යන්නම් නදී.එපා කියන්න බැරිකමට ඔයාගෙ පුංචි ටෙඩියව ආදරෙන් භාර ගත්තට මං කොහොමද නදී අම්මට හොරෙන් මෙයාව අරගෙන යන්නෙ ගේ ඇතුලට.අම්මට මං මොනා කියන්නද...


*******************

*ආදරණීය නදී_ (3 කොටස)

"අමිල අයියෙ...මට බඩගිනියි මහත්තයෝ..."

නදී මට තුරුල් වෙලා ඉන්න ගමන් හෙමිහිට කොඳුරනව මට ඇහුනා හීනෙකින් වගේ.එතකොටයි මට මතක් උනේ.අපි ඇත්තටම දවල් කෑවෙ නෑ නේද නදී.මේ කෙල්ලව ගෙදරින් පිට එක්ක ගිය පලවෙනි දවසෙම මං එයාව බඩගින්නෙ තියලා තියෙන්නෙ.දෙයියනේ මං වගේ නපුරෙක්.

"අනේ සොරි පැටියො... මට ඒක ගානක් ගියේ නෑ.අපි මෙහෙන් බැහැලා මොනා හරි බීලා යමුද...?"

"ගොඩක් රෑ වෙයිනෙ එතකොට...?"

"කමක් නෑ නදී...අපි මොකක් හරි බොරුවක් කියමු.ඔයාව බඩගින්නෙ තියන්න බැහැනෙ මට..."

"ඒක තමයි...මොනා හරි අරගෙන දුන්නෙ නැත්නම් මං අම්මිට කියනවා මට මුකුත්ම කන්න දුන්නෙ නැහැ.ඔයා හරිම නරක ලමයෙක් කියලා.එතකොට ඔයාට අම්මිගෙන් හොඳට අහ ගන්න පුළුවන්නෙ.අපේ අම්මි හරි සැරයි හොඳද..."

නදී පිටිපස්සට වෙලා ඉඳගෙන කියනවා.ඔයා ඔය කියන්නෙ විහිළුවට.ඉස්සර වෙලා ඔයාම කිව්වා මතකයිද නදී අපේ අම්මි හරි හොඳයි කියලා.ඔයාට ඕන යාන්තමට මගෙ හිත රිද්දලා හිනා වෙන්න.දැනටත් ඔයා තනියෙන් හිනා වෙනවා ඇති.

මං නිට්ටඹුවට කිට්ටුව කූල් ස්පොට් එකක බයික් එක නැවැත්තුවා.මහ විශාල මැයි මාර ගහක් යට හෙවන පිරිච්ච තැනක්.ඇත්තටම කූල්ම කූල් ස්පොට් එකක්.එතනට ගියාම අමුතු සීතලක් දැනෙනවා.හරියටම අපි මහවැලි ගඟ අයිනට වෙලා වින්ද හීතල වගේ සුන්දර හීතලක්.

"මොනාද ගන්නෙ නදී...?"

"ඔයා කැමති ඕනෙම දෙයක් අරගෙන එන්න."

නදීට ඉන්න කියලා මම ගිහින් ෆෘට් ජූස් දෙකක් අරගෙන ආවා.

"ඉක්මනට එන්නකෝ....මට බඩගිනියි..." මම ඈතින් එන ටිකට කෙල්ල උඩ පනිනවා මං එන්න පරක්කුවට.

"මෙයාගෙ තියෙන බඩගින්නක තරමක්.මෙතනට එන අනිත් මිනිස්සුන්ටත් බොන්න ඉතුරු කරන්න නදී.නැත්නම් ඇවිත් හිස් අතින් යන්න වෙයිනෙ එයාලට...පව්නෙ එතකොට..."

මං එන ගමන්ම කියාගෙන ආවා.නදීට ඒකට චුට්ටක් තරහා ගිහින්ද කොහෙද.

"අනේ මේ...මං ඔයා තරම් පෙරේත නෑ හරිද...ටිකක් කට පරිස්සම් කර ගන්න බකමූනො.අපි යන්නෙ අපේ ගෙදර හොඳේ..." නදී මට තහංචියක් දැම්මා.

දවස තිස්සෙම හාමතේ හිටිය මහන්සියට මං ෆෘට් ජූස් එක හිමිහිට බොන ගමන් බයික් එකට හේත්තු වෙලා ඒකට බර උනා.නදීටත් ඕනෙ කොහෙන් හරි ඇවිදින් මට හේත්තු වෙන්නම තමයි.නදීත් දුවගෙන ඇවිදින් මගෙ ඇඟට හේත්තු උනා.උදේටත් වැඩියෙන් ඔයා දැන් දඟ කරන්න පටන් අරගෙන නදී.අම්මි මෙච්චර කාලයක් කොහොම ඔයාව මේච්චල් කලාද මන්දා.මං ටිකක් වෙලා කල්පනා කලා.

"බකමූනෝ...." නදී අමුතු විදියකට කතා කරලා මගෙ දැහැන බිඳලා දැම්මා.ඒ පාර මොකද.

"ඇයි අම්මා...?" මූණට පුංචි හිනාවක් මතු කරගෙන මම කතා කලා.උදේ එහෙම කියලා නදී හිනා උනාම ලැජ්ජ හිතුනත් දැන් මට ගානක් නෑ.

"මට මදි..."

ඔයා නම් හරි නරකයි නදී.ඔයාගෙ එක ඔක්කොමත් බීල ඉවර වෙලා මගෙ එකටත් විදින්න නේද.කපටි කෙල්ල.ඔයාව චුට්ටක් රිද්දන්න හිතෙනවා මට.

"අනේ පැටියො...ඒවා ඔට්ටු නෑනෙ.ඔයා හරි නරකයි.මගෙ එකත් එක හුස්මට බීලා ඉවර කලාම මං බොන්නෙ මොනාද...?"

"එහෙනම් එපා.ඕනෙම නෑ.ඉක්මනට ගිහින් මාව ගෙදරට දාන්න."

නදී ඒක කිව්ව විදිය මට ඇල්ලුවෙ නෑ.කිව්වෙ ලොකු හදිස්සියකින් වගේ.මෙච්චර වෙලා හිනා වෙලා හිටිය ඔයා ඇයි දැන් මේ නදී.මං නදීගෙ මූණ දිහා බැලුවා එයාටත් හොරෙන් වගේ.නදී ඇස් දෙක පියා ගත්තා.ඔයාට එච්චරකට රිද්දන්න මං හිතුවෙ නෑ නදී.නදී ඇස් දෙක පියාගෙන ගලාගෙන ආව කඳුළු හංගන්න හැදුවට යාන්තමට ඇස් කොනින් කඳුළු බිංදුවක් එලියට පනින්න දඟලනවා.

"අනේ රත්තරං...මං විහිළුවක්නෙ කලේ...මං හිතුවෙ නෑ ඔයාට මේ තරම් දුක හිතේවි කියලා නදී.ආ බොන්න ටිකක්..."

මං නදීව තවත් ලං කරගෙන ඔලුව අතගාන ගමන් මගෙ ග්ලාස් එක එයාට ලං කලා.

"මට එපා..." නදී තරහෙන් වගේ මගෙන් ඈත් වෙන්න දැඟලුවා.

"එහෙනම් මටත් එපා.ඔයා මේ ටික බොනකම් මං එක අඟලක් මෙතනින් හෙල්ලෙන්නෙත් නෑ.ඔයාට මෙතනින් යන්න දෙන්නෙත් නෑ.අනේ මගෙත් කඳුළු අවුස්සන්නෙ නැතුව හොඳ ලමයා වගේ බොන්න නදී.ප්ලීස්..."

නදී හුම්ම් කියන්නෙවත් නෑ.අනේ මගෙ චූටි බකමූනියෝ.බොන්නකො මේ ටික.මට මෙහෙම කතා කරන්න බෑ.තව ටිකකින් මටත් ඇඬේවි නදී.මං මේ ටික කියන්න ගියෝතින් මට ඇඬෙනවා.මං දන්නවා.

"බොන්නකො රත්තරන්..."

නදී මගෙ මූන දිහා බැලුවා එක සැරේටම.මහා වැහි වළාවක් අහසට ඇවිදින්.මුළු පලාතම කළුවර කර ගත්තා.අපි දෙන්නව වැඩි ඈතකට පේන්නෙ නෑ.අපිව දකින්න කවුරුත්ම ඇත්තෙත් නෑ.නදී මගෙ ඇස් වල හංගගෙන හිටිය කඳුළු කැට දකින්න ඇති.එක පාරටම නදී මගෙ පපුවට ඔළුව තියාගෙන අඬන්න ගත්තා.දුක ඔහොමම තුනී වුනාවෙ.නදී අඬනකම් මං සද්දයක් නැතුවම හිටියා.ඇයි දෙයියනේ මේ කෙල්ල මං කරන විහිළු තේරුම් නොගන්නෙ.

"මං බොරුවට කිව්වෙ මට මදි කියලා අමිල අයියෙ.මට දැන් බොන්න බැහැ.ඔයා බොන්න."

අඬලා අඬලා ඉවර වෙලා නදී හෙමිහිට කිව්වා මගෙ දිහා බලාගෙන.

"මට බැහැ පැටියො.දැන් බොන්න බැහැ.මගෙ හිතට හරි නෑ."

නදී දුකෙන් ගැහි ගැහී තිබුන මගෙ ලමැද සිප ගත්තා.මං මටම බැන ගත්තා.මේ තරම් මට ආදරේ කරන අහිංසක කෙල්ලගෙ හිත රිද්දන්නෙ මොන පව්කාරකමකටද දෙයියනේ මං.මං ණයගැතියි ඔයාට නදී.මට බැහැ ණයකාරයෙක් වෙන්න.

"ඉන්නකො පැටියො.අපි යමු ගෙදර."

එහෙම කියන ගමන් මං නදීගෙ නළලට හාදුවක් දීලා ග්ලාස් දෙක ලඟ තිබුනු මේසයක් උඩින් තිබ්බා.ඔයාගෙ නළල රස්නෙයි ගොඩක් නදී.උන ගන්නද මන්දා.

"ඔයාගෙ නළල රස්නෙයි නදී.උන ගැනෙන්නද...?"

"හ්ම්ම්...වෙන්න ඇති.ගෙදර බෙහෙත් තියෙයි අමිල අයියෙ.අපි යමු."

"චූටි බකමූනි..." මං හෙමිහිට නදීගෙ රෝස පාට කන් පෙත්තක් මිරිකන ගමන් කිව්වා.

"බකමූනා"

යන්න ඕනෙකමට මගෙ තුරුලෙන් ඈත් වෙන ගමන් නදී ඒක කිව්ව අපූරුව විතරක්.දෙතොල උල් කරලා එහෙම කියද්දි ඔයා ගොඩක් ලස්සනයි නදී.ඇත්තමයි.මොකක්දෝ දඟකාරකමකින් ඔයාව පිරිලා ඉතිරිලා යනවා ඒ වෙලාවට.

"නදී දැන් වෙලාව හයයි කාලයි.මං ඔයාව අරගෙන යනවා හයයි හතලිහ වෙද්දි.සීට් බෙල්ට් තද කර ගන්න.හයියෙන් අල්ල ගන්න.මං උඩින් යන්න හදන්නෙ."

මං එහෙම කිව්වෙ කියද්දි ටිකක් අගේ ඇතුව උනාට අපි ඇත්තටම ඉක්මනට යමු නදී.නැත්නම් අම්මිට තරහ යාවි ඔයාවත් අරගෙන මෙච්චර පරක්කු උනාට.

"හ්ම්ම්..."

මං කිව්ව බරපතල වචන ටිකට බයේද මන්දා නදී එක අතකින් මගෙ බඩ මැදින් අල්ලගෙන අනිත් අතින් උරහිසෙන් අල්ල ගත්තා.හරියට තදට ඇලෙන මැලියම් දාලා අපි දෙන්නව ඇලෙව්වා වගේ.පොලිසියෙන් හෙම දැක්කොතින් අපි දෙන්නව නවත්තනවා අනිවාර්යෙන්ම.ප්‍රසිද්ධ ස්ථාන වල අසභ්‍ය ලෙස හැසිරීම කියලා ලේබල් කරලා.


*******************

"ඔතනින් නෙමෙයි ඉස්සරහින් පිස්සො..."

නදී දැන් හරියට ගයිඩ් කෙනෙක් වගේ.මට නිකමට බයික් එක පැත්තකට හරවන්න දෙන්නෙ නෑ.කෑ ගහනවා.මමත් ඉතින් සුවච කීකරු ගෝලයා වෙලා එයා කියන විදියටම යනවා.මේ කෙල්ල කරන විහිළුත් එක්ක බලද්දි කොහෙට එක්ක යාවිද දන්නෙ නෑ ගෙදරට යනකම්.

"කෝ මේ අත දෙන්න චුට්ටක්." නදී මගෙ වම් අත පිටිපස්සට ඇදලා ගත්තා.

"ඌයි...රිද්දන්නෙ නැතුව ගන්න ඉතින්..."

"දැන් හයයි හතලිස් පහයි වෙලාව.ඔයා පරක්කුයි බකමූනො..."

වෙලාව බලලා නදී කියනවා.ඒකටත් ඔයාට මගෙ ඔරලෝසුවම බලන්න ඕනෙ නේද.ඒ කියන්නෙ දැන් ගෙවල් ලඟටම ඇවිදින්.ඇත්තටම විනාඩි පහක් මං පරක්කු වෙලා.දස අතේ මං කල්පනා කලා ඒකට කියන්න හේතුවක් හොයන්න.

"ඉතින් මට හොඳ ගයිඩ් කෙනෙක් හිටියෙ නැහැනෙ.හිටිය කෙනත් තවම ට්‍රේනින් කරන කෙනෙක්නෙ.කොහොමද ඉතින් මං නොදන්න පලාතක දන්නවා වගේ එන්නෙ කිව්ව වෙලාවටම."
 
නදීට කියන්න දෙයක් හොයා ගන්න බැරි උනා ඒකට.අන්තිමට කරන්න දෙයක් නැති තැන නදී මගෙ මූණ දිහා බලලා රැව්වා මහ දරුණු විදියට.අන්න එහෙම ඉන්නකො නදී හැම වෙලාවෙම විහිළු කරද්දි.මං ආසයි ඔයා මට රවනවට.

"ඒක නෙමෙයි අමිල අයියෙ.මං කලිනුත් කිව්වනෙ ඔයාට.අපේ අම්මි හරිම සැරයි.අම්මි ඔයාට බනින්න ගත්තොත් හෙම මමත් බනිනවා ඔයාට අම්මිත් එක්කම එකතු වෙලා.එතකොට ඒකට තාත්තිත් එකතු වෙයි.පණ්ඩිත කතා කියන්න කට ඉස්සර කරගෙන මාව නැති කර ගන්න හෙම එපා හොඳද...?."

නදී මේ පුංචි එකෙක් ගානට මාව දාලා මාව රවට්ටනවද නැත්නම් මාව බය කරනවද කියලා මට හිතා ගන්න බෑ.ඔය කියන තරමට නම් අම්මි දරුණු වෙන එකක් නෑනෙ කොහොමත් මාව දැක්කම.මොන දේ කොහොම වුනත් මං ඒ අවස්ථාවට කොහොමත් මුහුණ දෙන්න ඕනනෙ.මං මගෙ හිත තද කර ගත්තා.

"බලමුකො නදී...මං දන්නවනෙ ඔයාලගෙ අම්මිව අල්ල ගන්න ක්‍රමේ.අම්මි බනින්න ගත්තොත් හෙම මං ඔයාවත් උස්සගෙන තමයි ආපහු දුවන්නෙ..."

මමත් මහ ලොකු මනුස්සයෙක් ගානට කතා කලා.

"ඔයාට මාව උස්සන්න බෑනෙ ඉතිං..." නදීගෙ කටකාරකම නම් මට කවදාවත්ම නවත්තන්න බැරි වේවි.

"ඉස්සරහ දකුණු පැත්තෙ ගේට් එකෙන් ඇතුලට දාන්න අමිල අයියෙ."

දිව අගට මොකක්දෝ වල් කතාවක් ඇවිදින් මාත් එක්ක ඔට්ටු අල්ලනවා එලියට පනින්න.මං පුළුවන් තරම් ඉක්මනට ඒක හංග ගත්තා.ඒක කිව්වා නම් ඔයාගෙන් ගුටි කාලම අද මට ගෙදර යන්න වෙන්නෙ අත පය බැඳගෙන තමයි මෙහෙන්.

ගේට්ටුව ඇරලා තිබුනා.ඇතුල් වෙන්න පූර්ණ බලතල තියෙද්දි මොකට ලතැවෙන්නද මං.මිදුලටම ගිහින් මං බයික් එක නැවැත්තුවා.අම්මගෙ තුරුලෙන් බැස්ස ගමන් බිම දිගේ දණගාගෙන දුවන දඟකාර පුංචි එකෙක් වාගෙ නදී බයික් එක නවත්තන පරක්කුවට බිමට පැන්නා.හිත ගැහෙනවා නදී.අද මේ මොහොතෙ දෙවියො මගෙ ලඟ නොහිටියොත් හෙම මගෙ මුළු ජීවිතේ පුරාවටම මට අඬන්න වෙන්නත් ඉඩ තියෙනවා.මං බයික් එකෙන් බැහැලා ගේ පැත්තට යන්න හැරෙද්දි නදී කිසිම ගානක් නැතුව මගෙ අතේ එල්ලුනා.මටත් මොකෝ ඉතින්.ඒත් අනේ මට බයයි නදී.

"එන්න යමු..." නදීට නම් කිසිම ගානක් නෑ.මේක ඉතින් ඔයාලගෙ ගෙදරනෙ.ඒත් මං නදී.මගෙ අතින් ඇදගෙන නදී දොර ලඟට ගිහින් කෑ ගහන්න ගත්තා.

"අම්මි මේ.ඇවිත් බලන්නකො බකමූනෙක් ඇවිත් අපේ ගෙදරට...කොස්ස අරගෙන එන්න ඉක්මනට එයාව......."

"නදී ඔයාට ටොක්කක් අනින්න කලින් නවත්තන්න."

මං නදීගෙ කට අතින් වැහුවා.ඉතුරු ටික කියන්න දුන්නා නම් මගෙ කාඩ් ඔක්කොම ටික කුඩුනෙ.තදින් අල්ලගෙන හිටිය හින්දා නදී මගෙ ලඟට ඇදිලා ආවා.

"ආ...එන්න පුතේ ගෙට.මං ඒත් බැලුවා ඇයි මෙච්චර පරක්කු කියලා..."

හිතේ තිබුන බය කොහෙන් ගියාද මන්දා.මං නදීව ටිකක් ඈත් කලා.ඒක කෝකටත් හොඳයිනෙ.නදී මට කියලා තියෙන්නෙ අමූලික බොරුනෙ එතකොට.නදීලගෙ අම්මා නදී කිව්ව තරම් දරුණු කෙනෙක් නෙමෙයි.මට දැන් හොඳටම විශ්වාසයි.මට බැනුම් අහන්න වෙන්නෙ නෑ.මට බොරු කිව්වට මං හොඳ වැඩක් කරන්නම්කො ඔයාට.

"ඔව් අම්මේ...ටිකක් පරක්කු උනා.එද්දි නදී තිබහයි කියලා හොටු පෙරාගෙන අඬන්න ගත්තා.පස්සෙ ඉතින් කූල් ස්පොට් එකේ තිබුන කූල් ඩ්‍රින්ක්ස් වලින් බාගයක්ම බොනකම් ඉන්න උනා."

"අනේ යනවා යන්න බොරු නොකියා...බකමූනා...කාටද දන්නෙ නෑ බඩගිනියි කිව්වෙ..."

නදීට ඒකට නම් තරහ ගියේ නෑ.කට කොනින් හිනා වෙවී කිව්වෙ ඒක.කියන්න හරි හැටි නෑදෑකමක් නැතිවම වයසට ගැලපෙන විදියට අම්මෙ තාත්තෙ කියන්න මට උපතින්ම ආව මගෙ අම්ම මට දුන්න මනුස්සකමක් තිබුනා.ඒ හින්දම කිසිම ලෝබකමක් නැතුව නදීලගෙ අම්මට උනත් අම්මෙ කියලා කතා කර ගන්න අමාරුවක් උනේ නෑ මට.

"ඇතුලට ඇවිත් වාඩි වෙන්න පුතේ..."

මෙහෙම සලකන අම්මෙක්ට වඳින්නෙ නැතුව ඉන්න එක මහ පාපයක් කියලා මට හිතුනා.මං අම්මගෙ ලඟට ගිහින් එයාගෙ කකුල් දෙක අල්ලලා වැන්දා.

"බුදු සරණයි පුතේ."

මගෙම අම්ම ගානයි නදීලගෙ අම්මත්.නදීට නම් ඔහෙ ගානක් නෑ.එයා හාවක් හූවක් නැතිව බලාගෙන ඉන්නවා මගෙ දිහා.කෙල්ලට ගොඩක් මහන්සියි වගේ.ඇස් දෙක හීන් වෙලා ගිහින්.දහඩිය හින්දා නදී දාගෙන පපුව දිහාවට පූගනවා.මං ඔයාට රිද්දන්නෙ නැතුව හිමිහිට ටිකක් පූගන්නද නදී.අම්මි මෙතන නොහිටින්න ඒකත් මං ඔයාගෙන් අහනවා.ඒත් අවාසනාවට අම්මි මෙතනනෙ.

"ඔයාට ඉඳ ගන්නනෙ කිව්වෙ.දැන් හොඳ බබා වගේ ඉඳ ගන්නකො.හ්ම්ම්...කෝ ඉතින්..."

ගෙදර ආවම මෙහෙම කරාවි කියල දන්නවා නම් ඔයාව මේවටත් එක්ක තව ටිකක් අඬවන්න තිබුනා නදී.ඔයා අම්මි ඉස්සරහ මාව බබෙක් කරන්න යන්න නම් එපා නදී.පාඩුව අපිටමයි නදී.

"මං තේ ටිකක් හදන්නම්.උදේ ඉඳන් ඇවිදලා දැන් මහන්සිත් ඇතිනෙ."
 
නදීලගෙ අම්මා කුස්සිය පැත්තට ගියා.
ඒ හදිස්සියේ මං නදීව ඇදලා ගත්තා ලඟට.උදේ ඉඳන් මාත් එක්ක දඟලපු මහන්සියට නදී නිකන්ම ඇදිලා ආවා මගෙ ලඟට පරඬැලක් වාගෙ.ඇඟට කිසිම හයියක් නෑ මේ කෙල්ලගෙ.

"ආයිත් හෙම අම්මි ඉස්සරහ මට මොනා හරි කිව්වොත් මං අනිනවා ටොක්කක් ඔයාට අම්මි ඉස්සරහදිම.හොඳද චූටි බකමූනි...?"

දරුණු විදියට මං තරවටු කලා නදීට.එක වසරෙ දෙක වසරෙ පොඩි එකෙක් හෙම නම් මගෙ ඇස් දෙක දැකලා බයට සිහි නැති වෙනවා ඒ වෙලාවෙ.බය කරලා වත් නදීව නැවැත්තුවෙ නැත්නම් මං ඉවරයි අද.

"හ්ම්ම්...බලමුකෝ අනින හැටි."

නදී නම් බය වෙන වගක් පේන්න නෑ.ඔයා කියන හැම වචනෙකම මට සුන්දර කතාවක් මැවෙනවා නදී.ඒත් මං ඒ හැම මොහොතකම හිතට විතරක් සීමා කර ගන්න තරම් මං පරිස්සම් වුනා.හැමදේම කියන්න ගියොත් ඔයාට තරහ යන හින්දා.

"හ්ම්ම්...බලන්න තිබුනා හැටි."

"අමිල අයියෙ...රෑට කාලම යමු.දැන් මහන්සියි නේ...මගෙ හොඳ මහත්තයා වගේ වොෂ් එකක් දාගෙන එන්න.මෙච්චර වෙලාවක් ඉවසගෙන හිටියෙත් හරි අමාරුවෙන් මං.ඔයා හරි ගඳයි අනේ."

"ආ ඇත්තද..?.පිස්සි...යමු කියන්නෙ කොහෙ යන්නද..?.ඔයාව එක්ක යන්නෙ නෑ මං අද."

මං රිදෙන්නම නදීගෙ කන් පෙත්ත මිරිකුවා.

"ඌයියා..සොරි සොරි...යමු නෙමෙයි යන්න.හැබැයි කන්නෙ නැතුව නම් යන්න දෙන්නෙ නෑ ඔයාට."

ඒ කියන්නෙ අද මට යන්න වෙන්නෙ රෑටත් කාලමයි.දෙයියනේ ගෙදර යද්දි කීය වෙයිද එතකොට.මං ගෙදරට කෝල් එකක් දුන්නා.මං එද්දි රෑ වෙයි කියලා.අම්මට ඒකත් ප්‍රශ්නයක්.ඒකෙ වැරැද්දකුත් නෑ එක අතකට.උදේ හයට විතර ගෙදරින් ඇවිත් යද්දිත් රෑ දහය විතර වේවි.මෙච්චර රෑ වෙනකම් මොනා කරනවද මං.ඒවට උත්තර දෙන්න බෑනෙ මේ වෙලාවෙ.නදී එහෙන් කෑ ගහනවා.බාත් රූම් එකට රිංගගෙන සීතලේ ගැහි ගැහී යාන්තමට වොෂ් එකක් දාගෙන එලියට පැන ගත්තා.තුවාය අතට අරගෙන ඔළුව පිහදාන ගමන් එලියට එන්න දොර අරිනකොටම නදී දොර ලඟ.ඔයාලගෙ වතුරෙ සීතලට මං තාමත් වෙව්ලනවා නදී.

"සීතලයිද...?"

"හ්ම්ම්...සීතලයි ගොඩාක් නදී...මං තාමත් වෙව්ලනවා."

"ඒ තරම්ම...?"

"හ්ම්ම්..."

එහෙම කියාගෙන මං නදීට ඇතුලට යන්න පාර හදලා දීලා එතනින් එලියට එන්න හැදුවා.ගෙදරට ආව පලවෙනි දවසෙම අම්මලාගෙ හිත දිනා ගන්නවා මිසක් ලකුණු කපා ගන්න එක හරි නැහැනෙ නදී.

"කපටියා..ඉන්න චුට්ටක් ඔහොම..."

නදීට හිතක් නෑ මගෙන් ඈත් වෙන්න.නදී මගෙ ලඟට ඇවිදින් උණුහුමක් ඉල්ලගෙන ඇඟේ දැවටෙන පුංචි පූස් පැටියෙක් වාගෙ මගෙ දිහා බලාගෙන.මං නදීව හීතලේ ගැහෙන මගෙ නිරුවත් ලමැදට තුරුල් කරගෙන නළල සිප ගත්තා වෙව්ලන ගමන්ම.දරා ගන්න අමාරුයි සීතල තාමත්.මේ කොන්ක්‍රීට් වනන්තරේ මේ තරම් සීතල රැයක කවුරුත් නැති පාළු තැනක ඔයයි මමයි තනියෙන්.අනේ මන්දා නදී.කවිකාරයෙක් වෙන්න උපන් සුදුසුකම් තියෙනවා මට.හිත අතරමං වෙලා ඔයාගෙ කෙහෙරැලි අතරෙ.නදී මගෙ පපුවට දෙතොල තද කලා.අනේ මට ඉන්න බැහැ නදී.ඔයා මාව කිති කවනවා.මං නදීගෙ ඔලුව අතගෑවා.මෙච්චර හොඳට ඉන්න මාව නරක ලමයෙක් කර ගන්න එපා නදී.

"ම්ම්ම්...සුවඳයි..."

"ගොඩක්..?"

"හ්ම්ම්...ගොඩා....ක්..."

ඔයා මගෙ සුවඳ විඳින්නෙ එහෙමද.කමක් නෑ නදී තවම පොඩියිනෙ ඔයා.අනිත් එක අපි අදනෙ ඉස්සරලම මීට් වුනේ.අපි අනාගතේටත් ඉතුරු කරමු නේද.නැත්නම් තව ගොඩක් දේවල්...නෑ ඕන නෑ...මේ ඇති.මං මගෙ හිතට බල කලා.

"ඔයත් වොෂ් එකක් දාගෙන එන්න ඉක්මනට නදී...මං පහලට යන්නම්."

"කොහෙද දුවන්නෙ..?.ඔච්චරටම හදිස්සියිද..?"

"නැහැ ඉතින්...ඒත් අම්මලා හිතාවි ඇයි මේ තරම් පරක්කු කියලා..." මං හිනාව දෙතොලට තද කරගෙන කිව්වා.

"චීයා...වල් කොල්ලා..." නදීටත් හිනා යන්න එනවා.

"එහෙනම් තව එකම එක උම්මා එකක් දීලා යන්න.මං ඉක්මනට එන්නම් වොෂ් එකක් දාගෙන."

පව්.නදීගෙ ඇස් මලානික වෙලා ගිහින්.ඔයා හිතන පතන ගොඩක් දේවල් මේ තරම් ඉක්මනට දෙන්න මට බෑ නදී.රෝස පාට දෙතොල් පෙති මම සිප ගත්තා ආදරෙන්.නදී දැන් නම් හොඳටම නරක ලමයෙක් වෙලා.මගෙ ගත පුරා වෙලෙනවා.මටත් එහෙම නොඉඳ ඔහේ බලාගෙන ඉන්න තිබුනා මම මහ පාළු වනන්තරේක බවුන් වඩන තවුසෙක් උනා නම්.ඒත් මමත් මනුස්සයෙක්නෙ නදී.කවුරු කොහොම හිතුවත් මේ වල්කම නෙමෙයි නදී.මගෙ ආදරේ මේ තරම්ම උණුසුම්.මගෙත් දෑතෙම ඇඟිලි මටම අකීකරු වෙලා.ඔයාගෙ කෙහෙරැලි අතරෙ දුවන ගමන්.මං ආයිමත් පියවි ලොවට ආවා.මුදා නොහැර බැරිකමට වෙව්ලන දෙතොල අසීරුවෙන් මුදා ගත්තා මං.නදීට ඒත් මදි.අනේ මට සමා වෙන්න නදී.තවම අපි ඉන්නෙ අපේම ලෝකෙක නෙමෙයිනෙ.

"ඉක්මනට පහලට එන්න මැණික.මට පාළුයි ඔයා නැතුව."

"හ්ම්ම්..."


මට මොනාද උනේ.මේ මගෙ ගෙදරකුත් නෙමෙයි.ඒත් පුදුම විදියට මං මටම අකීකරු වෙලා.ගෙදර අය දැක්කා නම් මට යන්න වෙන්නෙ හිස් අතින් නම් නෙමෙයි.රෑට හොඳම කෑමකුත් කාලමයි.එන ගමන් මං කල්පනා කලා.
පහලට එද්දි නදීලගෙ අම්මයි තාත්තයි දෙන්නම සාලෙට වෙලා මං එනකම් මඟ බලාගෙන.


******************* 


*ආදරණීය_නදී_ (2 කොටස )



මහවැලි ගං තෙර දිගට හමාගෙන එන හීතල සුලං රැලි අතරේ අපි විනාඩි ගානක් එහෙමම ඉන්න ඇති.ඊට පස්සෙ අපි උණ පඳුර මුලට වෙලා බිමින් ඉඳ ගත්තා.නදිත් බිම ඉඳගෙන මගෙ පපුවට හේත්තු උනා.නදී මට තුරුල් වෙලා නිදා ගත්තයි කිව්වොත් මං ගොඩක් හරි.වෙලාව යනවා දැනුනෙත් නෑ.ඔයා මගෙ ලඟ ඉන්නකොට ඔරලෝසුවෙ කටු පවා මැරතන් දුවනවද කොහෙද නදී...හවස තුනටත් ලං වෙලා.

"නදී...?"

"ම්ම්..."

හුම්ම් කියා ගන්නත් අමාරු තරම්.නදී ඉස්සර වෙලා මහන්සියි කියලා තියෙන්නෙ ඇත්තටම වගේ.දවස පුරාවට දඟ කරලා මහන්සි වෙලා අම්මගෙ තුරුලට වැටිලා නිදාගෙන ඉන්න පොඩි එකෙක් ගානයි මගෙ නදිත් දැන්.

"දැන් වෙලාව තුනටත් ලඟයි පැටියො..."

"හවස...?"

"හ්ම්ම්...අපි මෙහෙට ආවෙ උදේනෙ පැටියො ඉතිං.ඒකත් අමතක උනාද ඔයාට...?"

ඇත්තමයි ඔයා නම් දැන් මොන්ටිසෝරි යන පුංචි ලමයෙක් වගේ නදී.දැන දැනත් ඒවා නොදන්නවා වගේ මහ බොලඳ විදියට අහන හැටි විතරක්.

"අඳුර වැටෙන්න තව කොච්චර වෙලා තියෙනවද අමිල අයියෙ...?"

"තව පැය තුනකින් විතර අඳුර වැටේවි... ඒත් ඇයි එහෙම අහන්නෙ නදී..?"

එහෙම අහන හේතුව මට හිතා ගන්න බැරි හින්දා මං ඇහුවා නදීගෙන් එහෙම.මේ කෙල්ල අද ආවෙ මගෙත් එක්ක නවතින්නවත්ද මන්දා.

"මට මේ මදි අමිල අයියෙ...අනේ තව ගොඩාක් වෙලා ඔයාගෙ තුරුලෙ ඉන්න ඕනි මට.ප්ලීස්..."

නදී තව තවත් මගෙ තුරුලට එනවා.තවත් ආවොත් නම් මට හුස්ම ගන්නත් අමතක වේවි නදී.ඒ තරම් ඔයා මගෙ තුරුලට ඇවිදින්.ගොඩාක් ලස්සනට පේනවා මට ඔයාව එහෙම ඉන්නකොට.කොහොමද ඔයා මේ ලස්සන පරිස්සම් කරගෙන මෙච්චර කල් හිටියෙ රත්තරන්.අහන්න හිතයි මට ඔයාගෙන්.ඔයාගෙ මුළු ගතම හරිම සුන්දරයි නදී.ඇත්තමයි.

"මං හැමදාමත් ආදරේ කරපු මගෙ වටිනාම වස්තුව දෝතින් අරගෙන මැරෙනකම්ම වුනත් මෙහෙමම ඉන්න මමත් ගොඩක් ආසයි.ඒත් අපි තවමත් අපේ වුනා විතරයිනෙ නදී.අපි අපේ ජීවිත වල ලස්සනම කාලෙ පටන් ගත්තා විතරයිනෙ තවම.අපිට තව කල් තියෙයිනෙ ඉතින්.අද අපි රෑ වෙන්න කලින් ගෙදර යමු නදී..."

නදීගෙ ඔලුව අතගාන ගමන් මං කිව්වා.මට බෑ නදී එක පුංචි වැරැද්දකට හැමදාමත්ම විඳවන්න.ඔයා ආපහු ගෙදරට එක්ක යනකම් ඔයා ගැන මම වග කියන්න ඕනිනෙ.රෑ වෙන්න කලින් මං ඔයාව ගෙදර එක්ක යන්න ඕන නදී.

"හ්ම්ම්...ඒත් ආයිත් අපි කවදා මීට් වෙන්නද අමිල අයියෙ...?"

ඔය ලස්සන ඇස් දෙකේ කඳුළු දකින්න මං කොයි තරම් නම් පව් කරලා ඇතිද නදී.දුක දෝරෙ ගලන දෑසින් මා දිහාවෙ බලාගෙන නදී එහෙම කියද්දි මට ඉකිබිඳුනා.

"දැන් මට ඔයාව දකින්නෙ නැතුව ඉන්න බැහැ මැණික.මං වත් නොදන්න තරම් මං ඔයාට ආදරේ කරන්න පටන් අරං.අඩුම ගානෙ මං සතියකට සැරයක් වත් ඔයාව නොදැක ඉන්නෙ නැහැ පැටියො.මං එන්නම් මට පුළුවන් හැමදාකම ඔයාව තුරුල් කරගෙන ඉන්න."

"මගෙ අමිල අයියා මට ඇත්තටම ආදරෙයි නම් මගෙ ඔළුවෙ අත තියලා ප්‍රොමිස් වෙන්න පුළුවන් හැමදාකම මාව බලන්න එනවා කියලා."

නදී මගෙ සුරත අරගෙන එයාගෙ හිස් මුදුනින් තියා ගෙන මට තුරුල් වෙලා ඉන්න ගමන්ම මගෙ ඇස් දෙකට එබුනා.මං කොහොමද දෙයියනේ ඔය අහිංසක ජීවිතේ නාමෙන් දිවුරන්නෙ...

"කියන්නකො ඉතිං..."

නදීට හරිම හදිස්සියි වගේ.මං මගෙ අත ආපහු ගත්තා.මොන දේ උනත් මට බෑ මගෙ නදී ඔයාගෙ ජීවිතේ නමින් දිවුරන්න.කවදා හරි දවසක ඔයාව බලන්න එනකොට මම මැරිලා ගියෝතින් වත්.අනේ මං හිතන්න වත් ආස නෑ පැටියො ඒ ගැන.

"මට ඔයාගෙ ජීවිතේ නාමෙන් ප්‍රොමිස් වෙන්න බෑ නදී.මට පව් පිරෙයි මහ ගොඩක්.ඒත් මං පොරොන්දු වෙන්නම් එන්න පුළුවන් හැමදාකම පණ පිටින් හිටියොතින් මං එනව මගෙ මැණිකව බලලා යන්න.සත්තයි.සත්තමයි.මගෙ පණ තියෙනකම්ම මං ආදරෙයි නදී ඔයාට.ඔයාට මං ආදරේ කලේ අද ඊයෙක නෙමෙයිනෙ නදී.ඔයා දන්නවනෙ මං ගැන නේද...?"


"හ්ම්ම්..."

"ඇයි නදී හැම වෙලාවෙම හුම්ම් කියන්නෙ...?"

"නිකම් ඉතිං...මට එහෙමම කියලා පුරුද්දට නිකන්ම කියවෙනවා එහෙම."

"හ්ම්ම්...මං ඔයාට නමක් දා ගන්නද...?.ගොඩාක් ආදරේ හිතුනම ඔයාට බනින්න...?"

"මොකක්ද කියන්න බලන්න.හැබැයි මං අකමැති නම් බැහැ.හොඳද...?"

"ප්‍රොමිස් නදී...ඔයා අකමැති නම් මං කියන්නෙ නෑ...ඔයා හැම වෙලාවෙම හුම්ම් හුම්ම් කියන හින්දා මං ඔයාට 'බකමූනි' කියලා කියන්නද...ආදරේ වැඩිම උනාම ඔයා මට වැඩිය චූටි හින්දා'චූටි බකමූනි' කියන්නම්...?.කැමතියිද...?"

මං දන්නවා නදී.ඔයා අකමැති නැති වෙයි ඒකට.ඔය වගේ බොලඳ වැඩ වලට ඔයා ගොඩාක් කැමතියි කියලා මං දන්නවා අත්දැකීමෙන්ම.අනේ කැමති වෙන්නකෝ...මගෙ හිත දඟලනවා ඔයාගෙන් උත්තරයක් ඉල්ලගෙන.

"ම්ම්ම්...කැත නමක්..." නදී කල්පනා කර කර මුමුණනවා.

"කියන්නකො පැටියො ඉතින්...අකමැති නම් කමක් නෑ.හැබැයි කැමති වෙනවා නම් මං ආසයි."

"හැබැයි එහෙනම් ඔන්න ඔයා 'බකමූනා'.ආදරේ වැඩිම උනාම 'මහ බකමූනා' ඇග්‍රී..?."

"ඉතිං මං හැම වෙලාවෙම හුම්ම් කියන්නෙ නැහැනෙ අනේ..."

මං තොඳොල් වෙන්න ගත්තා.ඔයා ඒකට කැමති වෙලා වගේ.මට ඕන එපා කියන්න නෙමෙයි.ඒත් මං ආසයි ඔයා තරවටු කරන විදියට.

"බෑ බෑ...මං බකමූනි නම් ඔයා බකමූනා වෙන්නම ඕනි.නැත්නම් ඔට්ටු නෑ.එහෙම නෙමෙයි.ඒකට අකමැති වුනොත් මට තරහ වෙන්න වෙනවා ඔයත් එක්ක බකමූනො...ඔයා ඒකට කැමති වෙන්නම ඕනෙ.නැත්නම් ඔන්න මං තරහම තරහයි ඔයත් එක්ක."

ගිරවි වගේ කියවලා කියවලා ඔය කිව්වෙ.දැන් ඉතින් ඉඳලා හමාරයිනෙ.දැන් ඒකට කැමති වෙන්නම වෙනවා.අම්මගෙ පොඩි එකා ජීවිතේ පලමු වතාවට බකමූනෙක් වුනා අම්මෙ.

"හ්ම්ම්...දැන් ඉතින් මට අකමැති වෙන්න බෑනෙ නදී.කමක් නෑ මං බකමූනෙක් වෙන්නම් ඔයා වෙනුවෙන්.හැබැයි පුංචි ප්‍රශ්නයක් තියෙයි නදී."

"හොඳම වැඩේ.බකමූනා...ආවා මෙතන මට නම් දාන්න.මොකක්ද දැන් ඔය ප්‍රශ්නෙ...?" නදී මගෙ ඇස් දෙකට එබුනා.

"බකමූනො මෙහෙම දවල් තිස්සෙ ගං ඉවුරු වල උණ පඳුරු යටට වෙලා ඉන්නෙ නෑනෙ එයාලගෙ ගෑනු ලමයි එක්ක."


"එහෙනම්...?"

මම කියන්න හදන දේ නොතේරුනා වෙන්න නම් බෑ නදී ඔයාට.ඔයාටත් ඕන ඒක මටම කියලා කියව ගන්න.

"එයාල ගෑනු ලමයි එක්ක ඉන්නෙ රෑටනෙ පැටියො.බකමූනො ඇහැරලා ඉන්නෙ රෑටනෙ.එයාලා දවල්ට නිදා ගන්නවනෙ.හැබෑ බකමූනො වෙන්න නම් මෙහෙම දවල්ට මීට් වෙලා බෑ.අපිටත් මීට් වෙන්න වෙන්නෙ...."

"හා හා...ඇති ඇති...අම්මෝ..."

නදීට තේරුනා වැඩේ ඒ පාර නම්.නදී මට බර වෙලා එක පාරටම මාව තල්ලු කලා උණ පඳුර දිහාවට.මම නදීට යට වෙලා.අද දවසටම නොබැලුව විදියට නදී මගෙ ඇස් දෙක දිහාවෙ රවාගෙන බලාගෙන ඉන්නවා.මමත් එහෙමම හිටියා.ඊලඟට මොනා වේවිද දෙයියනේ.අනේ නදී මට බනින්න නම් එපා.විහිළුවක්නෙ කලේ ඉතින්.මං කිව්ව දේ ඔය තරම් බරපතලයිද නදී...



"වලත්තයා..."

තත්පර ගානකට පස්සෙ එහෙම කියලා දඟකාර හිනාවකින් වත සරසගෙන නදී ආයිමත් මට තුරුල් උනා.ඇති යන්තම්.ඔයාට තරහ ගියා කියලා මට හිතුනෙ නදී.මං හිතුවෙ ඔයා ඒක අමතක කරල දායි කියලා නදී.

"වල්ම වල් කොල්ලා...හිතේ ඇති නේද හැබෑ බකමූනෙක් වෙන්න.?.ආයිත් හෙම එහෙම කිව්වොත් බලා ගන්න පුළුවන් හොඳද.?"

නදී මටම තුරුල් වෙලා මටම තහංචි දානවා.කෝ මේ ලංකාවෙ තියෙනවයි කියන ප්‍රජාතන්ත්‍රවාදය.මෙහෙම නදීටම කතා කරන්න ඉඩ දෙන්න බැහැනෙ.

"ඉතින් අනේ ඔයාමනෙ කිව්වෙ නදී ඔයා බකමූනි නම් මමත් බකමූනා වෙන්න ඕනෙ කියලා.ඒකනෙ කිව්වෙ මං එහෙම.ඇයි ආයිත් කිව්වොත් මොනා කරන්නද මට මගෙ චූටි බකමූනි...ම්ම්.?"

මං නදීව ලං කරගෙන දෝතින් උස්සලා ලඟට අරන් නිකට හිමිහිට මිරිකන ගමන් ඇහුවා.

"ආයිත් කිව්වොත් එහෙම මං ගිලිනවා ඔයාව අමිල අයියෙ."

එක පාරටම මට ලොකු හිනාවක් ගියා.ඔයා නම් මවන්නෙ හීනමයි නදී.කියන්නෙම කරන්න බැරි දේවල්.බටු ඇටයක් වගේ ඉඳගෙන කොහොමද නදී ඔයා මාව ගිලින්නෙ.උදේ කිව්වා ටොක්කක් අනිනවා කියල.ඔය දඟ වැඩ හැමදාමත්ම කරන්න රත්තරං මගෙම තුරුලට වෙලා.මට හැමදාමත්ම ඔය දඟකාරකම උරුමයි නේද නදී.

"ඇයි හිනා වෙන්නෙ...?.මැට්ටා.." නදී දුකෙන් වගේ කිව්වා.මං හිනා වුන එක නදීට හරි ගිහින් නැහැ වගේ.

"අනේ....දුක හිතුනද පැටියො.මං හිනා වුනේ නිකම් නදී.ඔයා මාව ගිලිනවයි කිව්ව එකට මට හිනා ගියේ.වෙන දේකට නෙමෙයි.අනිත් එක මට ඒ තරම් හදිස්සියක් නෑ නදී කිසිම දේකට.මං එහෙම කතාවක් කිව්වෙ විහිළුවට.මං දන්නවනෙ ඔයා මගේමයි කියලා.මොනාට හදිස්සි වෙන්නද මං ඉතින්.අනික ඉතින් මලක් පිපුනු හැටියෙම සුවඳ විඳ ගත්තම ඒ මලේ කිසිම අගයක් නැති වෙනවනෙ නදී.තේරෙනව නේද...?.මල පිපුනෙ මගෙ ලෝකෙ නම් ඇයි මං මේ හදිස්සියේම රොන් ගන්න දඟලන්නෙ.හැමදේම වෙන්න ඕන විදියට වෙන්න ඕන කාලෙටම උනාවෙ.තරහයිද මා එක්ක මං කිව්ව ඒවට චූටි බකමූනියෝ..?"

පුංචි කෙල්ලගෙ ඇස් දෙකට එබෙන ගමන් මං ඇහුවා.අනේ පව්.වැහිබර අහසක් වාගෙ ඇස් කෙවෙනි දෙක.මමම ඔයාව හිනස්සලා ආයිත් මමම ඔයාට කඳුළු දෙනවා.ඔයා පව් නදී.ඇත්තටම ඔයා පව්.

"අනේ හිනා වෙන්නකො නදී...ප්ලීස්...මට බෑ ඔය ඇස් දෙකේ කඳුළු දකින්න පැටියො.ඔයා හොඳ ලමයනෙ.හිනා වෙන්න ඉතින්.කෝ බලන්න මෙහෙ."

ඔයා වගේ කෙල්ලෙක් නම් නදී.හරි නරකයි අනේ ඔයා නම්.මට කියවන්න ඉඩ දීලා ඔය අතින් කට වහගෙන හිනා වෙනවා.හැබෑ බකමූනියෙක් බකමූනට කරන්න වටින වැඩක්ද ඔය කරන්නෙ.ඒත් මං මුකුත් කියන්න ගියේ නෑ.ආයිත් මොනා හරි කිව්වා නම් ආයිත් ඔයා අඬනවා.ඒ හින්ද හිතට දැනුනු දේ එහෙමම නිවිලා යන්න ඉඩ දුන්නා මං.

"ඔය තරම් වැදගත් විදියට මං ගැන හිතනවට ඔයාට ගොඩක් පිං අමිල අයියෙ.ඔයා වගේ බඹරෙක් ගැන ඇහුවමයි මං මගෙ ජීවිතේටම."

පරිස්සමින් නදී.ඔයාගෙ අහිංසක බඹරට ඇස් වහ කට වහ වදීවි.ම්ම්.දැනුයි මතක් වෙන්නෙ නදී.ඉස්සරලා ඔයා කිව්වා නේද නදී ඔයත් හීනෙක ජීවත් වෙන කතාවක්.දැන් ඒක අහන්නද මං නදී...

"නදී පැටියො මං බඩ්ඩක් අහන්නද ඔයාගෙන්...?.හැබැයි ඔන්න බොරු කියන්න බැහැ."


නදී පුදුමෙන් වගේ මගෙ දිහා බැලුවා.බොරු කියන්නෙපා කිව්ව හින්දා පුදුම හිතෙන්න ඇත්තෙ ඔයාට නදී.

"බය වෙන්න දෙයක් නෑ අනේ.මං ගිලින්නෙ නෑ ඔයාව අර ඔයා මාව ගිලිනවයි කිව්ව වගේ...ඌයි...රිදෙනව නදී..."

නදීට දැන් ගිලින කතා කියන්නත් බෑ.තරහ යනවා ගොඩක්.ඇත්තටද බොරුවටද මන්දා.නදී මගෙ කන් පෙත්ත මිරිකුවා හයියෙන්.අනේ මට රිදුනා නදී.ආයිත් හෙම මිරිකන්නකො බලන්න එහෙම.අනිනවා ටොක්කක් ඔයාට රිදෙන්නම.

"පණ්ඩිත කතා නැතුව කියන්නකො මොකක්ද බඩ්ඩ කියලා..."

මම නම් නෙමෙයි නදී පණ්ඩිත වෙලා ඉන්නෙ.ඔයා තමයි පණ්ඩිතයෙක් වෙලා ඉන්නෙ දැන්.උදේ නම් හිටිය හැටි කඳුළු පෙරාගෙන දෙකොපුල දිගේ.අහිංසක හා පැටිච්චි වගේ.

"මොකක්ද අර උදේ එන ගමන් කිව්ව හීනෙක කතාව නදී..?.කියන්නකො මටත්.මමත් හිතේ තියං හිටිය දේවල් කිව්වනෙ ඔයාට.මටත් පුළුවන් නම් ඔයාට උදව් කරන්නම්කො හීනෙ හැබෑ කර ගන්න.කිව්වෙ නැත්නම් හැබැයි මං තරහ වෙනව ඔන්න."

"හා එහෙනම් තරහා වෙන්න.මං කියන්නෙම නෑ.ඔන්න මමත් තරහයි ඔයත් එක්ක."


නදී දඟකාර විදියට හිනා වෙවී කිව්වා.මේ විදියට ගියෝතින් නම් මං අසරණ වෙනවා නදී.ඔයා නම් බකමූනියෙක් නෙමෙයි.කපටිම කපටි නරිච්චියෙක්.

"අනේ කියන්නකො නදී...මං තරහ වෙනවයි කිව්වෙ බොරුවටනෙ අනේ.ඔයා දන්නවනෙ මට බෑ කියලා ඔයත් එක්ක තරහ වෙලා ඉන්න.කියන්නකො ඉතින් අනේ."

"හ්ම්ම්...ඒ හීනෙ දැන් හැබෑ වෙලා ඉවරයි අමිල අයියෙ."

"ඒ කිව්වෙ ඔයාගෙ අහිංසක හීනෙ මමද නදී...?"

"ඔව් බකමූනො.ඔයා තමයි මගෙ ලෝකෙ තිබුන ලොකුම හීනෙ.හිතේ හිර කරගෙන හිටිය ආදරේ කියා ගන්න විදියක් නැතුව මං හිටියෙ අමිල අයියෙ.කියන්න වෙලාවක් නැතිව හිටියෙ මං.ඒත් අද ඒ හීනෙ හැබෑ උනා.මටත් හොරෙන්.මං කිව්වෙ නෑ ඔයාට ආදරෙයි කියලා.කියවුනා මට.ඒ තරමක් මං ආදරේ කලා ඔයාට අමිල අයියෙ.සත්තකයි.මමත් ඔයා වගේම මේ ආදරේ හිතේ හිර කරන් හිටියා මෙච්චර කාලයක් තිස්සෙ එදා ඉඳන්ම.ඔයා ඒ දඟකාර ආදරේ මගෙන් ගත්තා අද..."

දිගටම කියවගෙන යද්දි මං මගෙ නදීගෙ ඇස් දෙක දිහාවෙම බලාගෙන.ඒ ඇස් දෙක නිල් පාටට දිලිසෙනවා.මං දන්නවා නදී.ඒ ආදරේ හැබෑවක්ම වග.ඒ හින්දයි ඔයාගෙ ඇස් දෙක ගොඩාක් ලස්සනට දිලිසෙන්නෙ.කතාවෙ අන්තිම හරියට යද්දි නදීගෙ ඇස් දෙකෙන් කඳුළු ගලනවා.මං මගෙ මැණිකව ලං කරගෙන දෑඟිලි වලින් ඒ කඳුළු වැල් හිමිහිට පිහලා දැම්මා.එහෙම කරද්දි ඔයා අහිංසක විදියට මගෙ දිහා බලපු විදියට මගෙ ඇස් දෙකටත් කඳුළු උනනවා නදී.ඇත්තමයි අදටත් කඳුළු උනනවා.ඒ තරම් අහිංසකයි ඔය සඳවත මගෙ පැටියො.සත්තයි.මට ගොඩාක් ආඩම්බරයි ඔයාව මගේම වුනු එකට නදී.මේ ලෝකෙන්ම මං තරම් වාසනාවන්තයෙක් තවත් නම් නැතුව ඇති නදී.

ආයිමත් සැරයක් නදීව දෝතින් අරගෙන උණුහුමට සිපගන්න ආස හිතුනා මට.නිකටෙන් අල්ලලා හිමිහිට මූන මට ලං කරගෙන දෙතොලට ලං වෙලා මං ඇස් දෙක පියා ගත්තා.මොහොතකින් දෙතොල් එකිනෙක ගෑවෙන මායිමක තිබුනත් හෙව්වට හෙව්වට ඔයාගෙ රෝස පාට හීනි දෙතොල් පෙති හොයා ගන්න බැරුව මං ආයිමත් ඇස් දෙක ඇරියා.අනේ ඔයා හරිම නරකයි නදී.දඟමල්ලක් ඔයා නම්.මං ලං වෙන ටිකට මේ කෙල්ල තොල් පෙති දෙක ඇතුලට අරන් හංගගෙන.මං ඉතින් කොහෙන් හොයන්නද...

"අනේ නදී..." මං හිමිහිට කිව්වා.

එකපාරටම නොහිතපු මොහොතක නදී මගෙ දෙතොල් සිපගත්තා.පුදුම තරම් උණුහුම් වෙලා ඔයාගෙ දෙතොල රත්තරන්.ජීවිතේ පලවෙනි වතාවට මම පුංචි කෙල්ලෙක්ගෙ උණුහුම් දෙතොලක පහස ලැබුවෙ නදී.මං වාසනාවන්තයි මහ ගොඩක් නදී.ඔයා වගේ දඟකාරියෙක්ව ලැබෙන්නෙ කීයෙන් කී දෙනාටද.ඒ අතලොස්සක් ඇතුලෙ මං ඉන්නවයි කියන්නෙ මොන තරම් නම් මං වාසනාවන්තයිද.ගොඩක් වෙලාවක් තිස්සෙ නදී එහෙමම හිටියා.හරියට හීනෙන් ඇහැරුනා වගේ නදී ආයිමත් මට තුරුල් වුනා.

"වෙලාව කීයද මහත්තයෝ...?"

"පහටත් ලඟයි පැටියො.අපිට දැන් නම් යන්න වෙයි වගේ නදී.ඔයා අඳුර වැටෙන්න කලින් ගෙදර යන්න ඕනනෙ."

මං නදීට එහෙම කිව්වෙ මට ගොඩක් බය හිතුනු හින්දා.ඔයා ගෙදර යද්දි පරක්කු උනොත් හෙම ඔයාට අම්ම අහන දේවල් වලට උත්තර දෙන්න ගියාම කියවුනොත් හෙම මං ගැන මුකුත්.මට බයයි ඔයාව මට නැති වෙයිද කියලා නදී.

"ඔයා අම්මිට කියලා ආවෙ කොහෙ යනවා කියලද අමිල අයියෙ...?"

"මගෙ යාළුවෙක්ගෙ ගෙදර යනව කියලා.ඔයා කොහෙ යනවා කියලද ආවෙ නදී..?"

ඒකත් දැන ගන්න ඕනනෙ මං.මේ කෙල්ල පන්ති යනවා කියලා වත් ආවා නම් අපි දැනටමත් ගොඩාක් පරක්කුයි.

"මං නම් අම්මිට කිව්වා ඇත්තම..."

කිසිම ගානකට නොගෙන නදී කිව්වා.දෙයියනේ...ඔයා නම් හරි ලමයෙක් තමයි.දැන් ඉතින් මං ඉවරයිනෙ නදී.ඇත්තටම කිව්වද ඔයා එතකොට.

"ඇත්තටම කිව්වද නදී ඔයා අම්මිට එහෙම.මේ මං මීට් වෙන්න එනවයි කියලා...?" මට අදහා ගන්නත් බැහැ නදී.

"සත්තයි.මං එහෙමම කිව්වා.මං කිව්වා අමිල අයියව මීට් වෙන්න යන්නෙ අම්මි.අනේ මට එපා කියන්න එපා අම්මි.මට එයාව ඕනෙ කියලා."

"දෙයියනේ...හිතා ගන්නත් බැහැ මට නදී.අම්මි මොකක්ද කිව්වෙ එතකොට...?.අම්මි මාව දන්නෙ නෑනෙ නදී ඉතින්."

"නෑ...අම්මි දන්නව ඔයාව.එදා කෝල් එක ගන්න වෙලාවෙ අම්මිත් අහගෙන හිටියා ඒක.අම්මි අපි කෝල් කරපු ගොඩක් ඒව අහගෙන හිටියා.අම්මිට මං ඔයාගෙ ෆොටෝ එකකුත් පෙන්නලා තියෙන්නෙ.අම්මි ඇහුවා මගෙන් ඔයාට ආදරේ කරන්න හිතෙන්නෙ නැද්ද කියලත් බකමූනො...ඊට පස්සෙ තමයි මං අම්මිට කිව්වෙ මං ඔයාට ආදරේ කරනවා කියලා.අපේ අම්මි හරි හොඳයි අනේ."

"අනේ මට ඒ අම්මිව බලන්න ඕන නදී.යන ගමන් මං එන්නද අම්මිට කතා කරන්න...?.ඒ අම්මිගෙ දෙපා වදින්න ඕනෙ මට."

"එන්න ඉතින්.මට මොකෝ.අම්මිත් කිව්වා පුළුවන් නම් ඔයාවත් එක්කං එන්න කියලා."

දෙයියනේ ඔයා ඔය ටික කලින් කිව්වා නම් මේ වෙද්දි මං ඔයාලගෙ අම්මිත් එක්ක අපි දෙන්නගෙ අනාගතේ ගැන දහසක් දේවල් කතා කරන ගමන් නදී.මට දැන් හදිස්සියි.ඔයාලගෙ ගෙදරට දුවගෙන එන්න හිතයි මට.ඉක්මනට අපි යමුකො නදී...

"හ්ම්ම්...මං එනවා නදී දැන් ඔයාලගෙ ගෙදර මේ ගමන්ම.අපි යමුකො දැන්.දැන් පහයි වෙලාව.යද්දි හය හමාර වත් වෙයි.ඒක තමයි එහෙනම් කෙල්ල බය නැතුව හිටියෙ වෙලාවට යන්න දිදී..."

නදී ඒකට උත්තර දුන්නෙ නෑ.යාන්තමට හිනා වුනා විතරයි.නදීටත් අම්මිගෙ බෑණා පොඩ්ඩ පෙන්නන්න හදිස්සියි වගේ ගොඩක්.නදී ගලවලා තිබුනු සෙරෙප්පු කුට්ටමත් දාගෙන හෙල්මට් දෙකත් අතට අරගෙන වතුර හෙම බීලා ලෑස්ති වෙනවා ගෙදර යන්න.

"අපි යමු මහත්තයෝ..."

මං හෙල්මට් දෙක එක අතකින් අරගෙන නදීව අනිත් අතින් අල්ල ගත්තා.අපි දෙන්නා පාක් එක ඇතුලට ගිය විදියටම අත් අල්ලගෙන එලියට ආවා.දැන් නම් හිතේ තිබුනු මහා බරක් නිදහස් උනා වගේ.නදීලගෙ ගෙදරින් කැමතියි නම් අපේ ගෙදරින් නදීට කැමැත්ත දෙන්නෙ ඉහලින්ම.ඒක මට හොඳටම විශ්වාසයි.බයික් එකට නැඟලා අපි දෙන්නා ආපහු යන්න පිටත් වුනා.පිටත් වෙන්න මොහොතකට කලින් මගෙ නදීගෙ නළලත ආදරෙන් සිප ගත්තා මං එක සැරයක්.පණ්ඩිතයා වගේ නදී ඔහොම කිව්වට කවුද දන්නෙ ගෙදරට ගියාම මොනා වේවිද කියලා.




* ආදරණීය_නදී... ( 1කොටස )



මං තවමත් මඟ බලාගෙන.මේ කෙල්ල එනවයි කිව්ව වෙලාව පහු වෙලා දැන් පැයකටත් ලං වෙලා.ඒත් තාමත් නෑ.ඔරලෝසුවේ කටු කැරකෙන එකත් නතර වෙලාද මන්දා.කියද්දි කිව්වෙ නම් හරියට ඒ වෙලාවෙ මුණ ගැහෙන්න ඕන තරම් හදිස්සියකින් වගේ.මොනා උනත් මට එන්න කිව්වෙ මාව දැකලම කතා කරන්න ඕනකමක් ඇති හින්දනේ.හිත චුට්ටක් විතර රිදුනත් මම ඒක ගානකට නොගෙන බලාගෙන හිටියා.තව කොච්චර නම් වෙලා බලං ඉන්නද මෙහෙම.ඒ මදිවට ෆෝන් එකත් ඕෆ් කරගෙනනෙ.අනේ එන්නකො ඉක්මනට නදී.මම මටම කොඳුරනවා.

අද වෙනකම් ඉවසගෙන හිටියෙ කොහොමද කියලා හිතා ගන්න බෑ තවමත් මට.නදී එදා මට කතා කරද්දි මගෙ ඇස් දෙක තෙත් වෙලා ගියා කියලා නම් මට හොඳට මතකයි.එදා,පහුගිය බදාදා කෝල් එක ගත්තෙත් නදී.මගෙ ෆෝන් එකෙත් ක්‍රෙඩිට් තිබුනෙ නෑ.

"හෙලෝ.ගුඩ් ඊවිනින් අමිල අයියෙ. ....." නදී එහෙම කියලා හැමදාමත් මට කියන නික් නේම් එකත් කිව්වා.

"ඔන්න ඉතින් අදත් කිව්ව නේද ඒක. හැබැයි මං තරහ වෙනවා හොඳද? චූටි ......" මං ගොඩාක් දුක හිතුනු විදියට හෙමිහිට කිව්වා.

"අනේ... හරි හරි ඉතින්.මං විහිළුවටනෙ කිව්වෙ.මේ කොල්ලා නම් හරිම නරකයි.විහිළුවක් වත් තේරුම් ගන්නෙ නෑ.මං තරහයි ඔයත් එක්ක." නදීට දුක හිතිලා වගේ.ඔන්න දැන් තමයි වෙලාව.

"හරි ඉතින් පැටියො.මමත් විහිළුවට තමයි ඉතින් එහෙම කිව්වෙ.තරහ නෑනෙ මා එක්ක?..." මම හීනියට කෙල්ලව සනසන්න ගත්තා.

"මං තරහ නෑ.මට ඔයත් එක්ක තරහ වෙන්න දුකයි අමිල අයියෙ.ඒක ඔයා දන්නවනෙ.ඒක නෙමෙයි.දැන් අහන්නකො ඉතින් ඇයි මං කතා කලේ කියලා..." නදී ආයෙත් කියනවා.

"මං දන්නවා ඔයා මාත් එක්ක තරහ වෙන්නෙ නෑ කියලා...හා ඉතින් කියන්නකො පැටියො මේ අවේලාවෙ ඇයි මාව මතක් උනේ කියලා?"

"මට ඔයාව මීට් වෙන්න ඕන අමිල අයියෙ.ප්ලීස්...මට ආසයි ඔයාව මගෙ ඇස් දෙකෙන්ම දැකලා කතා කරන්න.එන්න පුළුවන්ද ඔයාගෙ චූටි .....ව මුණ ගැහිලා යන්න.එකම එක දවසකට.ප්ලීස්...?"

දෙයියනේ...මට දැනෙනවා මගෙ හුස්ම හිර වෙනවා වගේ.අදහා ගන්න වත් බෑ.කොහොමද මේ පුංචි කෙල්ල මගෙ හිතට මේ තරමක් ලං උනේ.අපි කතා කරන්න පටන් ගත්තෙත් මේ ඊයෙ පෙරේදා.එතකම් මං දන්නෙ නෑ කට හඬ වත්.එහෙව් ඔයාට ආස හිතුනද මාව ඔය නිල් කැට දෙකෙන් දැක ගන්න රත්තරං.

"ඇයි කතා නොකරන්නෙ...එන්න බැරිද?...කමක් නෑ එහෙනම් අමිල අයියෙ.මං තරහා නෑ.මට ඔයාට බල කරන්න බැහැනෙ."

පව්... උඹ අර අහිංසකීගෙ පුංචි හිත තැලුවා නේද මෝඩයෝ...මගෙ හිත මට බනිනවා.නෑ...මං කවමදාකවත් එයාගෙ හිත තලන්නෙ නෑ.මං මටම පොරොන්දුවක් උනා.මට සමා වෙන්න නදී.මං ඔයාව රිද්දන්නේ නෑ.ඔයාව රිද්දලා මගෙ හිත හදා ගන්න මට බෑ.

"දුක හිතුනද නදී? අනේ සමා වෙන්න දුක හිතුනා නම්.මට කියා ගන්න දෙයක් නෑ රත්තරන්.මට අදහා ගන්නත් බෑ.ඒකයි කතා කලේ නැත්තෙ.අනේ මට සමා වෙන්න.එන්නම් පැටියො.ඔයා කියන ඕනෙම තැනකට එන්නම් මං.මට තැනක්,දිනයක් කියන්නකො ඉතින්..."

අනේ මගෙ සුදු මැණිකෙගෙ පුංචි සඳ වත හිනාවකින් පිරීයන්.මං ඉත සිතින් ප්‍රාර්ථනා කලා.

"මං දන්නවනේ.මගෙ හොඳ අමිල අයියනෙ.උම්මා...මං පස්සෙ මැසේජ් කරන්නම්.දැන් මං තියන්නද .......?"

දෙයියනේ...ඉස්සර මට නිකමට වත් උම්මා කියන්න දෙන්නෙ නැතුව ඊයා කිව්ව ඔයා මට දැන් උම්මා දෙන්නත් පටන් අරගෙනද නදී...

"තියන්න පැටියො එහෙනම්.පරිස්සමින් ඉන්න.බුදුසරණයි. චුටි ....."

තවමත් එයාට කියා ගන්න බැරි උන අසීමිත සෙනෙහස හදවතට තුරුල් කරගෙන මං කිව්ව හෙමිහිට.ඒක මගෙ ලඟින් ඉන්න කෙනෙක්ට වත් ඇහෙන නෑහෙන තරම්.ඒත් මං දන්නවා.ඔයාට ඇහෙනවා මං කිව්ව එක.



ඔයත් හරියට අම්මගෙ තුරුලෙ උණුහුමට ගුලි වෙලා තොඳොල් වෙවී හුරතල් කතා කියවන පුංචි කෙල්ලෙක් ගානයි නදී.කිසිම දේක බරක් හෑල්ලුවක් නැතිව පිස්සු කතන්දර මහ ගොඩක් එකතු කරගෙන ඔහේ කියවනවා.වෙලාවකට බැන ගන්නවා දෙන්නට දෙන්නා පරාද නොවෙන තරමට.
එයා එක්ක ඉන්නකොට මමත් ඉන්නෙ හරිම සැහැල්ලුවෙන්.හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා.කෝල් එකක් අරගෙන පැයක් හමාරක් ගත වෙනවා දැනෙන්නෙත් නෑ.අන්තිමට "මං තියන්නම් අමිල අයියෙ" කියලා කියනව ඇහෙනකොට තමයි මතක් වෙන්නෙ පැයක් විතර ගත වෙලා ගිහින් කියලා.අනේ එපා කියල කෑ ගහන්න තරම් හිතයි මට.ඒත් කවුද දන්නෙ ඉතින් නදී මගෙමයිද කියලා.

ම්ම්...මගේ ෆෝන් එක රින්ග් වෙනවා හීනෙකින් වගේ ඇහුනා.නම්බර් එක නදීගෙ.ඒ කියන්නෙ කෙල්ල මගෙ ලඟටම ඇවිදින්ද.
මෙච්චර වෙලා හිතේ තිබුන සෝ සංකා නිවීගෙන යනව මට දැනුනා.

"මොකද අමිල අයියෙ අනේ කරන්නෙ...කී සැරයක් ගත්තද මං.මේ තුන් වෙනි සරේ.හීන බලනවද ඔතෙන්ට වෙලා ඉඳගෙන..?"
දිය ඇල්ලක් කඩා හැලෙන්න පටන් ගත්තා වගේ.එක දිගටම.ඔතෙන්ට වෙලා ඉඳගෙන කිව්වෙ ඔයාට මාව පේනවද නදී.

"සොරි නදී...මට එදා ඔයා දුන්නු කෝල් එක මතක් උනා.මට එදා මාත් එක්ක කතා කරපු පිස්සිව මතක් උනා."

"පිස්සි...?...ආ ඉන්නකො මම එනකම්.උඩ පැනල හරි අනිනවා ටොක්කක් ඔයාට.කොහෙද ඉන්නෙ ඔයා.මං දැන් ඇවිත් ගොඩක් වෙලා...ඉක්මනට එන්නකෝ.මට එපා වෙනවනෙ මෙහෙම ඉන්න ගියාම ...... අනේ."

වෙනදා වගේම අහිංසක තරවටුවක්.ඔක්කොම ටික එකතු කරලා අද ටොකු දෙතුන් සීයක් කන්න වේවිද මන්දා...

"ඉන්න කි
ව්ව තැන තමයි මං ඉන්නෙ පැටියො.මෙච්චර වෙලා හෙල්මට් එකක් ඇතුලට රිංගගෙන හිටියෙ.දැන් චුට්ටකට කලින් ඒකෙන් එලියට ආවෙ.ඔයානෙ පරක්කු වෙලා තියෙන්නෙ ඉතින්."

ඔයත් ඉන්නෙ එතනම නම් කෝ ඔයා නදී...මගෙ හිතට ඉවසුම් නෑ.හැංගිලා ඉන්න තැනකින් එන්නකො එලියට අනේ.මටත් වැඩිය දැන් ඔයාව දැක ගන්න දඟලන්නෙ මගෙ හිත.ටිකක් ඉවසලා ඉන්න කියලා තරවටු කරන්න හිතයි මට.

"හ්ම්ම්...හෙල්මට් එකෙන් එලියට ආවට මට ඔයාගෙ ඇස් දෙක පේන්නෙ නෑනෙ.සන් ග්ලාස් දෙකට අද කොල්ලා හරි ලස්සනයි."

ඔයා ඒක කිව්වද නැත්නම් කියවුනාද? ඒ කියන්නෙ ඔයාට මාව පේනවා.පුංචි දඟකාරි ඇයි අනේ හැංගිලා ඉන්නෙ.කෙල්ලෙක් පලවෙනි වතාවට ලස්සනයි කිව්වමයි.මම කොලර් එක චුට්ටක් උස්ස ගත්තා.

"හොර කෙල්ල.දැන් වත් අනේ හැංගිලා ඉන්න තැනකින් එන්නකො එලියට.ඔයා මගෙ ලඟට එනකම් මං සන් ග්ලාස් ගලවන්නෙ නෑ.."

අනේ ඔය දඟකාරකම මගෙ නෙමෙයිද රත්තරන්?.මං හැම දෙවියෙක්ටම හිතින් කිව්වා ඔයාව මටම උරුම කරලා දෙන්න කියලා...

"පිස්සා...ඔහොමම ඉන්න මං එනවා.හැබැයි මං ඇවිත් කතා කරනකම්ම ඇස් දෙක පියාගෙන ඉන්න ඕනෙ.ඇස් ඇරියොත් හෙම මං ආපහු යනවා.පුළුවන්ද ඇස් පියාගෙන ඉන්න?"

දෙයියනේ...මෙච්චර කාලයක් හරි අමාරුවෙන් ඉවසලා කොහොමද මං ඔයාව ආයිත් එලවා ගන්නෙ නදී.ඔයාව දකිනකම් මට ඉවසිල්ලක් නෑ.කොටින්ම කිව්වොත් දැන් නම් මට ඔයාව නොදැක ඉන්නම බෑ.

"හරි රත්තරන්.මං ඇස් පියාගෙනම ඉන්නම්.එන්නකො එහෙනම්."


අපමණ දුකකින් මං ඇස් දෙක පියා ගත්තා.මේ ගෙවෙන තත්පර කීපය ගෙවා ගන්න කලින් මට මේ සංසාරෙ ගෙවා ගන්න පුළුවන් වේවි නදී.කමක් නෑ.කල්පයක් වත් මං ඉවසන්නම්.කෝ ඉතින්.තවමත් නෑනෙ ඔයා.හදිස්සියේම ෆෝන් එකෙන් බීප් ටෝන් එකක් ඇහුනා.මං දන්නවා ඔයා දැන් තමයි කෝල් එක කට් කලේ.ඒ කියන්නෙ ඔයා මගෙ ලඟටම ඇවිදින්.ඒත් ඉතින් මට කතා කරන්නකො.මගෙ ඇස් දෙක පියාගෙනනෙ මං ඉන්නෙ.කල්ප කීයක් මං ඉවසන්නද.

"අපෝ...භාවනාවක්ද අමිල අයියෙ?.දැන් ඇස් දෙක අරින්නකො ඉතින්.මේ මං ඇවිත් ඉන්නෙ"

පුංචි සුරංගනාවි මගෙ ලඟට ඇවිදින්.දැන් මට ඇස් අරින්න අවසරයිලු.කට හඬ ඇහුනෙ ඉස්සරහින් හින්දා මං එක පාරටම බැළුවෙ ඉස්සරහ.අනේ.....කෝ දෙයියනේ ඔයා...මගෙ ඇස් දෙකේ කඳුළු පිරුනා.හීනියට දෙකොපුල් දිග ගලාගෙන ආපු කඳුළු කැටයක් මං ඇඳගෙන හිටිය සුදු පාට ඩෙනිම් කලිසමට වැටුනා.ටික වෙලාවක් යනකම් ඒ පැල්ලම එහෙමම තියේවි.තවත් කල්පයක් ගෙවීගෙන ගියා.මමත් නොදැනම මට ඉකි ගැහුනා.කලා වැවේ බැම්ම එක පාරටම කඩාගෙන ගිහින් වාගෙ නවත්වා ගන්න බැරි තරමට මගෙ දෑසින් කඳුළු කඩාගෙන හැලෙන්න ගත්තා.

"ඇයි අමිල අයියෙ අඬන්නෙ..? මට සමා වෙන්න අමිල අයියෙ.අනේ ප්ලීස්...සමා වෙන්නකො රත්තරන්.මං විහිළුවටනෙ හැංගිලා හිටියෙ.ඔයාට ඔය තරම් දුක හිතෙයි කියලා දැනං හිටියා නම් මං කීයටවත් මෙහෙම කරන්නෙ නෑ අමිල අයියෙ.ප්ලීස්.හිනා වෙන්නකො අනේ..."

නදීටත් දැන් තේරිලා වගේ මට දැනුනු දුක.පව් කෙල්ලගෙ ඇස් දෙකත් තෙමිලා.අනේ මට සමා වෙන්න නදී.මං ආවෙ ඔය නිල් කැට දෙක දුකින් පුරවන්න නෙමෙයි නදී.සත්තකයි.මගෙ කඳුළු වල පේනවද මේ පිස්සගෙ හිත පුරා ඉහිරුණු ආදරේක තරම නදී... සෑහෙන වෙහෙසක් දරලා මං යාන්තමට හිනා වෙලා බැලුවා මගෙ වස්තුව දිහා.රෝස පාට දෙකොපුල දිග කඳුළු ගලනවා.බිම බලාගෙන කිසිම සද්දයක් නෑ.තොල් දෙක වෙව්ලනවා.අනේ...ඔය පුංචි මූනු පොඩ්ඩ හිනස්සවන්න බලාගෙන මං ආවෙ නදී.මෙච්චර කාලයක් නොඉවසිල්ලෙන් බලාගෙන හිටියෙ මේ ලස්සන මගෙ ඇස් දෙකෙන් දැක ගන්නනෙ නදී.ඔය ඇස් දෙකේ කඳුළු පුරෝගෙන මාව තවත් රිද්දන්නෙපා නදී.

"මට සමා වෙන්න නදී...මට ඕනි උනේ ඔයාව අඬවන්න නෙමෙයි.ඒත් මට ගොඩක් දුක හිතුනා රත්තරං.සත්තයි.මහා ගොඩක් දුක හිතුනා මට.අද වෙනකම් මං ජීවත් උනෙත් ඔයාව දැක ගන්න නදී.ඊයෙ රෑ මං නිදා ගත්තෙත් නෑ.රෑ තිස්සෙම ඇහැරගෙන මං අද ගැන කල්පනා කලා.ඒකයි මට ඒ තරම් දුක හිතුනෙ.ඒත් මං තරහ නෑ.මට බෑ ඔයත් එක්ක තරහ වෙන්න.මං දන්නවා.ඔයාටත් බෑ මාත් එක්ක තරහ වෙන්න.කෝ බලන්න මගෙ ඇස් දෙක දිහා.මේ ඇස් දෙක දිහාවෙ බලාගෙන නේද කතා කරන්න ඕනි කිව්වෙ.ම්ම්...හොඳ ලමය වගේ හිනා වෙන්න චුට්ටක්.මගෙ හිත සැනසෙන්න වත් හිනා වෙන්න චුට්ටක් රත්තරං.ප්ලීස්..."

ළා රෝස පාට වෙලා තිබුනු නදීගෙ පුංචි නිකටෙන් හෙමිහිට උස්සලා එයාව මගෙ දිහාට හරව ගන්න ගමන් එක දිගටම මං කියවගෙන ගියා.නදීට කියන්න දහසකුත් දේවල් ඇති.ඒත් එයාට මුකුත්ම කියන්න ඉඩක් දුන්නෙ නෑ මං.මේක මහ පාර නොවෙන්න මං ඔයාව මගෙ පපුවට තුරුල් කරගෙනයි ඔයාව සනසවන්නෙ නදී.ඔය ඇස් වල කදූළු පිහදාන්නෙ මගෙ තුරුලට අරගෙනයි මං.ඒත් මිනිස්සු දැක්කොත් මොනා කියාවිද.මිනිස්සුන්ට අපේ හිත් වල ලියැවිලා තියෙන දේවල් ආත්ම ගානකට තේරුම් ගන්න බැරි වේවි නදී.ඒ තරම් මිනිස්සු කුහකයි.තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ඉන්නෙ අතලොස්සක් විතරයි නදී.ඒත් මට මේ මදි මගෙ පැටියො.හිතට හොඳටම මදි.අපමණ දුක දරාගෙන මං මගෙ රත්තරන්ව ටිකක් ලං කර ගත්තා.හෙමිහිට ඇස් දෙකින් ගලන කඳුළු වැල් පිහලා දැම්මා.කවුරු මට බැන්නත් කමක් නෑ නදී.මට ඔයාව ඊට වැඩියෙන් වටිනවා.ඒත් මට තවමත් ඇඬෙනවා නදී.මං මේ තරම් බොලඳයිද කියලා මට හිතෙනවා.
දුක හිතෙනවා ඔයාගෙ ඇස් දෙක දිහාවෙ බලන්නවත් නදී.ඒ ඇස් මලානික වෙලා.ටිකකට කලින් කොච්චර නම් සතුටින් හිනැහෙන්න ඇතිද මේ ඇස් පොඩි දෙක.හීනියට මගෙ හිත රිද්දලා ඔයා සතුටු වුනු තරම්.ඔය විදිහට මගෙ දිහාවෙ බලන්නෙපා නදී.ඒත්...මට මෙහෙම ඇඬුනු පලියට ඇයි ඔයා අඬන්නෙ.මං වෙනුවෙන් දුක් විඳින්න තරම් ඔයා මගෙ කවුද නදී.ඔයා කවුද මගෙ.ඔයාව ලං කර ගත්තට වත් ඔයා මොකුත්ම කිව්වෙ නෑ.දෑහැට දැකලා වත් නැතිව හිටි මං වෙනුවෙන් ඇයි මේ තරම් අඬන්නෙ නදී.මට හිතන්න දෙන්න නදී.කිසිම දෙයක් මට තේරුම් ගන්න බෑ.හිතට දැනෙන එකම එක ඇත්තට මමත් ඉඩ දෙන්නද නදී

මෙතන කතා කරන්න බැහැනෙ රත්තරං.නගින්නකො.අපි යමු කොහෙට හරි ඈතකට.ගිහින් නිදහසේ කතා කරමු.තරහයිද මාත් එක්ක ඔයාව ඇඬෙව්වට...?"

හරිම අමාරුවෙන් මං වචන ටිකක් ගලපා ගත්තා.නදී යාන්තමට හිනා වෙලා මා දිහා බලලා නැහැ කියන්න වාගෙ ඔලුව වැනුවා.දැනුයි හිත චුට්ටක් නිදහස් උනේ පැටියො.ඇත්තමයි.මං හරි බයෙන් හිටියෙ ඔයා මාත් එක්ක තරහෙන ඇති කියලා.එන්න අපි යමු නදී. කවුරුත්ම නැති නිදහස් තැනකට අපි යමු නදී.ඔයාට ඇති තරම් මේ ඇස් දෙක දිහාවෙ බලන් ඉන්න පුළුවන් තැනකට අපි යමු.මගෙ හිත කියනවා.

"යමු"

බයික් එකට නැඟලා තත්පර ගානකට පස්සෙ නදී හෙමිහිට මිමිණුවා.තවමත් මේ කෙල්ල අඬන එක නවත්තලා නෑ වගේ.අත් දෙකත් හීතල වෙලා ගිහින්.මං ඒ අත් දෙක අරගෙන මගෙ ඉන දෙපැත්තෙන් දා ගත්තා.අඬපු මහන්සියටමදෝ මන්දා නදී මගෙ ඇඟට හේත්තු උනා.කවුරු දැක්කත් කවුරු මොනා කිව්වත් මට කමක් නෑ නදී.ඔයා ඔහොමම ඉන්න.මං ඉන්නවනෙ ඔයාට.ඔයාට නරකක් වෙන්න දෙන්නෙ නෑ මං.තව ටික වෙලාවක් ඉන්න.ඔය දුක මං තුනී කරන්නම්.

*******************

පැය දෙකක් විතර යද්දි අපි ගන්නෝරුව පහු කරන ගමන්.තව ටික වෙලාවක් ඉවසන්න මගෙ පැටියො.ඔයා තවම ඉන්නවා නේද මාත් එක්ක.සද්දයක් වත් නෑ.නදී එහෙන් ආපු විදියටමයි තවමත්.මගෙ ඇඟට හේත්තු වෙලා පිස්සු කෙල්ල ඉන්න අපූරුව.ඉන්නකො මං හොඳ වැඩක් කරන්නම් ගියාට පස්සෙ.

"නදී...ඔයා නිදාගෙනද ඉන්නෙ...?"

මට ලෝබ හිතුනා මගෙ මැණිකව සද්ද නැතිව එක්කං යන්න.

"හ්ම්ම්..."

බකමූණෙක් වගේ උත්තර දුන්නු හැටි විතරක් මේ කෙල්ල.ඒත් නිදාගෙන නම් කොහොමද ඔයා කතා කලේ නදී.

"ඉතින් අනේ...නිදාගෙන නම් කොහොමද කතා කරන්නෙ මාත් එක්ක.හීනයක් වත් බලන ගමන්ද...?"

මහන්සියිද මන්දා...ඒත් අනේ මට පාළුයිනෙ රත්තරං ඔයා කතා නොකරද්දි...

"හ්ම්ම්...මං මේ ඉන්නෙත් හීනෙකද කියලා හිතෙනවා මට අමිල අයියෙ.අනේ මට හරි මහන්සියි අමිල අයියෙ...මං ටිකක් මෙහෙමම ඉන්නද..තරහ නෑ නේද...?

ඔයා ඔහොම ටිකක් නෙමෙයි.ආත්ම ගානක් ඉන්නම් කිව්වත් මං එපා කියන්නෙ නෑ නදී.ඔයාට ඕනි නම් මගේ ජීවිතේම උනත් මං සින්නක්කරේටම ලියලා දෙන්නම්.ඒත් මොකක්ද ඔයා ඉන්න හීනෙ නදී.අහන්න නම් හිතෙනවා.ඒත් මට දුකයි ඔය හිතට තවමත් කරදර කරන්න නදී.මං ඒක පස්සෙ අහන්නම් නදී.මට හිතා ගන්න බෑ.ඔයාගෙ හීනෙ මටත් කිව්වොත් මං ඔයාට ඒ හීනෙ හැබෑ කර ගන්න උදව් කරන්නම් මට පුළුවන් විදියට නදී.මමත් ඉන්නෙ හීනෙක තමයි.ඒත් ඒ හීනෙ මං කවදා හරි දවසක හැබෑ කර ගන්නවා. මගෙ මැණික එදාටත් මගෙ ලඟින්ම ඉන්නවා නේද...?

"මං මොකට තරහ වෙන්නද නදී ඔයත් එක්ක.එහෙනම් අපි ගිහිල්ලම කතා කරමු.ඔයා ඉන්න ඔහොමම.චූටි ......"

ආදරේටයි,මනුස්සකමටයි,යාළුකමටයි හැමදේටම කියන පුංචි වචනෙ,එයාගෙ නික් නේම් එක මං කිව්ව.

"........"

මහන්සියක් නෑ වගේ ඒකට නම් කෙල්ලට.අපූරුවට තොල් දෙක උල් කරලා ඒක කියන හැටි විතරක්.ඉස්සරහින් යන්නෙ නුවර බස් එකක්.ඒකෙ පිටිපස්සෙ ගහලා තියෙන්නෙ සෙන්ටිග්‍රේට්ස්ලගෙ සින්දුවක කෑල්ලක්.මටත් හරියටම ගැලපෙනවා.මං ඒ සින්දුව හෙමිහිට මුමුණන්න ගත්තා.මට පාළුයිනෙ ඉතින් නදී ඔයත් කතා නොකරද්දි...

ඔය දෙතොල ආදරෙන් සිප ගන්න දැවටෙන්න...
පැහැදුල් නුවන් සඟලේ මට ඉන්න ඉඩ දෙන්න...
සියපතක පෙති අතරේ දැනෙන සුව විඳ ගන්න...
කවදාද ඔබ එන්නේ මගෙ හිතට සැනහෙන්න...



"අපෝ...යනකම් කට පියාගෙන ඉන්නකෝ...මගේ හීනෙ තවම ඉවර නෑ." නදී එහෙන් පටන් අරගෙන කතාවක්.

"ඇයි ඉතින්..?. මං ලස්සන සින්දුවක් කිව්වම හීනෙ බලන්න බැරිද...?.ඔයා නම් හීන වත් බලනවා.මට පාළුයිනෙ නදී..."

"සින්දුව ලස්සන උනාට ඔයා කියද්දි කැතයි.ඒකයි එපා කිව්වෙ..."

ආ...එහෙමද.ඉන්නකො මං හොඳ වැඩක් කරන්නම් ඔයාට නදී.දැන් කෙල්ලගෙ පණ්ඩිතකම ඉස්සෙල්ලා ගානටම ආයිත් වැඩිවෙලා තියෙන්නෙ.මං මුකුත්ම කියන්න ගියේ නෑ.කියනවා නම් කියන්න තියෙන්නෙ ඔයාට දුක හිතෙන දෙයක් හින්දා...

"අනේ...මොනා හරි කියන්නකො අමිල අයියෙ...ඒකටත් දුක හිතුනද?."

මෙච්චර වෙලා ඉනට කරලා තියාගෙන හිටිය අත් දෙක නදී මගෙ පපුවට අරගෙන ආවා.දැනෙනවද නදී මගෙ හදවත ගැහි ගැහි ඉල්ලන්නෙ මොනවද කියලා ඔයාට?.අනේ ඔය හිතට දැනීයන් මං ඔයාට ආදරේ කරන තරමක් නදී.

පේරාදෙණිය ලං වෙනකොට ඇඟට මොකක්දෝ අමුතු හීතලක් දැනුනා.කියා ගන්න බැරි තරමක් සුන්දරයි ඒ හීතල.මං වම් පැත්තට සිග්නල් එක දාලා පාක් එක පැත්තටම ගියා.බයික් එක නවත්තලා අපි හෙමිහිට ඇවිදගෙන ගියා ඉස්සරහටම.ගේට්ටුවෙන් ඇතුල බලද්දි ඇතුලෙ ඉන්න තරමක් ඉන්නෙ පෙම්වතුන්මයි.හිතට පුංචි දුකකුත් දැනෙනවා නදී.ඔයා මාත් එක්ක ආවට ඔයා මගෙත් නෙමෙයි.මං ඔයාගෙත් නෙමෙයි.ඒත් අපිට අපි නැතිව බෑ.හරි පුදුමයි.

මං ටිකට් ගන්නකම් ඔයා මගෙ දිහාවෙ බලං හිටිය හැටි මට මතක් වෙනවා නදී...පුංචි එකියෙක් වාගෙ ඔලුව ඇල කරගෙන මා දිහා බලාන උන්නු හැටි.ටිකට් අරන් ලඟටම ආවම "........" කියලා මට හිනා වුන හැටි.ඔයා මගේ නොවුනත් හිතේ පුංචි ආඩම්බරයක් ඇති උනා නදී.ඔයා මගේ කියලා හිතාවිනෙ දකින හැමෝම.

"යමු" ලඟටම ඇවිදින් මං මගෙ මැණිකට කිව්වා.

"හ්ම්ම්"

"අමිල අයියෙ...?"

"ඇයි පැටියො...?" මම උත්තර දුන්නෙ නෑ.ඒත් මට කලින් මගෙ කට ඉස්සර උනා.

"මං ඔයාගෙ අතින් අල්ල ගන්නද...?"

"අල්ලගන්නකො පැටියො ඉතින්.මං එපා කියයි කියලා හිතුනද ඔයාට?" දයාබර සිතින් මං හෙමිහිට ඇහුවා.

"නැහැ.ඒත් අහන්න හිතුනා.මෙතන ඉන්න හැමෝම ඉන්නෙ අත් අල්ලගෙන.මගෙත් එක්ක ආව ඔයාගෙ අත විතරක් නිකම් තිබ්බම ඔයාට ලැජ්ජයිනෙ අමිල අයියෙ."

දෙයියනේ...ඔයා ඔය තරම් මං ගැන හිතනවද නදී...

"නදී පැටියො...අපි ඇවිදින ගමන් කතා කරනවද..?.කතා කර කර ඇවිදිනවද..?"

මං වැඩිය දැනෙන්නෙ නැතිව නදීගෙන් ඇහුවා.දෙකක් විදියට ඇහුවත් දෙවිදියකට එකම දේ ඇහුවෙ මේ සියුමැලි අතින් අල්ලගෙන මේක පුරාවට ඇවිදින්න හිතේ තිබුනු ආසාව හින්දා.

"දෙකම"

නදීත් ගානකට නොගෙන කිව්වා.කෙල්ලටත් වැඩේ තේරිලා වගේ.අවුරුදු ගානක් ආදරේ කරපු පෙම්වතුන් වාගෙ අපිත් අපේ අත් වල එල්ලිලා පාක් එක පුරාවට පැය ගානක් කරක් ගැහුවා.වෙලාව යනව දැනුනෙ නෑ.නදීට මහන්සි පාටකුත් නෑ.

"අනේ අමිල අයියෙ..."

නදී කතා කලේ හරියට බයෙන් වාගෙ.එක පාරට කතා කරපු හින්දා හිත හිරිවැටිලා ගියා.

"ඇයි අම්මා...?"



අනේ මන්දා නදී.ඔයා එක්ක කතා කරද්දි මගෙ හිත ඉස්සර වෙනවනෙ.ආදරේ වැඩිකමට එහෙම කියවුනේ.තරහ වෙන්නෙපා මා එක්ක.වැරදිලා කියවුනේ.මං ඒ ඇස් දෙක දිහා බලාගෙන හිතින් කිව්වා.
ඒත් නදීට ඒකෙ මොකක්දෝ අමුත්තක් දැනිලා වගේ.මගෙ ඇස් දෙකට එබිලා නදී අමුතු විදියකට හිනා වුනා.දවසටම පලවෙනි වතාවට මට ලැජ්ජාවක් දැනුනා.මං හෙමිහිට බිම බලා ගත්තා.

"මට මහන්සියි අමිල අයියෙ...අපි අර ගඟ අයිනෙ උණ ගහ ලඟට යමු...එතන සීතලයිනෙ" නදී හෙමිහිට කිව්වා.

"යමු පැටියො.මට කලින් කියන්න තිබුනනෙ ගොඩක් මහන්සියි නම්..."

මට ඇත්තටම නදී ගැන දුක හිතුනා.මං ඒ කෙල්ලව එක්ක ඇවිදින් මහන්සි කරනවද මන්දා...

"මට ලෝබ හිතුනා අමිල අයියෙ.මං දෙසැරයක් ඔයා දිහා බැලුවා.ඒත් ඔයා විඳින අහිංසක සතුට දැක්කම මට දුක හිතුනා.මං බලාගෙන හිටියෙ.කොල්ලට හිටි ගමන් හිනා යනවා.මොනාද ඔච්චර කල්පනා කරන්නෙ?..ම්ම්..?.මටත් කියන්නකො අනේ...තනියෙන් හිනා වෙන්නෙපා.අපි දෙන්නම හිනා වෙමුකො..."

පුංචි කෙල්ලෙක් වගේ මේ ඔක්කොම එක දිගට කියවන අපූරුව.අද මගෙ හොර ඔක්කොම ටික මේ කෙල්ල අල්ල ගනීවි වගේ.දෙකෙන් එකක් වෙන්න කියන්නත් හිතෙනවා.ඒත් ඔයාව මේ නොදන්න පලාතකට අරං ඇවිදින් ඒක කිව්වම ඔයා මා එක්ක තරහ උනොත් හෙම.මොනවයින් මොනවා වෙයිද නදී.මොන දේ නැතත් ඔයා ආපහු ගෙදරට පය ගහනකම් ඔයාගෙ වගකීම මට භාරයිනෙ නදී...

"එහෙම කියන්න තරම් දෙයක් නෑ නදී..."

නදී ඉස්සෙල්ලා මගෙ අතින් අල්ලගෙන හිටියට දැන් මහන්සි හින්දද මන්දා මගෙ ඇඟට හේත්තු වෙලා ඇවිදින්නෙ.අනේ ඔයා පව් නදී.

"බොරු කියන්නෙපා අමිල අයියෙ...ඔයා ඔය කියන්නෙ බොරු.මං දන්නවා ඔයා මොකක් හරි ලොකු කතාවක් හිතේ තියාගෙන ඒක මගෙන් හංගගෙන ඉන්නෙ.අනේ කියන්නකො.මමත් ආසයි.ඔයාට මගෙන් හංගන්න තරම් දෙයක් තියෙනවද අමිල අයියෙ?"

මං හිත නැවැත්තුවේ නැත්නම් මෙලෙහකටත් නදී මට බැනලා.සොරි නදී.මට බෑ ඒක ඔයාට කියන්න.

"එහෙම මුකුත් නෑ පැටියො...ඇත්තමයි..."

"බොරු..බොරු..බොරු..මං තරහයි ඔයත් එක්ක...තරහම තරහයි.ඒක කියනකම් මං කතා කරන්නෙ නෑ ඔයා එක්ක."

අනේ දෙවියනේ...දැන් මොකක් කරන්නද මං...?.ඔයාට තරහ වෙලා ඉන්න බෑ මාත් එක්ක නදී.ඒත් අද දවසට විතරක් වත් ඔයා තරහ වෙලා හිටියොතින් මට පාළුයි ගොඩක් මගෙ රත්තරන්.කොහොම කිව්වත් නදී දැන් ඉන්නෙ මගෙ පපුතුරේ හැංගිලා.මගෙ උණුහුමට තුරුල් වෙලා.එයාට මේ ගං තෙර සීතලයි වගේ...

"අනේ මාව අසරණ කරන්නෙපා නදී...ප්ලීස්...මාත් එක්ක තරහ වෙලා ඉන්න පුළුවන්ද ඔයාට?...එකම එක දෙයක් අහන්න ඒක උත්තර දෙන්න පුළුවන්ද...?"

කොහොමටත් අද මේක ඉවරයක් කර ගන්න වෙනවා.ඒ හින්දා එතෙන්ට යන පාරක් වත් හදා ගත්තොත්...

"පුළුවන්.මං තරහයි තමයි.මොකක්ද...?.අහන්න බලන්න"

"ඔයා මාත් එක්ක තරහයි නම් ඇයි මගෙ පපුවට තුරුල් වෙලා ඉන්නෙ?.ඇයි තරහකාරයෙක්ගෙ උණුහුමට ගුලි වෙලා ඉන්නෙ?..ම්ම්..මන්න ඒකට උත්තරයක් දෙන්න පුළුවන්ද...?.තරහ උනාට පස්සෙත් ඇයි මගෙ ලහටම වෙලා ඉන්නෙ.?"

හිතේ තියෙන හැම දෙයක්ම තව මොහොතකින් කියා ගන්න බලාපොරොත්තුවකින් මං ඇහුවා.මගෙ ඇස් දෙක පෙඟිලා තියෙන්න ඇති.නදී අනුකම්පාවෙන් මා දිහාවෙ බැළුවා.පස්සෙ මිමිණුව එකම එක වචනෙ මට අදහා ගන්න බෑ.

"ආදරේට..."

ඔයා මාත් එක්ක විහිළු කරනවද නදී..?.ආයෙත් සැරයක් මේ පිස්සව විහිළුවකට ගත්තද?.ඒත් ඒක හිතල කිව්වා වෙන්න බෑ.ඒක කිව්ව ගමන් ඔයා බිම බලා ගත්තා මට මතකයි නදී.ඒක ඔයාවත් නොහිතා ඔයාගෙ කටින් පිටවුනේ නදී...මං තවත් තදින් ඔයාව තුරුල් කර ගත්තා මගෙ පපුවට.එයාගෙ ඇස් දෙක දිහා මං බලාගෙන හිටියා මොහොතක්.දෙයියනේ...ඒ ඇස් දෙක කඳුලින් පිරිලා ගිහින්.මගෙ පුංචි සුරංගනාවිගෙ ඇස් දෙක දිලිසෙනවා.ඇස් දෙක මොහොතක පියාගෙන වත් නොබලා ඉන්න නොහිතෙන තරම් ලස්සන වෙලා මේ දඟකාරිගෙ ඇස් දෙක.ඔයා මට ආදරෙයිද නදී.මං තව මොහොතක් බලාගෙන හිටියා.

"ආයිමත් කියන්න ඒ වචනෙ නදී...?"

ඒ පාට නදී ඉකි ගහ ගහ අඬන්න ගත්තා.මමත් ඇඬුවා.මට මගෙ නදීගෙ ඇස් දිහා බලාගෙන නාඬා ඉන්න තරම් කුහක හිතක් තිබුනෙ නෑ.මං මගෙ රත්තරන්ව තව තවත් තද කර ගත්තා.

"ඔව් අමිල අයියෙ.ඔව්...සත්තයි.මං ආදරෙයි ඔයාට.හැමදාමත්ම මං ආදරෙයි ඔයාට."

"මමත් ආදරෙයි මගෙ මැණිකට...සත්තයි.මේ අහස පුරාවට ඉර හඳ පායනකම් මං ආදරෙයි ඔයාට රත්තරං...මං ආදරෙයි..."

මට වෙන කියා ගන්න දෙයක් තිබුනෙ නෑ.කියා ගන්න කිසිම දෙයක් තිබුනෙ නෑ.හංගන්න තරම් දෙයක් තිබුනෙත් නෑ.ඒත් මට කතා කර ගන්න බැරි උනා.මගෙ නදීට මං තවත් ලං උනා.මගෙ හිතට මං පොරොන්දු උනා.අද පටන්,මේ මොහොතෙ පටන් මගෙ රත්තරංට පණ දෙවෙනි කරලා ආදරේ කරන්න.

ජීවිතේ පලවෙනි වතාවට මට අහිංසක නපුරෙක් වෙන්න හිතුනා.නදීගෙ ඇස් පියන් හෙමිහිට වැහිලා යනවා මතකයි මට.ඒ ලස්සන ඇස් දෙක දිහාවෙම බලාගෙන හිටිය මමත් මගෙ ඇස් පියා ගත්තා.අද දවස පුරාවට රෝස පාටට දිලිසි දිලිසි තිබුනු මටම හිමි පුංචි දෙතොල හෙමිහිට වෙව්ලන්න පටන් අරගෙන තිබුනා.එයාට ලං වෙද්දි සුමුදු රෝස මල් සුවඳක් මට දැනුනා.

"තව ටිකක් ලඟට එන්න මහත්තයෝ..."
නදී මට ඇහෙන නෑහෙන ගානට කොඳුරද්දි දරා ගන්න බැරි තරමක හැඟුමන් අසීරුවෙන් දරාගෙන මං මගෙ පුංචි සුරංගනාවිගෙ දෙතොල් පෙති අපමණක් ආදරෙන් සිප ගත්තා...





Newer Posts Older Posts